Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020

මෙදා සැරේ වෙසක් එකට කරන්න හොඳ වැඩ 10ක්

කොහොම වුනත් වෙසක් එක අර්ථවත් විදියට ගෙවන්න.…

Posted by

කොළඹ පැත්තෙ වෙසක් සරුයි. හැබැයි ඉතින් සල්ලි තමයි. වෙසක් දවසට අපේ කට්ටිය ලොකු ගාණක් වියදම් කරල ලස්සන සැරසිලි කරනව. සමහරු දන්සැල් දෙනව. සමහරු තොරණ් හදනව, කූඩු තරග පවත්වනව. තවත් කට්ටියක් වාහන ලෑස්ති කරගෙන වෙසක් බලන්න යනව. හැබැයි ඔය අතරෙ කවුරුහරි උදව්වක් ඉල්ලුවොත් කීයෙන් කීදෙනාද එයාට උදව් කරන්නෙ.

ගොඩක් දුරට මේ දේ සිද්ධවෙලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ කාර්යයබහුලත්වය නිසා. වෙසක් නිවාඩුවෙත් 'ෆුල් ආතල් එකේ' ඉන්න තමයි කට්ටියගෙ උත්සාහය. කමක් නෑ කියමුකො. හැබැයි කවුරුත් හිතන්නෙ නෑ වෙසක් උත්සවයෙ තියෙන සැබෑ අර්ථය මොකක්ද කියල. කවුරු හරි කරන්නන් වාලෙ කරනව. ඉතින් මම හිතුව මේ කවුරුත් කරන්නන් වාලෙ වෙසක් උත්සවය සමරන අපේ අයට පොඩි අළුත් අදහස් ටිකක් දෙන්න. බලන්න මේ දේවල් කොහොමද කියල ?

1. දන්සලට එකතු කරපු සල්ලිවලින් නැතිබැරි අය ටිකදෙනෙක් හොයල එයාලට අවශ්‍ය ම කරන දේවල් ටිකක් අරන් දෙන්න. ඒ වෙලාවට එයාලගෙ මූණෙ තියෙන සතුට! අඩුම තරමෙ ''පින් සිද්ධ වෙයි'' කියල හරි කියාවි.

2. ගංවතුරෙන් පීඩා විඳින අයට වියළි ආහාර, වතුර බෝතල් ටිකක් ගිහින් දෙන්න. වෙසක් දවසෙදි අපි කොළඹට වෙලා සතුටුවෙන්න ඉඳපු විදියට එයාලත් සතුටු වෙන්න කැමතියි. ඉතින් ඔයාලගෙ සතුට එයාලත් එක්ක බෙදාගන්න.  

3. හරිහමන් දාන වේලක්වත් නැතුව බණ භාවනා කරන හාමුදුරුවරු ඉන්න පන්සල් තියෙනව; දුර පැතිවල ම නෙවේ කොළඹ අවට වුනත්. ඉතින් ඔය එකතු කරපු බඩු ටිකක් අරන් ගිහින් හොඳ දාන වේලක් උයල දීලා නිස්කලංක පරිසරයක ආශ්වාදයට බුදු දහම කැටි වුණු අපූරු බණ ටිකකුත් අහල හිත නිවාගෙන ම එන්න.

4. ඒ විතරක් නෙවෙයි යාළුවො සෙට් එකත් එකතු කරගෙන අබලන් වුණු පන්සල් ගොඩනැගිල්ලක් අළුත්වැඩියා කරන්නත් ඔයාලට බැරි වෙන එකක් නෑ.

5. හැමදාම සෙට් වෙන යාළුවන්ගෙන් එක දවසකට වෙන්වෙලා මහළු මඩමක හුදකලාව ඉන්න ආච්චි කෙනෙක්ගෙ හරි සීයා කෙනෙක්ගෙ හරි පාළු මකන්න යන්න. එයාලා එක්ක කතාබහ කරන්න, එකට කෑම කන්න, හවසට පන්සල් එක්කන් යන්න. දවසෙ අන්තිමට ඔයාලා එයාලගෙන් වෙන්වෙද්දි එයාලගෙ ඇස් අගින් රූරා වැටෙන කඳුළු වලින් දැන ගන්න පුළුවන් වේවි එයාලට ඇති වෙච්ච සතුට කොච්චරද කියල.

6. කොළඹින් ඈත ගමකට චාරිකාවක් යන්න. පොඩි පැලක් අටවගෙන තෙමී නොතෙමී, වන සතුන්ට බයේ ජීවත් වෙන පුංචි පවුල් ඕන තරම් හමුවේවි. දුක් කම්කටොළු මැද්දෙ ඉගෙන ගන්න ළමයි නැත්නම් ලෙඩ වුන අයත් ගොඩක් ඉඳීවි. පුළුවන් උපරිමෙන් එයාලට උදව් කරන්න දෙපාරක් හිතන්න එපා. මොකද ඔයාලාගෙ කාර්යය බහුලත්වය නිසා ආයෙත් එන්න පොරොන්දු වුනත් ආයෙත් යන්න බැරි වෙන්න තියෙන ඉඩ වැඩියිනෙ යාළුවනේ.

7. යන්න ඒ වගේම තව චාරිකාවක් සමනල කන්ද පැත්තෙ. ඔයාලා යන්න කලින් වන්දනාවෙ ගියපු අයට අමතක වෙලා දාලා ආපු පොලිතින් වගේ නොදිරන දේවල් ගොඩක් ඇති පාර දෙපැත්තෙ. ශ්‍රී පාදයත් වැඳගෙන එන ගමන් ඒ දේවල් ටිකකුත් එකතු කරගෙන ඇවිල්ලා සමනල කන්ද ලස්සන කරන්න උදව් වෙන්න.

8. දුර පලාතක ම නෙවෙයි මහ රෝහලට ගියත්, පිළිකා රෝහලට ගියත් තමන්ට අවශ්‍ය සමහර බෙහෙත් ගන්න බැරුව මරණය පෙනිපෙනී ඇඳට වැටිල ඉන්න අය ඕන තරම් ඉන්නව. ඒ විතරක්ද, ගේ දොර, ඉඩ කඩම්, කණකර ආභරණ පවා උගසට තියල තමන්ගෙ දරුවව සනීප කරගන්න අනේකවිද දුක් විඳින අම්මල තාත්තලත් අනන්තවත් ඉන්නව. ඔයාල එකතු කරපු සල්ලිවලින් එයාලට ඕන එක බෙහෙත ගාණෙ හරි අරන් දෙමුද ?

9. එකතු කරපු සල්ලිවලින් පොත් පත්, පෑන් පැන්සල්, තෑගි බෝග ටිකක් අරගෙන ළමා නිවාසයකට හරි ආබාධිත අය ඉන්න තැනකට හරි යන්න. පොඩි අය දූවගෙන ඇවිල්ල තෑගි බෝග බෙදා ගන්න කොට හිතට දැනෙන සතුට, ඔයාලගෙ දන්සලෙන් කාලා නොකියාම ගියපු අය ගැන හිතනකොට ඇති වෙන හැඟීමට වඩා ගොඩක් හැඟුම්බර වේවි. හැරත් ඇස් පේන්නෙ නැති නැත්නම් මන්ද බුද්ධික වගේ ආබාධිත කෙනෙක් ඔයාලා දෙන තෑග්ග අරගෙන නිකන් ම ගියපු එක ගැන හිතන එකත්, ඊට වඩා හදවතට දැනේවි.

10. කොළඹ වෙසක් බලන්න ගිහින් එළිවෙන ජාමෙට බීච් පැත්තට සෙට් වෙනවට වැඩිය හොඳ නැද්ද ගෙදර ආවොත්. දුව, පුතා තාම ගෙදර ආවෙ නෑනෙ කියල බයෙන් ඉන්න අම්මගෙයි තාත්තගෙයි හිත්වලට ලොකු සැනසිමක් වේවි.

මේ හැරුණාම තව ගොඩාක් හොඳ දේවල් ඇති ඔයාල දන්න. නැත්නම් දැනටමත් කරගෙන යන ඒව වුනත්. මතක ඇතුව ඒවත් පහළින් කමෙන්ට් කරගෙන යන්න යාළුවනේ. මේ දේවල් දැකල එක්කෙනෙක් හරි හොඳ දේකට යොමු වුනොත් කොච්චර දෙයක්ද. කොහොම වුනත් වෙසක් එක අර්ථවත් විදියට ගෙවන්න. හැමදාම නොකෙරුණත් වෙසක් දවසට හරි හිතට එකඟව හොඳ දෙයක් කරන්න උත්සාහ ගන්න. ඔයාලගෙ සතුට හැමෝමත් එක්ක බෙදාගන්න ලෝබ වෙන්න එපා.

Leave a comment