Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickME Food Rs. 400 OFF on your Dinner Order until 23.6.21 SBB Artwork for Coffee post sidebar 1-Aga coffee

මේ අවුරුද්ද හිත හොඳින් ඉවර කරන්න, හොඳ ම පියවර 5ක්

මේ අවුරුද්දත් එක්ක සාම ගිවිසුමක් ගහමු!

Posted by

තව සති දෙකකින් විතර අවසාන වෙන 2020 අවුරුද්ද කවුරු කවුරුත් සලකන්නෙ හැමෝටම සෑහෙන සෘණාත්මක දේවල් සිද්ධ වුණ නරක කාලයක් විදිහට නෙ. විශේෂයෙන් ලෝක ව්‍යාප්ත කොරෝනා වසංගතය ඒකට ලොකු හේතුවක්. ඒ ඇරුණම 2020 කියන්නෙ ලෝකේ පුරා ම ලැව්ගිනි, සුළි කුණාටු, භූමි කම්පා, ගංවතුර වගේ ස්වාභාවික ව්‍යසන ඇති වෙලා මිනිස්සු පීඩාවට පත් වුණ අවුරුද්දක්. ඒ වගේ ම ලෝකේ පුරා ම සිදු වුණු විවිධ බෝම්බ පිපිරීම්, යුද ගැටුම්, කැරලි කෝලාහල වගේ දේවල් නිසා මිනිස්සු නොසන්සුන් වුණ අවුරුද්දක්. ඊටත් අමතරව මුළු ලෝකෙ ම ආදරේ දිනාගත්ත කලාකරුවො, ක්‍රීඩකයො සහ ප්‍රසිද්ධ පුද්ගලයින් ගොඩක් මිය ගිය අවුරුද්දක්.

මේ ඔක්කොමත් එක්ක ඕගොල්ලො හැමෝටම පෞද්ගලිකවත් මේ අවුරුද්දේ නරක කලදසා එළඹෙන්න ඇති. මොකද වසංගතයත් එක්ක අපේ සුපුරුදු ජීවන රටාව වෙනස් වෙලා, ඒක අපේ කායික සහ මානසික සෞඛ්‍යයට බලපාපු හින්දා. කොහොම වුණත් දැන් ඒ 2020 අවුරුද්ද ඉවර වෙන්නයි යන්නෙ. මේ අවුරුද්ද කොයි තරම් නරක වුණත් ඊළඟ අවුරුද්ද ගැන සුබ බලාපොරොත්තු තියාගෙන මේ අවුරුද්ද අවසන් කරන්න නම් අපිට මේ අවුරුද්දත් එක්ක සාම ගිවිසුමක් ගහන්න ම වෙනවා. ඒකට ක්‍රමය තමයි මේ කියන්න හදන්නෙ.

1 හැරිලා බලන්න

විවේක වෙලාවක් වෙන් කරගෙන මේ පහු වුණ අවුරුද්ද රිවීව් කරන්න ට්‍රයි කරන්න. ජනවාරි මාසේ ඉඳන් මේ වෙනකන් ඔයාගේ ජීවිතේ සිදු වුණ සිදුවීම් පිළිවෙළින් මතක් කරන්න. ඒවයේදී ඔයා හැසිරුණ විදිහ, ගත්ත තීරණ, මූණ දුන්න අභියෝග, හරි ගිය තැන්, වැරදුණ තැන්, ඉගෙනගත්ත පාඩම්.. මේ හැම දේ ම ආපහු මතක් කරන්න. මීට වැඩිය හොඳට මූණ දෙන්න තිබුණු තැන් මොනවද, මීට වඩා හොඳ තීරණ ගන්න තිබුණු තැන් මොනවද, අතහැරිය යුතු නරක පුරුදු මොනවද ආදී වශයෙන් ඔයාගේ චර්යාව ඔයාට ම රිවීව් කරගන්න පුළුවන්.

2 සාර්ථකත්වයට මුල් තැන දෙන්න

පහු වුණ අවුරුද්ද සමස්තයක් විදිහට නරකයි කිව්ව පලියට, මුළු අවුරුද්දෙ ම ඔයා සාර්ථක වුණ එක දෙයක්වත් නැති වෙන්න බෑනේ. හොඳට හිතල බැලුවොත් සතුටු වෙන්න පුළුවන් මොකක් ම හරි පුංචි දෙයක් හොයාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයා තෘප්තිමත් වුණ අවස්ථා, අනෙක් අයව සතුටු කරපු අවස්ථා, ජයග්‍රහණ ලබපු අවස්ථා ආදිය ගැන වැඩිපුර හිතන්න. ඒකෙන් ඔයාට ඊළඟ අවුරුද්දට මූණ දෙන්න හොඳ ආත්ම විශ්වාසයක් ඇති වෙයි.

3 සමාව දෙන්න

අර කලින් කිව්ව වගේ ඔයා අතින් මේ අවුරුද්දෙ සිද්ධ වුණ අත් වැරදීම්, හිත් රිදීම්, මඟ ඇරීම්, පරාජයන් වගේ දේවල් ගැන හිතමින් ඔයාට දඬුවම් කරගන්න හදන්න එපා. ඒ වෙනුවට තමන්ට ම කරුණාවන්ත වෙන්න සහ සමාව දෙන්න පුරුදු වෙන්න. ඒ වගේ ම ඔයාට රිද්දපු, හිරිහැර කරපු, පීඩා කරපු අය ඉන්නව නං, තරහ හිතේ තියාගෙන නොඉඳ ඒ අයටත් සමාව දෙන්න. සමාව දීමෙන් වරද නිවැරදි වෙන්නෙ නෑ. ඒත් ඔයාට ඔයාගෙ හිත සාමකාමී කරගන්න අවස්ථාව ලැබෙනවා.

4 කෘතඥ වෙන්න

මේ අවුරුද්දේ ඔයා ස්තුතිවන්ත වෙන දේවල්වල ලැයිස්තුවක් සකස් කරන්න. සමහර විට එක පාරට හිතට එන එකක් නෑ. ඒත් හිතාගෙන යද්දි නොහිතපු විදිහේ පුංචි පුංචි දේවල් මේ ලැයිස්තුවට එකතු වෙයි. පහු වුණ අවුරුද්ද ලස්සන කරන්න වචනෙකින් හරි උදව් කරපු ඔයාට ආදරේ කරන අයට, පවුලේ අයට සහ හිතමිතුරන්ට ස්තුතියි කියන්න අමතක කරන්න එපා. වෛරය පතුරනවා වෙනුවට කෘතඥතාව වගේ යහපත් හැඟීම් හැමෝම අතරෙ බෙදාහදාගන්න.

5 සමරන්න!

දැන් ඔන්න ඔයාට පුළුවන් අවුරුද්දක් ගෙවිල අලුත් අවුරුද්දක් උදා වීමේ ප්‍රීතිය, යහපත් සිතිවිලිත් එක්ක සමරන්න. ඒ එක්ක ම පහු වුණ අවුරුද්දේ හිටියටත් වඩා යහපත් මනුස්සයෙක් විදිහට අලුත් අවුරුද්දේ කටයුතු කරන බව හිතට ගන්න. 

Leave a comment