Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

ශීතකරණය පාවිච්චියේදී අපි අතින් සිදු වෙන වැරදි 5ක්

ආහාරපාන හරියාකාරව කල් තියාගන්න

Posted by

කොවිඩ්-19 වසංගතයෙන් රටක් විදිහට බැට කමින් ඉන්න වෙලාවක, ගෙදරට අවශ්‍ය ආහාරපාන සපයගන්නවා කියන්නෙත් ලේසි වැඩක් නෙවෙයි. මොකද වැඩි දෙනෙක් දැන් රාජකාරි, අධ්‍යාපන වගේ කටයුතුත් කරන්නෙ ගෙදර ම ඉඳන්. එළියට යන එක භයානක නිසා ගෙදරට වෙලා ඉන්න එක තමයි කොහොමටත් වඩා හොඳ. නිතර නිතර කෑමබීම ගන්න එළියට යන්න අපහසු නිසා ආහාර කල් තියාගන්න ක්‍රම ගැන දැනගෙන ඉන්න එක මේ කාලේ හුඟක් වැදගත්. ඒ ගැන දැනුවත් වෙන්න, අපි කලින් ලියපු මෙන්න මේ ලිපිය කියවල බලන්න.

ආහාරපාන කල් තියාගැනීම ගැන කතා කළාම මුලින්ම මතක් වෙන්නෙ ගෙදර තියන ෆ්‍රිජ් එක නේ. හැබැයි ෆ්‍රිජ් එකේ දාපු පමණින් ම ආහාරපාන කල් තියාගන්න පුළුවන් වෙන්නෙ නෑ. ඒකට ෆ්‍රිජ් එක පිළිවෙළට, පිරිසිදුවට සහ නියමිත පරිදි තියාගන්න එක වැදගත්. සාමාන්‍යයෙන් හැම ගෙදර ම ෆ්‍රිජ් එකක් තිබුණට අපි ෆ්‍රිජ් එක පාවිච්චියේදී ඊට නිසි අවධානය දෙනවද කියන එක ප්‍රශ්නයක්. මොකද ෆ්‍රිජ් එකක් පාවිච්චි කරද්දි අපි අතින් සිදු වෙන අතපහු වීම් සහ වැරදි නිසා කෑමබීම නරක් වෙන, පරණ වෙන, අපතේ යන අවස්ථා බහුලයි.

මේ තියෙන්නේ ඒ වගේ අපි අතින් සිද්ධ වෙන වැරදි කීපයක්. ඉතින් මේවා නිවැරදි කරගන්න හැටි පෙන්නලා දෙන්න අපි කල්පනා කළා.

වැරදි උෂ්ණත්වය

1 ඉඳන් 5 දක්වා හරි, 1 ඉඳන් 7 දක්වා හරි ඉලක්කම් දැක්වෙන උෂ්ණත්ව පාලකයක් ඕගොල්ලන්ගේ ෆ්‍රිජ් එකේ ඇති. මේකේ අඩු ම අගයෙන් කියවෙන්නේ වැඩි ම උෂ්ණත්වය. කෙටියෙන් කිව්වොත් 1 අංකයෙන් දැක්වෙන්නේ අඩු ම සීතල. වැඩි ම අංකයෙන් දැක්වෙන්නේ වැඩි ම සීතල. සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ ශීතකරණයට අවශ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 සහ 5 අතර විය යුතුයි කියලා.

හැබැයි ඔයාගේ ෆ්‍රිජ් එකේ ගබඩා කරන දේවල් දන්නේ ඔයා නේ. ඒ නිසා දාන දේවල්වලට අනුව උෂ්ණත්වය තියන්න ඕන කොහොමද කියල අපි ම තීරණේ කරන්න ඕනේ. කොහොම වුණත් උෂ්ණත්වය අඩු ම අගයක තිබ්බොත් බැක්ටීරියා ඉක්මනින් වැඩිලා කෑමබීම ඉක්මනින් නරක් වෙලා අහක යන්නත්, වැඩි ම අගයක තිබ්බොත් කෑමබීම ගල් වෙලා පාවිච්චි කරන්න බැරි තත්ත්වයට පත් වෙන්නත් ඉඩ තියන බව මතක තියාගන්න. 

