Squid Game අපට කියා දෙන ජීවිත පාඩම් 6 ක්.

By Yesha Fernando.

සල්ලි ඔබට කොයිතරම් වැදගත්ද ?

ඔබ ටිකක් හැඟීම්බර මනුස්සයෙක් නම් ඔබ කියයි “බල්ලොත් නොකන සල්ලි, ඒ වගේද මනුස්සකම්” කියලා.ඒත් ඔබ ප්‍රයෝගික තීරණ ගන්න කෙනෙක් නම් ඔබ කියයි “ඔක්සිජන් වලට පස්සේ සල්ලි තමා ඉතිං වැදගත්ම” කියලා. ඔව් මේ පවතින පැන්ඩමික ඊරාවේ අපි අත්දකිමින් ඉන්නවා සල්ලි නැතුව ඔක්සිජන් වත් ලබාගන්න බැහැ කියල. කොවිඩ් ඒ පාඩම වෙන කවදාටත් වඩා හොඳට අපිට ඉගැන්නුවා. ලොව පුරාම මේ වසංගතයෙන් මිය ගිය පිරිසෙන්  75%ක් වත්  සෞඛ්‍ය රක්ෂණයක් නොමැති, නිවාස රහිත, පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන මුදල් හිඟපාඩු මිනිස්සු. මුදල් කියන්නේ ශක්තිය. ශක්තිවන්තයාට තමා ව්‍යසනයකදී ගැළවී සිටීමේ අවස්ථාව වැඩියෙන් ලැබෙන්නේ. ඉතිං එදිනෙදා ජීවන අරගලය කියන ව්‍යසනයට මුහුණ දීලා ඉන්න මිනිස්සු මුදල් කියන ශක්තිය වෙනුවෙන් ජීවිතේ වුනත් පරදුවට තියනවා.

BTS, Blackpink විතරක් නෙමේ, ලොව පුරා අතිශය ජනප්‍රිය ටෙලි මාලා, 2020 හොඳම සිනමා නිර්මාණයට හිමි Academy සම්මානය සමඟින් විනෝදාත්මක ලේබලයෙන් ලොව ආක්‍රමණය කරමින් සිටින දකුණු කොරියානුවන් ගෙන ආ අලුත්ම උන්මාදය Squid Game අපට කියා දෙන්නේ ජීවිතයට අවැසි මුදල් වෙනුවෙන් ජීවිතයම ලංසු තබනා මිනිසුන්ගේ කතාවයි.

කෙල්ලෝ වගේ කොල්ලෝ කිය කිය අපේ යක්ඛ පැටව් කොච්චර අපහාස කලත් කොරියානුවන්ගේ භාවාත්මක රඟපෑම් වල අතිශය තාත්වික බව අවතක්සේරු කරන්න කිසිවෙකුට නොහැකි බව Squid Game හරහා ඔවුන් නැවතත් ඔප්පු කොට තිබෙනවා. ප්‍රචණ්ඩත්වය වපුරවන බවට චෝදනා එල්ල  වූවත් එදා මෙදා තුර වැඩිම Netflix නැරඹුම් වාර ගණනට අයත් වාර්තාවට හිමිකම් කියනා Squid Game සැබවින්ම කියන්නේ උඩින් පෙනෙනා සුන්දරත්වයට යටින් දිවෙනා මිනිසුන්ගේ දුක්බර ජීවන අරගලයයි. මේ Squid Game අපට කියා දෙන ජීවිත පාඩම් මොනවාද ?

අපි බලමු.

