Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

ඇස් දෙක වගේ ඇස් දෙක රැකගන්න, පහසු යෝගා ව්‍යායාම 5ක්

ඩිජිටල් තිරවලට ඇලුණු ඇස් දෙක රැකගමු

Posted by

සාමාන්‍යයෙන් ශරීරයේ අවයව වෙහෙස වුණාම අපිට දැනෙනවා. මහන්සිය, තෙහෙට්ටුව, කැක්කුම්, වේදනා වගේ ලක්ෂණ ඇති වෙනවා. එතකොට දැන් සිරුරට විවේකය අවශ්‍යයි කියලා අපිට දැනෙනවා. ඒත් අපිට එහෙම විශේෂයෙන් දැනෙන්නේ නැතුවම හුඟක් වෙහෙසෙන ඉන්ද්‍රියක් තමා ඇස් දෙක කියන්නේ. අනික් අතට ඇස් දෙක කොච්චර වෙහෙස වුණත් අපි ඒක වැඩිය ගණන් නොගෙන, විවේකයක් නොදී තවතවත් මහන්සි කරනවා.

දැන් දැන් මේ තත්ත්වය සුලබ ව ඇති වෙන්නේ මේ වෙද්දි හුඟ දෙනෙක් දවස පුරා ම වැඩ කරන්නේ ඩිජිටල් තිර එක්ක නිසා. විශේෂයෙන් මේ දවස්වල වැඩිය එළියට බහින්නත් පුළුවන්කමක් නැති නිසා පාඩම් වැඩ කටයුතු, රාජකාරි කටයුතු එහෙමත් කෙරෙන්නේ ලැප්ටොප්, මොබයිල් ෆෝන් හරහා. ඊට අමතරව විවේක වෙලාවටත් අපි බොහෝ විට කරන්නේ ෆිල්ම් බලන එක, ගේම් ගහන එක, ෆේස්බුක් යන එක වගේ දේවල් නේ. ඉතින් අපිට නොදැනීම දවසේ වැඩි වෙලාවක් ඇස් දෙක යොමු වෙලා තියෙන්නෙ ඩිජිටල් තිරවලට.

ඇස් වෙහෙස වුණාම ඇස් රිදීම් සහ ඔළුවේ කැක්කුම් ඇති වෙන්න පුළුවන් වගේ ම, පෙනීමේ දුර්වලතා එහෙමත් හටගන්නවා. වයසට ගියාම ඇස්වල සුද එන එකත් ඇස් නිරෝගී නොවුණාම වෙන දෙයක්. ඇස් දෙක නිරෝගී ව තියාගන්න කරන්න පුළුවන් ලේසි යෝගා ව්‍යායාම කීපයක් ගැනයි මේ කියන්න හදන්නෙ. මේවට යෝගා මැට් එහෙම අවශ්‍ය වෙන්නෙ නෑ, ඔබ ඉන්න ඕන තැනක ඉඳන් කරන්න පුළුවනි.

Palming 

නිශ්ශබ්දව වාඩි වෙලා ඇස් වහගන්න. ගැඹුරු හුස්ම අරං රිලැක්ස් වෙන්න. ඔබේ අත්ලවල් හොඳින් එකට පිරිමදින්න. පිරිමැදීමෙන් උණුසුම් වුණාට පස්සේ අත්ල දෙක වහපු ඇස් දෙක උඩින් තියන්න. තප්පර කීපයක් තියාගෙන ඉන්න. අත්ලේ උණුසුම ඇස්වලට මාරු වෙලා ඇස්වල මාංශපේශී ලිහිල් වෙනවා ඔබට දැනෙයි. මේ විදිහට තුන් පාරක් වත් කරන්න. දවසේ වැඩ සියල්ල අවසන් වුණාම රාත්‍රියට කරන්න හොඳ ව්‍යායාමයක්. 

