Artwork for Coke with food - top banner
Artwork for Yamu Promo Top Banner
Artwork for Movenpick Coffee promo sidebar banner 1 test Artwork for PMF essentials sbb 2

දවල් කෑම එක ඔෆිස් එකටම ගෙන්න ගන්න; කොළඹ අයට කඩ 12ක්

ඉතින් මට හිතුණා ඔය ඔෆිස් ඇතුලටම වෙලා ඉන්න…

Posted by

මේ දවස්වල වෙලාවක් කලාවක් නැතුව වැටෙන වැස්ස නිසා කෑම එකක් ගේන්නවත් පාරට බහින්න බෑ. කෙල්ලන්ට නම් නිතරම කුඩයක් ළඟ තියාගන්න පුරුද්දක් තිබුණට කොහෙද අපේ කොල්ලන්ට නෑනෙ එහෙම පුරුද්දක්. ඉතින් පොඩි දේකට කඩේට ගියත් වැස්සකට සෙට් වුනොත් ඉතින් වැස්ස පායනකම් ඉන්න වෙනව. නැත්නම් තෙමීගෙන ඔෆිස් එකට දුවන්න වෙනව. හැරත් අපේ අය වැස්සට එළියට බහින්න කම්මැලියිනෙ. ඉතින් මට හිතුණා ඔය ඔෆිස් ඇතුලටම වෙලා ඉන්න කැමති අයට එයාලගෙ දවල් කෑම වේලත් ලඟටම ගෙන්න ගන්න පුළුවන් කඩ ටිකක් ගැන කියන්න. හැබැයි ඉතින් මේ කඩ ටික ගොඩක්ම ඕන වෙන්නෙ කොළඹ ඇතුලෙ ඉන්න අයට තමයි.

කොළඹ 03

1. Arabian Knights

මේ අවන්හල ගොඩක් ප්‍රසිද්ධ බිරියානි, ෂවර්මා වගේ කෑම වලට වුනාට අපේ දවල් බත් වේලට හරියන බත් වර්ගත් තව අතුරු ආහාර වර්ගත් ගොඩක් තියෙනව. 'ඇරබියන් නයිට්ස්' එකේ විශේෂත්වය තමයි එක එක මස් වර්ග පාවිච්චි කරල මෙයාලා හදන රසම රස කෑම රු. 500ක් වගේ සාධාරණ ගාණකට ගන්න පුළුවන්. එක කෝල් එකකින් කෑම ඇණවුම් කලාම පැයක් දෙකක් ඇතුලත කෑම එක ලඟටම ගෙන්න ගන්නත් පුළුවන්. නැත්නම් අපිට කියන්න, අපි ගේන්නම්.

2. Sunlight Garden

නියම චීන කෑම වේලක්, විශේෂයෙන්ම දවල් කෑමට ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ කන්න ආස හිතුණොත් දෙන්න මෙයාලට කෝල් එකක්. චීන කෑම රසෙන් අනූන රයිස් එකක් ලඟටම ගෙන්න ගන්න පුළුවන්. හැබැයි ඉතින් කෑම වල ගණන් නම් රු. 500ට වඩා පොඩ්ඩක් විතර වැඩියි.

කොළඹ 04

3. Healthy Living

ටිකක් බටහිර පන්නයට හදපු නියම 'රයිස් ඇන්ඩ් කරි' එකක් ලඟටම ගෙන්න ගන්නව නම් මෙතන තමයි තැන. ලංකාවෙ අපේ රස පදමට හරියන්න හොඳට මිරිස් තුනපහ දාලා හදපු ව්‍යංජන දෙක තුනක් එක්ක බටහිර විදියට උයපු රස බත් පාර්සලයක් රු. 500කට අඩු ගාණකට ගෙන්න ගන්න දෙන්න 'හෙල්දි ලිවින්ග්' එකට කෝල් එකක්.

කොළඹ 05

4. Eat Right

ඔන්න තියෙනව අපේ රහට හදන අපේ කෑම ටිකක් ගෙන්න ගන්න පුළුවන් අපේ තැනක්. මෙතන රයිස් ඇන්ඩ් කරි විතරක් නෙවෙයි කොත්තු සලාද වගේ කෑමත් තියෙනව. එහෙම නැත්නම් 'රැප්ස්' (Wraps) ඒ කියන්නෙ මස් එකතු කරපු සලාද මැද්දට දාලා ඔතපු රොටි වගේ අතුරු ආහාරත් තියෙනව. විශේෂයෙන්ම රතු බත් සුදු බත් එක්ක හොඳට මිරිස්, තුන පහ දාලා හදපු ව්‍යංජන දෙක තුනක් එකතු වුනු රසම රස බත් එකක් ගෙන්න ගන්නව නම් 'ඊට් රයිට්' එක තමයි ගැලපෙනම තැන. රු. 500ක් වත් යන්නෙ නෑ.