1. ඇස් දෙකට පේන, කන් දෙකට ඇහෙන හැමදේම ඇත්ත නෙමේ

Squid Game හී ප්‍රධානම චරිතය වන Gi-hun මේ මාරක සෙල්ලමට අහුවෙන්නේ ඇස් දෙකට පේන, කන් දෙකට ඇහෙන දේ විශ්වාස කරන්න ගිහින්. ලෙල්ලටම හිඳිලා ඉන්න වෙලාවේ පිදුරු ගහෙත් එල්ලෙන කලාවෙන් සල්ලි කීයක් හරි හොයන් තමන්ගේ අම්මව සුව කරගන්න, දුවව බලන්න යන්න හිටපු හාදයට දුම්රියපොලකදී අනපේක්ෂිතව ලැබෙන ආරාධනය ඔහුගේ ජිවිතයම වෙනස් කරනවා. ඔහු නැවත ඇහැ අරින කඳවුර ඇතුළෙදි ඔහුත් එක්ක ඉන්න අනෙක් 455 දෙනාම දෙවන වරටත් තේරුම් නොගන්න දෙය තමා ඇස් දෙකට පේන, කන් දෙකට ඇහෙන හැමදේම ඇත්ත නෙමේ කියන එක. කුඩා කාලයේ කල සරල සෙල්ලමක්  වන Red Light, Green Light හී සරල බව පිටුපස තිබු අනතුර ඔවුන් හඳුනා ගන්නා විටත් තරඟ කොන්දේසිය අනුව පරාජිතයින්ට සිය ජීවිත අහිමි වී අවසන්. ලේසියි වගේ පේන හැමදේම ලෙහෙසි නැහැ. ඒ වගේම ඔබට පෙනෙන හෝ ඇහෙන දෙයට ප්‍රතිචාර දක්වන්න කලින් ඒක පොඩ්ඩක් analyze කරන්න ඔබේ මොළයට ඉඩ දෙන්න කියන පාඩම Squid Game අපිට කියා දෙනවා.

2. සල්ලි පාවිච්චි කරද්දී මොළෙත් පාවිච්චි කරන්න

මේකේ ප්‍රධාන චරිතය Gi-hun වගේම  Sang-woo හා Deok-su ගැන බැලුවම අපිට පේන පොදු දුර්වලකම තමයි සූදුව සහ වැරදි තීරණ. ඔවුන්  පෙර ගත කළ සාමාන්‍ය ජීවිතයේදී තමන්ගේ අතේ තියන මුදල් මොළේ ඇතුව පාවිච්චි කළා නම් ඔවුන් කවදාවත් අමාරුවේ වැටෙන්නේ නැහැ, ඒ අමාරුවෙන් ගැළවෙන්න Squid Game එක ඇතුළේ කොටු වෙන්නෙත් නැහැ. ඔව් ඒක තමා වැදගත්ම පාඩම. සල්ලි හම්බකරන්නේ කොහොමද කියන එක වගේම වියදම් කරන්න ඕනේ මොනවටද කියන එකත්, සතේක හරි ඉතුරුව වැදගත් කියන එකත් ආයේ ආයෙමත් මතක තියාගන්න නැත්නම් Squid Game ඇත්තට බිහි වෙන වගේම ඔබ ඊට කොටු වෙන කාලයත් වැඩි ඈතක වෙන එකක් නැහැ කියන පණිවිඩය මෙම සුපිරි කොරියානු ටෙලි නාටකයේ ගැබ්වී තියෙන මූලිකම පණිවිඩයක්.

3. වැදගත්ම දේ සල්ලි නෙමේ, ඔබට සල්ලි අවශ්‍ය කාරණයයි ?

