Artwork for Sampath Top - Feb 2018
Artwork for Kingsbury 2018 - Jan

කටට රහට උණුඋණුවෙන්!; විනාඩි 5ට ගෙදරදිම හදාගෙන රස බලන්න කියාපු රොටි වර්ග 5ක්

‘උණුඋණු රොටි’ කියල බෝඩ් එකක් ඉතින් දැක්ක…

Posted by

‘උණුඋණු රොටි’ කියල බෝඩ් එකක් ඉතින් දැක්ක නම් ඇති අපේ කට්ටියට…

“ඒ, හෝව් හෝව්... නවත්තල රොටියක් කාලා ප්ලේන්ටියක් ගහල යමුකො බං”

ආ… නැද්ද?

ඒ විතරක් නෙවෙයි, අතේ සතේ ඇති දාටත් නැති දාටත් හැන්දෑවට පොඩි ඩයට් එකක් දාන්න අල්ලන්නෙත් රොටි කඩයක් නෙවෙයිද?

අන්න ඒ නිසයි අපි කල්පනා කළේ හැමදාම කඩෙන් රොටි කන උදවියට ඉඳල හිටල ගෙදරිනුත් රොටියක් කන්න පොඩි චාන්ස් එකක් හදල දෙන්න. කුස්සිය වට පිටාවෙ තියෙන දේවල් ටිකක් ගලපල සෙනිකව හදා ගන්න පුළුවන් රොටි, එතකොට.. ඒව කන්න රස වෑහෙන හොදි, සම්බෝල ටිකක් එහෙමත්!

හැබැයි ඉතින් එකක්. අපි මේ කියන රෙසිපි ටික ගෙදර බිරින්දෑවො, බාග වෙලාවට අම්ම එහෙම වුණත් තරහ නැති වෙලාවක් බලල ගෙනිහින් දෙන්න ඕන. නැතුව ඉතින් නම් අපිට වගකීමක් ගන්න බෑ හොඳේ!

1. පොල් රොටි රැප්ස්

ලොවෙත් ෂුවර් ආයෙ කිසිම කඩයකින් කන්න හම්බුවෙන්නෙ නෑ, හැදුවොත් ගෙදරම තමයි. එහෙමයි කියල ඉතින් හදාගන්න ඒ හැටි අමාරුවකුත් නෑ. කරන්න තියෙන්නෙ රොටියට පොඩි වෙනසක් කරන එක. ඒ කිව්වෙ පිටියි, පොලුයි, ලුණු අඩුම කුඩුම ටිකයි දාලා අනන අතරට තෙල් පොඩ්ඩකුත් එකතු කරන එක. ඒක කරන්නෙ රොටිය තුනීයට හදද්දි කැඩෙන්නෙ නැති වෙන්න. මතක තියාගනන ඒ අතරට හොඳ කරවල තෙල් දැමුමකුත් හදාගන්න ඕන. කරවල කිව්වට ඒකට කරවල දාන්නෙ නෑ. දාන්නෙ වේලපු ඉස්සො, දැල්ලො, කූනිස්සො. ඒ හැරුණාම ටිකක් සැරට ඕන නම් ලූණූ එක්ක බෝල කොච්චි කරල් 2, 3කුත් දැම්මට කමක් නෑ. කොහොම හරි අන්තිමට හොඳට පිච්චුණ තුනී පොල් රොටි සෑහෙන්න වෙලා නිවෙන්න ඇරල ඊට පස්සෙ තෙල් දැමුම මැද්දට දාලා රෝල් කරගන්න.

2. පැණි ගෝදම්බා

පාන් පිටි ග්‍රෑම් 250, ලුණු තේ හැන්දයි, පොල් තෙල් කෝප්ප බාගයයි, වතුර කෝප්පයයි දාලා හොඳ හැටි අනා ගන්න. අනල, පිටි මෝලිය පදම් වෙන්න තියල වෙනමම හදා ගන්න දුඹුරු සීනි මේස හැන්දක් උණු කරල ඒකට කිතුල් පැණි කෝප්ප බාගයක් දාපු මිශ්‍රණයක්. ඒ මිශ්‍රණයත් නිවෙන්න අැරල, පිටි ටිකත් පිපීගෙන එද්දි, පැණි ටික මෝලියට දාලා ආයෙත් හොඳට අනාගන්න. මතක තියාගන්න පැණි දාලා ඇනුවට පස්සෙත් මෝලිය ටික වෙලාවක් තියෙන්න අරින්න ඕන. අන්තිමට පොඩි කෑලි වලට කඩල තුනී කරල තැටිය දාන්නයි තියෙන්නෙ. ඒත් රසේ ලොකූ... වෙනසක් ඇති කරන්න ඕන වගේ නම් පුච්චල බාපු රොටි මැද්දට පොඩි පැණි පොල් ඇඹරුමක් ගලප ගත්තත් අවුලක් නෑ.

3. චීස් යීස්ට් රොටි

මේකටත් ඉතින් පාන් පිටි තමයි. ග්‍රෑම් 250ක් අරගෙන ඒකට ලුණූ මේස හැඳි බාගයක්, පොල් තෙල් මේස හැන්දක් එක්ක වතුර කෝප්පයකුත් දාලා හොඳ හැටි අනන්න තියෙන්නෙ. හැබැයි පිටි පිපෙන්න නම් ටික වෙලාවක් තියන්න ඕන. කොහොම වුණත් පිටි ටික පිපීගෙන එද්දි ඒකට හීනියට ලියා ගත්තු කුකින් චීස් හරි පනීර් වගේ චීස් එකක් හරි දාන්න ඕන. ඒ හැරුණාම ඉතින් අමු මිරිස් කරලක්, ගම්මිරිස් පොඩ්ඩක්, ලූණු ගෙඩියක් එහෙම වුණත් හීනියටම ලියල දැම්මට අවුලක් නෑ. මොකද අන්තිමට ඉතින් ඔක්කොම ටික ආයෙත් අනල පොඩි වෙලාවක් තියල රොටි තුනී කරගන්නනෙ තියෙන්නෙ. මතක තියාගන්න නාන් රොටි තුනී කරල පුච්චන්න කලින් ඒකට නිකම් පාන් පිටි ටිකක් ඉහල ගන්න හරිය!

4. පළතුරු රොටි

බඩ පිරෙන්න රොටි කාලා ඩෙසට් එකටත් රොටිම කෑවොත් කොහොමද? එහෙනම් මෙන්න මේ විදියට ඩෙසට් රොටියකුත් හදාගන්න.

ඇත්තටම මේකට ඕන කරන්නෙ වේලපු පළතුරු. කෙසෙල්, අන්නාසි, ඇපල්, මිදි, අඹ වගේ ඒව නැගලම යනව. ඒත් එකක් මතක තියාගන්න ඕන පළතුරු රොටියෙ, රොටිය හදද්දි තෙල් දාන්න එපා. සාමාන්‍ය පොල් රොටි මිශ්‍රණයම වගේ හදල ෂුගර් සිරප් මේස හැන්දක් වගේ දාන්න. දාලා, පළතුරු කෑලිත් පොඩියට එකතු කරල හොඳ හැටි අනාගන්න තියෙන්න. මේ රොටිය පිපෙන්න තියන්න ඔනත් නැති නිසා එවෙලම වුණත් පුච්ච ගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් හොඳ හැටි බටර් තවරපු තැටියක පුච්ච ගත්තොත් නම් රොටිය පංකාදු පහට තියෙයි.

5. කූනිස්සො රොටි

මතකද අපි එක පාරක් කිව්ව උම්බලකඩ රොටියක් ගැන. ඇයි හදලත් පෙන්නුවනෙ.

අන්න ඒකෙදි වගේම මේ රොටියෙදිත් උම්බලකඩ වෙනුවට කූනිස්සො ගන්න. හැබැයි ඒව තෙල් දාන්නෙ නෑ. කූනිස්සො ටික විතරක් ලාවට තැටියෙ කර කරල මෝලියට එකතු කරනව. එතකොට ලූණු, අමුමිරිස් එහෙමත් අමුවෙන් තමයි ගන්නෙ. මතක ඇතුව අන්තිමට බිත්තරයකුත් දාන්න. දාලා හොඳට අනල නෝර්මල් පොල් රොටි වගේ පුච්ච ගන්න.

ඒ විතරක් නෙවෙයි රොටි පිච්චෙන අතරට හොඳ කට්ට සම්බෝලයක් හරි මස් හොද්දක් හරි එහෙමත් හදාගන්න ඕන. මොකද නැත්නම් හායි හූයි ගගා රස බලන්න වෙන්නෙ නෑනෙ.

Leave a comment