5. 88 Chinese Seafood Restaurant

මෙතන තියෙන්නෙ නියම චීන ක්‍රමයට හැදෙන ෆ්‍රයිඩ් රයිස් වගේ බත් වර්ග. ඒ හැරුණාම චිකන්, පෝක් වගේ මස් වර්ග වලිනුත් ඉස්සො, දැල්ලො වගේ මුහුදු ආහාර වලිනුත් හදන රසම රස කෑම දීසියකුත් බත් එකත් එක්ක ගෙන්න ගන්න පුළුවන්. රු. 1000ක් විතර ගියාට මෙයාලගෙ කෑම වල ප්‍රමාණය ලොකු නිසා දෙන්නෙක් විතර එකතු වෙලා ඇණවුම් කරන එක තමයි හොඳ.

කොළඹ 06

6. Chana's

දවල් කෑමට ඉන්දියානු ක්‍රමයට උයපු චිකන් බිරියානි එකක් කන්න ආසයිද? දෙන්න කෝල් එකක් 'චානාස්' එකට. කුළු බඩු, මසාලා රස පදමට ගලපල හදන රසම රස බිරියානි එකක මිල රු. 500කටත් අඩුයි. අනික ඔෆිස් එකටම ගෙන්න ගන්නත් පුළුවන්නෙ. ඒක නෙවෙයි චානාස්ලගෙ කෑම අපිත් ඩිලිවරි කරනව.

දෙහිවල

7. Diwan Restaurant

පොකට් එකට වාසි වෙන විදියට බඩ පුරව ගන්න ඕන නම් ඕඩර් කරන්න 'දිවාන්' එකෙන් බිරියානි එකක්. රු. 300යි වෙන්නෙ. අඩු පාඩුවක් නෑ, ලංකාවෙ අපේ රසට සෙට් වෙන්න හොඳට මිරිස්, තුන පහ ටික දාලා හදල තියෙනව.

8. Malay Restaurant

නියම මැලේ රසට හදන බිරියානි එකක්, එහෙම නැත්තන් ශ්‍රී ලංකන් චයිනීස් ෆ්‍රයිඩ් රයිස් එකක්, ඉන්දියානු රසට හදපු හයිඩ්‍රාබාද් රයිස් එකක්, නාසිගුරාන් එකක් වුනත් රු. 500කට විතර ගෙන්න ගන්න පුළුවන්. රසත් සෑහෙන්න හොඳ මට්ටමක තියෙන නිසා කෑම නම් ඉක්මනට ඉවර වෙනව.

නාවල

9. Steam Boat

සුපිරි චොප්සි රයිස් එකක් හරි ෆ්‍රයිඩ් රයිස් එකක් හරි ගෙන්න ගන්න කියාපු තැන. වැඩි ගාණකුත් නෑ, රු. 500ක් විතර වෙන්නෙ.

10. Big Mama's

කොහොමද දවල් කෑමට රසම රස ලම්ප්රයිස් එකක් ගෙන්න ගත්තොත්. ඕනම මස් වර්ගයකින් ඇණවුම් කරන්නත් පුළුවන්. ලම්ප්රයිස් එකක් රු. 500යි වෙන්නෙ. ඇත්තටම නියම ලම්ප්රයිස් එකක් තමයි.

11. Chopsticks

අඩු ගාණට බඩ පුරව ගන්න කෑම එකක් ගෙන්න ගන්න පුළුවන් තවත් තැනක්. ෆ්‍රයිඩ් රයිස් එකක් රු. 250ක් විතර වෙන්නෙ. හැබැයි කෑම වල රස ගැන නම් ලොකු තක්සේරුවක් දෙන්න බෑ.

12. Ammi's Meaty Delights

මේ කඩවල් ටිකෙන් කෑම ගෙන්න ගන්න ඔයාලට නම් ඉතින් අමුතුවෙන් ව්‍යංජන වර්ග ගෙන්න ගන්න ඕන නෑනෙ. ඒත් අපි හිතමුකො කාට හරි හොඳට මිරිස්, තුන පහ ටිකක් දාලා කටට රසට හදපු මස් දීසියක් ගෙන්න ගන්න ආස හිතුණ කියල. අන්න එයාට පුළුවන් Ammi’s එකට කතා කරල ඒ මස් දීසිය ලඟටම ගෙන්න ගන්න. ඔයාගෙ අතටම එන මස් දීසිය රු. 750ක් වගේ තමයි වෙන්නෙ.

ඔය තැන් ටික හැරුණාම මට මග ඇරුණු තැනුත් තව ඇති හොඳ කෑම එකක් ගෙන්න ගන්න. ඒ නිසා ඔයාලා දන්න තැනුත් කමෙන්ට් කරන්න. කොහොම වුනත් වැස්ස නිසා උදේට ඇහැරෙන්න පරක්කු වෙලා දවල් කෑම එක නැතුව ඔෆිස් එකට එන අයට නම් මේ තැන් ටික ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

See 1 Comment
Last 7 Days

Trending Today