ඔව් බැලු බැල්මට Squid Game පේන්නේ සල්ලි නැතිව නන්නත්තාර වෙච්ච පිරිසක් මෝඩකමට අහුවෙච්ච භායනක සෙල්ලමක් වගේ තමා. නෑ ඔවුන් මෝඩ නෑ. අපි හැම මනුස්සයෙක්ටම වගේ එයාලටත් ජීවිතේ යම් යම් තැන වලදී වැරදිලා. නමුත් ඔවුන් බොහෝ දෙනෙක්ගේ අරමුණත් ඒ වැටුණු ළිං කටින්ම ගොඩ ඒමයි. Gi-hun වගේම ඔහුගේ මිත්‍ර Sang-woo ත් මේ සෙල්ලමට ගොඩ වෙන්නේ ඔවුන්ගේ ණය බරින් නිදහස් වෙන්න. Jun-ho තමන්ගේ සහෝදරයා හොයාගන්න. සල්ලි නෙමේ වැදගත්, සල්ලි හොයන්න මුල් වුණු අරමුණ සහ ඒක වැඩකට ඇති දෙයක්ද කියන එකයි. ඒ නිසා සල්ලි හොයන්න ක්‍රමයක් හොයන්න කළින් හිතන්න ඔබට සල්ලි අවශ්‍ය මොකටද කියලා. අරමුණක් නැත්නම් කොච්චර හම්බ කළත් ඔබ සදාකාලික මර උගුලක හිරවුණු  දුප්පතෙක්. ඒ වගේම සල්ලි හොයන්න වෙහෙසෙන ඔබේ මිත්‍රයාට, අසල්වැසියාට ඇනුම්පද කියන්න, හිනා වෙන්න එපා. ඔබ දන්නේ නැහැ ඔවුන්ගේ කතාව මොකක්ද ඔවුන්ට සල්ලි අවශ්‍ය ඇයි කියල. කාට වුණත් ජීවිතේ අමාරු ඉලක්ක වලට යන්න තමන්ගෙම හේතුවක් තියෙනවා ඒ හේතුවයි වැඩියෙන්ම වටින දේ කියල Squid Game අපිට කියල දෙනවා.

4. කාවවත් අවතක්සේරු කරන්න එපා

සාමාන්‍යයෙන් අපි හරි දක්ෂයි පෙනුමෙන් මිනිස්සු මනින්න.මේ Squid Game එක පුරාමත් අපි එහෙම දුර්වලයෝ කියල අපිට පේන කිහිප දෙනෙක්වම දකිනවා. පළවෙනියා තමා ඉතින් පළවෙනියා: 001. මොළේ ගෙඩියක් හේතුවෙන් පීඩා විදින වයසක මනුස්සයා, ඒ වගේම තව කාන්තාවන් කිහිපදෙනෙක්. ඒත් ඇයි එයාට 001 කියන අංකය ලැබිලා තියෙන්නේ. සැළකිය යුතු තත්වයේ කෙනෙක් නොවන නිසා අපි ඒක හිතන්නෙවත් නැහැ. ඒත් මතකද  tug of war සෙල්ලම ඔවුන් දිනන්නේ අංක 001 වයසක මනුස්සයාගේ උපක්‍රමයට පින්සිද්ද වෙන්න. Spoiler alert එකක් වෙන්න පුළුවන් වුණත් Oh Il-nam අංක 001 වීමේ හේතුවක් තියෙනවා. දුර්වලයි කියල හිතෙන නිසා බොහෝවිට අපි අවතක්සේරු කරන්නේ ඒ වැඩේ හරියටම දන්න කෙනා වෙන්න පුළුවන්. ඒ නිසාම ප්‍රායෝගික ජීවිතේදී අපි වැරදි තෝරාගැනීම් කරනවා. අන්න ඒ නිසා තක්සේරුව “අව” හෝ “අධි” කරන්න කලින් ඕනෙම දෙයක් හෝ ඕනෙම කෙනෙක් දිහා ටිකක් අවධානෙන් බලන්න කියන පාඩම Squid Game අපේ ජීවිතයට රැගෙන එනවා.