Blinking

පහසු තැනක වාඩි වෙලා ඇස් දෙක හොඳින් විවර කරන්න. දහපාරක් විතර වේගයෙන් ඇසිපිය හෙළන්න. ඇස් වහන්න. තප්පර 20ක් විතර ඇස් වහගෙන හොඳින් හුස්ම ගන්න. දැන් ඇස් ඇරලා නැවත ඒ ව්‍යායාමය කරන්න. අඩු ගාණේ පස් පාරක් වත් එක දිගට කරන්න හැකි නම් හුඟක් හොඳයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් මිනිත්තුවකට 25 වරක්වත් ඇසිපිය හෙළන්න ඕනේ. ඒත් ෆෝන් එක හෝ කම්පියුටර් එක දිහා බලාගෙන ඉන්න වෙලාවලදී මේ වාර ගණන අපිට නොදැනීම අඩු වෙනවා. එතකොට ඇස්වලට අවශ්‍ය තෙතමනය ලැබෙන්නේ නෑ. 

Rotational viewing

ඇස් හොඳින් විවර කරලා, හිස සොලවන්නේ නැතිව ඇස් දෙක මාරුවෙන් මාරුවට ඔබේ වම් පසට සහ දකුණු පසට ගෙනියන්න. ඉන් පස්සේ රවුමක හැඩයට කරකවන්න. හිතෙන් රවුමක් ඇඳගන්න අමාරු නම් ඔබේ අතේ ඇඟිල්ලක් රවුමක හැඩයට ගෙන යමින් ඒ දෙස බලාගෙන වුණත් මේ ව්‍යායාමය කරන්න පුළුවන්. නැත්නම් බිත්ති ඔරලෝසුවක අංක ටික දිහා බලාගෙන ඇස් දෙක රවුමට කරකවන්න. රවුමේ උඩු කොටස සම්පූර්ණ කරද්දි හුස්ම ඉහළට ගන්න. යට කොටස සම්පූර්ණ කරද්දි හුස්ම පහතට හෙළන්න. කොහොම කළත් ඔබේ කර හෝ ගෙල සෙලවීමෙන් තොරව මේක කරන්න ඕන බව හිතට ගන්න. 

Nose tip gazing

පහසුවෙන් වාඩි වෙන්න. ඔබේ අත උස්සලා ගුලි කරලා නහය මට්ටමේ තියාගන්න. ෆේස්බුක් එකේ ලයික් බට්න් එක වගේ වෙන්න මහපට ඇඟිල්ල උඩු අතට හරවන්න. දැන් මහපට ඇඟිල්ලේ තුඩ දිහා බලාගෙන, අත නවලා ටික ටික නහයේ අගට ගේන්න. ඇස් දෙක ඇඟිලි තුඩෙන් අයින් කරන්න එපා. තප්පරයක් දෙකක් එහෙම ම නහය අග දිහා බලන් ඉඳලා ආයෙමත් අත තිබුණු තැනට ගෙනියන්න. මේ ඔක්කොම කරද්දිත් ඇස් දෙක තියෙන්න ඕන මහපට ඇඟිල්ලේ තුඩ දිහා බලාගෙනමයි. මේ විදිහට පස් පාරක් කරන්න. ඇඟිල්ල නහය ළඟට ගේනකොට හුස්ම ඉහළට ගන්නත්, නහයෙන් ඈතට ගෙනියනකොට හුස්ම පහතට හෙළන්නත් උත්සාහ කරන්න. 

Near and distant viewing

ඈත තියන දෙයක් දිහා තප්පර 20ක් ඇසිපිය නොහෙළා එක එල්ලේ බලාගෙන ඉන්න. ජනේලයක් ළඟ නැත්තං බැල්කනියක වගේ දුර වීව් එකක් තියන තැනක ඉඳන් කළ හැකි නං වඩා හොඳයි. තප්පර 20කට පස්සේ ඔබ බලාගෙන හිටපු තැනට යටින් මහපට ඇඟිල්ල දිගු කරන්න. දැන් දුර රූපය සහ මහපට ඇඟිල්ල දිහා මාරුවෙන් මාරුවට ඇස් දෙක යොමු කරන්න. ළඟ බලද්දි හුස්ම ඉහළට ගන්නත්, දුර බලද්දි හුස්ම පහළට හෙළන්නත් උත්සාහ කරන්න. 10-20 අතර වාර ගණනක් කළාට පස්සේ ඇස් වහලා ඇස්වලට විවේකයක් දෙන්න.

Leave a comment