ඉඩෙන් උපරිම ප්‍රයෝජන ගන්නවද?

ෆ්‍රිජ් එකේ තියන ඉඩ හරිහැටි කළමනාකරණය කරන්න නොදන්නා කමින් ඉඩ ඇහිරිලා බඩුවලට ඉඩ මදි වෙන්න පුළුවන්. එහෙම වුණොත් එකට අඩුක් කරන්න හොඳ නැති සමහර ආහාරපාන එක ගොඩේ තියන්න සිද්ධ වෙන්න පුළුවන්. අඩුක් කරද්දි වෙන වැරදි නිසා මෙහෙම අවස්ථාවල ආහාරපාන අපතේ යන්න සෑහෙන ඉඩක් තියනවා. 

ඒ විතරක් නෙවෙයි, දැනටමත් නරක් වුණ, පාවිච්චියට ගන්න බැරි, සති ගණන් ෆ්‍රිජ් එක ඇතුළේ පරණ වෙන කෑමබීම ජාති පිරිලා තියනවා නං වහා ම ඒවා එළියට දාන්න. ෆ්‍රිජ් එකක් තියෙන්නේ දේවල් අලුත් පිට තියාගන්න නේ. ඉතින් පරණ දේවල් ගොඩ ගැහුණම අලුත් කෑමබීම නිසි විදිහට ගබඩා කරන්න තියන ඉඩ අපතේ යනවා.

නියමිත දේවල් නියමිත තැන්වල?

එක එක කෑමබීම ෆ්‍රිජ් එක ඇතුළේ අඩුක් කරන්න ඕන තැන් තියනවා. හිතුණ හිතුණ තැන අහු වුණු අහු වුණු දේවල් ඔබන්න යන්න එපා. සාමාන්‍යයෙන් උඩ ම ෂෙල්ෆ් එක පාවිච්චි කළ යුත්තේ උයන්න අවශ්‍ය නැති කෑම ජාති සහ උයලා ඉතිරි වුණ කෑම ජාතිවලට. මැද තට්ටුව කිරි, චීස්, යෝගට්, බටර් වගේ කිරි ආහාර ගබඩා කරන්න හොඳ ම තැන. කිරි වගේ දේවල් ෆ්‍රිජ් එකේ දොරේ තියනවා නං ඉක්මනින් අයින් කරන්න ඕනේ. මොකද දොර කියන්නේ ෆ්‍රිජ් එකේ උෂ්ණත්වය වැඩි ම තැන. ඒ නිසා කිරි ඉක්මනින් නරක් වෙන්න පුළුවන්. දොරේ තියන්න ඕනේ ජෑම්, ජෙලි, සෝස්, පලතුරු යුෂ වගේ ස්වාභාවිකව කල් තියාගන්න පුළුවන් ජාති.

අමු මස් සහ මාළු තියනවා නං අනෙක් කෑමබීම ජාතිවල ස්පර්ශ නොවෙන විදිහට තුන් වෙනි/ යට ම තට්ටුවෙ තියන්න. එතකොට ඒවයින් දියර මොනාහරි ලීක් වුණොත් අනෙක් කෑමබීමවලට මිශ්‍ර වෙන්නෙ නෑ. අමු මස් මාළු අනෙක් ජාතිවල ගෑවුණොත් ඔක්කොම නරක් වෙන්න ඉඩ තියනවා. ඒ වගේ ම යට ම තියන ලාච්චුවේ දාන්න ඕන එළවළු, පලතුරු, කොළ ජාති සහ සලාද වගේ දේවල්. හැබැයි ඇපල්, දොඩම්, අඹ, කෙසෙල්, පෙයාස්, කොමඩු වගේ හුඟක් පලතුරු ජාති නං ෆ්‍රිජ් එකේ දාන එක අනවශ්‍ය වැඩක්. මේවා කැපුවට පස්සේ ඉතිරි වුණොත් විතරක් ෆ්‍රිජ් එකේ දාන්න. එළවළු, පලතුරු ගබඩා කරන හැටි ගැන වැඩි විස්තර මෙන්න මේ ලිපියෙන් කියවන්න පුළුවන්.