5. ආදරේ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ

ආදරේ කියන වචනේ කොයි තරම් සරලද, ඒකට තියෙන බලය ඒ තරම්ම ප්‍රබලයි. Gi-hun ට මේ game එකෙන් දිනන සල්ලි අවශ්‍ය තමන්ගේ දුවව තමන් ළඟට අරගෙන අම්මගේ අසනීපය සුව කරගන්න. Abdul ට සල්ලි අවශ්‍ය තමන්ගේ පවුල ආර්ථික අහේනියට නොයා රැකගන්න. Sae-byeok ට සල්ලි අවශ්‍ය තමන්ගේ දෙමාපියන්ව උතුරු කොරියානු සීමාවෙන් සුරක්ෂිතව පන්නලා දෙන තැරව්කරුවෙක්ට ගෙවන්න. ඒ වගේම Jun-ho ට අවශ්‍ය තමන්ගේ අතුරුදන් වූ සහෝදරයා හොයා ගන්න. ඔවුන්  ජීවිතේ පරදුවට තියන්නේ සල්ලි වෙනුවෙන්ම නෙමේ තමන්ගේ ආදරණීයන් වෙනුවෙන්. ආදරය කියන්නේ ඔබට අමාරුම තීරණ වුනත් ගන්න සවිය දෙන ප්‍රබල ශක්තියක්. ඒ නිසා ජීවිතේ කොයිතරම් අඳුරු කාලයකදී වුණත් ඔබේ හිතේ තියෙන ආදරය, කරුණාව නැති කරගන්න එපා, ආදරය තමයි ඔබට අවශ්‍ය ඉලක්කයට යන්න ශක්තිය දෙන්නේ කියන එකයි Squid Game යටිපෙළ අපට ගෙනෙන එක් පණිවිඩයක් වන්නේ.

6. වැරදි පියවරක් වෙනුවෙන් ගෙවන්නට වෙන මිල අධිකයි

Squid Game grand prize එක ද.කොරියානු වොන් බිලියන 45.6. තරඟයේ තරඟකරුවන් ගණන 456 ක්. හැම තරඟකරුවෙක්ගේම ජීවිතයේ මිල ද.කොරියානු වොන් මිලියන 100 ක්. එක් තරඟකරුවෙක් මිය ගිය විට ත්‍යාග මුදලට ඔහුගේ ජීවිතයේ  වටිනාකම වන වොන් මිලියන 100 එකතු වෙනවා. අනෙක් 455 දෙනා පරාජය මතින් මරණයට ගෙවූ මිල වන වොන් මිලියන 455 ට එකම එක ජයග්‍රාහකයා දිනාගත් ජීවිතයේ වටිනාකම වන වොන් මිලියන100 එක්වී වොන් බිලියන 45.6 ක අවසන් ත්‍යාගය ඔහුට හිමි වෙනවා. හිතන්න! එක් වැරදි පියවරක් වෙනුවෙන් ගෙවන්න වෙන මිල වොන් මිලියන 100ක් සහ ජීවිතයයි. අපේ ජීවිතේ කියන Squid Game එකෙත් ඒ තියරිය එහෙම්මම තමයි. අපි තියන හැම වැරදි පියවරක් වෙනුවෙන්ම අපිට ඉහළ මිලක් ගෙවන්න වෙනවා. සමහරවිට ජීවිතයෙන් පවා. ඔව් හැමවෙලාවෙම නිවැරදිම පියවර තියන්න අපි program කරපු රොබෝලා නොවන බව ඇත්ත.  ඒත් අවධානය, අධිෂ්ඨානය සහ නිරීක්ෂණය ඔබව බොහෝ විට වැරදි පියවරක් වෙනුවෙන් ගෙවන්න වෙන ඉහළ මිලෙන් ගලවාගන්න බව Squid Game එක අපිට කියල දෙනවා.

ත්‍රාසය, ශෝකය, කුතුහලය වගේම මෙයට වඩා තවත් බොහෝ ජීවිත පාඩමුත් Squid Game කථාංග නවයට ඇතුළත්. නමුත් අධ්‍යක්ෂක Hwang Dong-hyuk කියන්නේ මේ ටික ලියලා, අධ්‍යක්ෂණය කරලත් ඔහුට දැඩි වෙහෙසක් දැනෙන බව. ඉතිං Squid Game එක තව ඉස්සරහට කරගෙන යනවද නැද්ද කියන එක ඔහු තවම තීරණය කරලා නැහැ. ඒ කොහොමවුණත් අපේ ජීවිත Squid Game එක අපිට තවමත් ඉතුරුයි. ඒ නිසා පරිස්සමින් අඩිය තියන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide