Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Bread Teaser Top Banner -temporary
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Coffee post sidebar 1-1959 only

ලෝකේ පුරා නිර්මාණය වුණ අමුතු විදිහේ ගොඩනැඟිලි 10ක්

එකම පෙනුමෙන් යුතු ගොඩනැඟිලි වෙනුවට..

Posted by

පාර තොටේ ගමන් කරද්දි හැම තැන ම දකින එක ම විදිහේ පෙනුමෙන් යුතු සුලබ ගොඩනැඟිලි වෙනුවට අමුතු පෙනුමක් සහිත බිල්ඩිමක් දැක්ක ගමන් අපේ ඇහැ ඒ පැත්තට යොමු වෙනවා. ලංකාවෙ නං මේ විදිහේ අමුතු ගොඩනැඟිලි සෑහෙන අඩුයි. ඉස්සර අපිට තිබුණු මේ විදිහේ එක ම විශේෂ පෙනුමක් තියන ගොඩනැඟිල්ල කොළඹ කොටුවෙ තියන පිට්ටු බම්බු දෙක. ඒ කියන්නෙ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය. දැන් නං නෙළුම් කුලුන සහ ඇල්ටෙයාර් ටවර්ස් එහෙම තියනවා.

දියුණු රටවල ගෘහ නිර්මාණ ශිල්පීන් අතින් නිමැවුණු මේ ගොඩනැඟිලි ටික දිහා පොඩ්ඩක් බලන්නකෝ. මේවා ඒ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණශීලීත්වය ගැන සාක්ෂි සපයනවා වගේ ම, ගෘහ නිර්මාණ ශිල්පය කියන්නෙ බොහොම පුළුල්, පැතිරුණු විෂයක් බවත් තහවුරු කරනවා.

බාර්කෝඩ් බිල්ඩිම

රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් නගරයේ තියන මේ ගොඩනැඟිල්ල සාප්පු සංකීර්ණයක්. බාර්කෝඩ් එකක ස්වරූපය ගන්න විදිහටයි හදල තියෙන්නෙ. Vitruvius and Sons කියන ආයතනය තමයි මෙහි ගෘහ නිර්මාණය භාරව කටයුතු කළේ.

බාස්කට් බිල්ඩිම

බඩු ගෙනියන බාස්කට් එකක හැඩය ගන්න මේ බිල්ඩිම ඇමරිකා එක්සත් ජනපදයේ ඔහියෝවල පිහිටලා තියනවා. මේක අයිති Longaberger කියන සමාගමට. ලෝකේ ලොකු ම බාස්කට් එක විදිහට නම් වෙන්නෙත් මේ ගොඩනැඟිල්ල ම තමයි.

කැන්සාස් සිටි පුස්තකාලය

තනි තට්ටුවක පොත් රාක්කයක පෙනුම එන ආකාරයට ඩිසයින් කරපු මේක පුස්තකාලයක්. තියෙන්නේ ඇමරිකාවේ කැන්සාස් සිටිවල. 1873 දී තමයි විවෘත කරලා තියෙන්නෙ.

උඩු යටිකුරු නිවස

උතුරු පෝලන්තයේ කුඩා ගම්මානයක තියන ‘අප්සයිඩ් ඩවුන් හවුස්’ නමින් හැඳින්වෙන මේ ගොඩනැඟිල්ල 2007 පටන් විශාල සංචාරක ආකර්ෂණයක් දිනාගන්න තැනක්. මේක නිර්මාණය කළේ Daniel Czapiewski නමැත්තෙක්. 

පියානෝ හවුස්

කොන්ක්‍රීට් පාද තුනක් මත සිටවා තනන ලද පියානෝ හවුස් ගොඩනැඟිල්ල සුවිශාල පියානෝවක සහ ඊට හේත්තු කළ වයලීනයක හැඩය ගන්නවා. චීනයේ අන්හුයි පළාතේ පිහිටා ඇති මෙය විවෘත වුණේ 2007 දී. චීනයේ ඇති රෝමාන්තික ම ගොඩනැඟිල්ල විදිහට පියානෝ හවුස් එක හඳුන්වනවා.

තේ පෝච්චිය

මේ තේ පෝච්චියක හැඩය ගත් හෝටලයක්. මේකත් තියෙන්නේ චීනයේ. තට්ටු 10කින් යුතු මෙය නිර්මාණය වෙලා අවසන් වුණේ 2014 වසරේදී. මේ ගොඩනැඟිල්ල අංශක 360ක් කැරකීමට හැකි වීමත් විශේෂත්වයක්.

කැරකෙන කුලුන

තට්ටු 80කින් යුක්ත ඩයිනමික් ටවර් නමින් හැඳින්වෙන මේ කුලුන ඇත්තේ ඩුබායිවල. මේක තාමත් ඉදි කෙරෙමින් පවතින ගොඩනැඟිල්ලක්. සමස්ත ගොඩනැඟිල්ල ම එක් අක්ෂයක් වටා කැරකෙන්නට හැකි ආකාරයෙන් තමයි නිර්මාණය වෙන්නේ. ඒ වගේ ම එක් එක් තට්ටුව එක් එක් අවස්ථාවල එක එක අතට කැරකිය හැකි නිසා, හැම මොහොතක ම දකින්න ලැබෙන්නෙ අලුත් වීව් එකක්!

සෝලාර් ආක්‍

ජපානයේ පිහිටා ඇති මෙය කෞතුකාගාරයක් වගේ ම පර්යේෂණාගාරයක්. සම්පූර්ණ ගොඩනැඟිල්ල ම ආවරණය කරලා තියෙන්නේ සෝලාර් පැනල්වලින්. පැනසොනික් සමාගමට තමයි අයිති.

එග් ඔෆිස්

ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි මෙය තට්ටු 13ක වාණිජ ගොඩනැඟිල්ලක්. ගෘහ නිර්මාණ ශිල්පී ජේම්ස් ලෝගේ නිමැවුමක් වන මෙය බිත්තරයක හැඩය ගන්නවා. ඉතා සීමිත ඉඩකඩක වුණත්, වර්ග මීටර 33000ක කාර්යාල ඉඩකඩ, ඔසවන ලද උද්‍යානයක්, වාහන 400ක් නැවැත්විය හැකි බේස්මන්ට් තුනක් මෙහි අන්තර්ගතයි. 

එරික්සන් කිස්ටා බිල්ඩිම

බිල්ඩිම මැද්දෙන් වීදුරු පැල්මක් සෑදී ඇති ආකාරයක් දිස් වෙන විදිහට නිර්මාණය කරපු මේක තියෙන්නේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ. එරික්සන් ටෙලිකමියුනිකේෂන් සමාගමේ මූලස්ථානය මෙයයි.

Leave a comment