Artwork for Brew-at-Hatch-Top Banner 2 A
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for PMF Ifatr Sidebar banner 1

අතුරුපසට පංකාදුවට.. අවුරුදු කෑම මේසෙට අළුත්, අපූරු කෑම ජාති 5ක්, II

කිරි, සීනි, එනසාල්, කරාබුනැටි ටිකක් දාලා උණු…

Posted by

මේ..

ඒකෙ..

දෙවනි කොටස!

1. මුං බත්

මුං ඇට තම්බල, පොලුත් එක්ක කනකොට නිකම් දිය රහයි වගේද? කට්ට සම්බෝලයක් ලං කරගත්තත් එච්චර ගතියක් නැද්ද? එහෙනම් මෙන්න වැඩේ. ගන්න මුංඇට ටික හෝදල කරල හොඳ හැටි වේලල. අරගෙන ගලේ අඹර ගන්න කෑලි ගොඩක් පොඩි නොවෙන්න. එහෙම නැත්නම් ග්‍රයින්ඩරෙත් අවුලක් නෑ. කොහොමහරි එහෙම කෑලි කරගත්ත මුංඇට ටික.. අම්මට කියන්නකො ‘හුණු සාල් බත්’ හදන විදියට හදල දෙන්න කියල. ඒ අතරට ඔයා හදන්න ටොප් කට්ට සම්බෝලයක්, උම්බලකඩ කෑල්ලක් එහෙමත් දාලා. ඔය.. හුණු සාල් බත හදන්නෙ හාල් කුඩු වෙච්ච ඒවගෙන්. ඇත්තටම මෙතනදි වෙන්නෙ ඒ හාල් වෙනුවට කෑලි කරපු මුං ඇට ටික ගන්න එක. අරගෙන.. දිය කිරෙන් තම්බල අන්තිමට ගාගත්ත පොල් තොගයක් එකතු කරල, බානව කෙහෙල් කොලේට..

2. සීනි කොස් පපඩම්

කොස් මදුලු ටිකක් අරගෙන මුලින්ම ඒවයෙ ඇට අයින් කරල උතුරන වතුරෙ හොඳට තම්බගන්න. තම්බලා.. නිවීගෙන එන අතරට පාන් පිටි, පදමට ලුණුත් එක්ක මික්ස් කරල අතින් හොඳට පොඩි කරගන්න. ඒ ටික හොඳට පොඩි වීගෙන එනකොට.. ඒකටම දාන්න බිත්තර 2, 3ක්. දාලා දිගටම අතින් පොඩි කරන්න පිටි මෝලියක් වගේ එන ගානට. පොඩි කරලා පුංචි බෝල විදියට කඩල අරගෙන ලෑල්ලක් උඩ තුනීවෙන්න තලල රවුම් කපාගන්නයි තියෙන්නෙ, හැබැයි ගොඩක්ම පොඩියට. කපලා.. ඒවා ගැඹුරු තෙලේ බැදගන්න ඕන. බැදලා, තෙල් බේරෙන්න ඇරලා.. උණුවෙන්ම වගේ දාන්න සීනි උණු කරගත්තු එකකට. දාලා කරකවල අරගෙන හයි වෙන්න අරින්නයි තියෙන්නෙ. ආයෙ තේ එකක් එහෙම බොන වෙලාවට.. ටොප්ම තමයි ඈ!

3. දෙල් වරකා පුඩිං

තම්බල, උයල කනව වගේද ඉදවල පුඩිම් හදල කද්දි? හොයාගන්න තියෙන්නෙ ඉදිච්ච දෙල් ගෙඩි ටිකක්. හොයාගෙන.. ඒවා සුද්ද කරල වහලු ඇරල, ඇට අයින් කරල, හුමාලයෙන් තම්බලා.. හොඳට අතින් පොඩි කරගන්න. ඊට පස්සේ.. වෙනමම භාජනයකට කිරි, සීනි, එනසාල්, කරාබුනැටි ටිකක් දාලා උණු කරලා.. කිරි ටික නටාගෙන එද්දි දෙල් ටික දාලා උකු වෙනකම්ම හැඳිගාන්න තියෙන්නෙ. හැබැයි ඒකෙ තලප ගතිය එනකොට බාන්න හොඳද. බාලා ඉතින් උඩට කජු, මුද්දරස්පලම් ටිකක් දාලා හයි වෙන්න තියලා.. කූල් කරල ගත්ත නම්...

4. කිරි දොදොල්

කළු දෙදොල් හැමදාම කන එකේ.. ආ මෙන්න, කිරි දොදොල්. හදාගන්න ඕන කරන්නෙ හාල් පිටි හුණ්ඩු 2යි, හකුරු බෑයයි, පොල් ගෙඩියයි, එළකිරි බාගයයි, ඉඟුරු, කුරුඳු, කජුමද, මුද්දරස්පලම් ටිකකුයි. මුලින්ම පොල්ගෙඩියම ගාලා කිරි වට දෙකක් ගන්න. අරගෙන.. ඒකට හකුරු බෑය හීනියට ලියල දාලා හොඳට දියකරගන්න. ඊට පස්සෙ ඒකට එළකිරි, හීනියට ලියාගත් ඉඟුරු, කුරුඳු, මුද්දරස්පලම්, කජු එක්ක හාල්පිටි ටිකත් දාලා, ලිපේ තියලා.. දිගටම හැඳි ගාන්නයි තියෙන්නෙ. එහෙම හැඳි ගාලා, හැඳි ගාලා.. තලපෙ ටිකක් ඝන වේගෙන එනකොටම කෙහෙල් කොලේකට බාලා, තුනී කරල, කෑලි කපාගන්න..

5. මීපැණි පරිප්පු ගුලි

කඩල පරිප්පු හොඳට තම්බලා අතින් පොඩි කරගන්න. පොඩි කරන ගමන් ඒකට එකතු කරන්න සූදුරු, එනසාල්, කරාබු, කුරුඳු කුඩු ටික ටික. ඒ එක්කම සීනි, ලුණු, පුලුවන් නම් බැදපු තල ටිකක් එහෙමත් එකතු කරන්න. අන්තිමටම හීනියට ගාගත්ත පොලුත් එකතු කරලා.. ගුලි හදන්න පුලුවන් පදමටම අනාගන්න. අනාගෙන, ලොකු ගුලි රවුම් කරන ගමන් මහපට ඇඟිල්ලෙන් මැද හිල් හදන්න. හදල ඒවට පුරවන්න මීපැණි. පුරවලා.. ගුලියම ආයෙත් රවුම් කරල සීල් කරලා.. අවන් එකේ දාලා සෙල්සි. 150ට වගේ විනාඩි 15ක් 20ක් බේක් කරගන්න.. රසයි කියල වැඩිය කාගෙන කාගෙන නම් යන්න එපා දෙයියො, එක්කො මත්වෙයි, නැත්නම්…?

Leave a comment