නිසි පරිදි ගබඩා කරනවද?

උයලා ඉතිරි වුණ කෑම සහ කෑමබීම සහිත විවෘත කරපු පැකට්, කවර, බෝතල් ෆ්‍රිජ් එකේ තියද්දි හොඳින් ආවරණය වෙන විදිහට වහන්න. මොකද මේවයේ ලේසියෙන් බැක්ටීරියා වර්ධනය වෙන්න පුළුවන්. ඒත් බාගෙට කාපු දෙයක් පැකට් එක පිටින් ම ෆ්‍රිජ් එකේ තියනවට වඩා හොඳයි වීදුරු හෝ ප්ලාස්ටික් භාජනේක දාල තියන්න පුළුවන් නම්. ඒ වගේ ම උයපු කෑම ජාති ගොඩක් පොඩි පොඩි කන්ටේනර්ස්වල දාලා ෆ්‍රිජ් එකේ දාලා තියනවා නං මතක ඇතිව ඒවා පොඩියට ලේබල් කරන්න. නැත්තං අමතක වෙලා අහක යන්න පුළුවනි.

තව දෙයක්. අලුතෙන් ගේන කෑමබීම ෆ්‍රිජ් එකේ ඉස්සරහින් අහුරන්න එපා. පරණ දේවල් ඉස්සරහට කරලා අලුත් කෑමබීම පිටිපස්සෙන් අහුරන්න. නැත්තං පරණ ජාති පිටිපස්සේ නොපෙනී ම නරක් වෙවී අහක යයි.

පිරිසිදු නොකිරීම

ශීතකරණයේ තට්ටු, ලාච්චු, දොර, අධි ශීතකරණය.. මේ හැම කොටසක් ම පිරිසිදුව තියාගැනීම ඉතා ම වැදගත්. මොකද ශීතකරණය ගනුදෙනු කරන්නේ අපි කනබොන ජාති එක්ක නේ. බොහෝ විට අපි ෆ්‍රිජ් එක අතපත ගාන්නේ උයන අතරේ, නැත්තං කෑම කන අතරේ. ඒ නිසා අතේ තියෙන ඉඳුල් ෆ්‍රිජ් එකේ ගෑවෙන්න ඉඩ තියනවා. ඒ වගේ ම මස් මාළු වගේ දේවල් අතේ තියෙද්දි ෆ්‍රිජ් එක ඇල්ලුවොත් ඒවා ගෑවෙන අනෙක් කෑම නරක් වෙන්න, එක එක ගඳවල් නිකුත් වෙන්න පටන්ගන්නවා. ඒ නිසා ෆ්‍රිජ් එක අරින්න කලින් අත හෝදන්න පුළුවන් නං හොඳයි.

ඒ වගේ ම සතියකට සැරයක් වත් ෆ්‍රිජ් එක උඩින් පල්ලෙන් හරි අස් කරන්න. මාසෙකට සැරයක් නං අනිවාර්යයෙන් ම සම්පූර්ණයෙන් සුද්ධ කරන්න. නරක් වුණ පරණ දේවල් එළියට දාලා අලුත් කෑමබීමට ඉඩ හදාගන්න. කනබොන දේවල් ෆ්‍රෙෂ් පිට තියාගන්න පුළුවන් වෙන්නේ ෆ්‍රිජ් එකේ තියන පැල්ලම් වගේ ම ගඳ එහෙමත් ඉවත් වුණාම නේ.

Leave a comment