Artwork for Sampath Top - June

මස් කරි රසටම එළවළු කන්න!; කටට රහට, ගෙදරදිම හදාගන්න කියාපු සුපිරි ලාංකීය එළවළු ව්‍යංජන 5ක්

ඒ හැරුණාම, ගෙදර කෑම වේලෙදි වුණත් වෙජි…

Posted by

වෙජිටේරියන්ස්ල කියල අයින් කරන්නයැ. කෑම මේසෙට වාඩි වුණාම කවුරුත් එක වගේනෙ. බෙදා හදාගෙන පිට් එකේ කන්නෝනි. හැබැයි වැරදිලාවත් කෑම මේසෙ මස් මාළුවලින් පිරුණු එකක් වුනොත්. වෙජිටේරියන්ස්ලා අනාථයි. ඇයි ඉතින් මොනව කියල කන්නද?

අනික එහෙම වුණාම කුකාටයි මේසෙට වාඩිවෙන අනිත් අයටයිත් අවුල්නෙ.

ඒ හැරුණාම, ගෙදර කෑම වේලෙදි වුණත් වෙජි කට්ටියට පොඩි පොඩි අඩු පාඩුකම් වෙන්න පුළුවන්. හිතන්නකො රස මස් හට්ටියක් සුවඳ ගගහ මේසෙට එද්දි?

මස් නිසා කන්නත් බෑ, සුවඳ නිසා නොකාත් බෑ.

ඔන්න ඔය වගේ දේවල් නිසයි අපි කල්පනා කළේ වෙජි අයට සිද්ධ වෙන අසාධාරණකම්වලට එරෙහිව නැගී සිටින්න. නිකම් නෙවෙයි මස්, මාළු රස, සුවඳ එලෙසින්ම තියෙන විදියට එළවළු ව්‍යංජන ටිකක් හදා ගන්නෙ කොහොමද කියල කියන ගමන්.

එහෙනම් ඉතින් ඔය පහළින් තියෙන රෙසිපි ටික කියවල බලන්නකො.

1. බැටර්ඩ් තෝර, පරා වගේද බැටර්ඩ් ‘කොහිල පෙති’

මේක හරිම ලේසි වැඩක්. ප්‍රධාන වශයෙන් කරන්න තියෙන්නෙ මහත කොහිල අලයක් ගන්න එක තමයි. ඊට පස්සෙ ඒක ඇඟිලි පුරුක් කාලක (අඟල් කාලක) විතර ඝනකමක් තියෙන විදියට පෙති කපා ගන්න ඕන. ඒ පෙති ටික (ග්‍රෑම් 250) හෝදල කරල භාජනයකට දාන ගමන්, ඒකට එකතු කරන්න කහ, බැදපු තුනපහ, මස් කරි පවුඩර්, අබ පේස්ට්, ගම්මිරිස් තේ හැන්ද ගාණෙ. හැබැයි මිරිස් කුඩු නම් හැඳි 2ක් වත් දාන්න ඕන. ලුණු වතුරත් කෝප්ප භාගයක් විතර එකතු කරන්න.

මිශ්‍රණය හොඳට අතගාලා පැයකට එහා පැත්තෙ පදම් වෙන්න තියලා මාළු පෙති දවටල බදින විදියට බැද ගන්න තියෙන්නෙ. ෆුල්ම වෙජිටේරියන් නොවන කට්ටියට පුළුවන් දැවටුමට බිත්තර සාරු වුණත් උපයෝගී කරගන්න. මොකද එතකොට රස ඩබල් වෙනවනෙ.

කෙසේ වෙතත් සීයට දාහක් ඔට්ටුයි නොකියා දුන්නොත් ලොවෙත් හොයා ගන්නෙ නෑ කොහිල කියල.

2. ෆිෂ් ඇන්ඩ් චිප්ස්ද? අළු කෙහෙල් ෆ්‍රයිස්ද?

ෂහ්!, ආයෙ ටොප් බයිට් එක ඈ. අළු කෙහෙල් කට්ටිය නොකෑවට මෙහෙම හදල දුන්නොත් නම් අනිවා කනව. වෙන දෙයක් නිසා නෙවෙයි අළු කෙහෙල් කියල අඳුන ගන්න බෑනෙ. අනික රසත් සුපිරි. ලුණු චුට්ටක්, ගම්මිරිස්, මිරිස් කුඩු, දෙහි බිංදු දෙකක් ලූණු පෙති ටිකක් දාලා ගත්තාම පංකාදු පහයි.

එහෙනම් අහගන්නකො, හදන්නෙ මෙහෙමයි. අළු කෙහෙල් ගෙඩියෙ පොත්ත රැහැලා දික් අතට 8ට කපා ගන්න ඕන. ඊට පස්සෙ කහ, ගම්මිරිස් තේ හැඳි බාගයයි මිරිස් කුඩු තේ හැන්දයි ලුණු වතුර කෝප්ප කාලයි දාලා අතගාලා පැයකට එහා පැත්තෙ පදම් වෙන්න අරින්න. ඊට පස්සෙ ඉතින් දවටල බදින්නත් පුළුවන් නැත්නම් නිකම් බදින්නත් පුළුවන්. එහෙම නැත්නම් බැටර් මික්සර් එකක දවලට බේක් කරගන්න වුණත් පුළුවන්.

3. දඩමස් පරාදයි, ලංකා කව්පි රසට

කොල්ලු කාලා තියෙනව නේ. ලංකා කව්පිත් කොල්ලු වගේමයි හැබැයි ඊට වඩා ලොකුයි. ඇටයක් සාමාන්‍යයෙන් කඩල පරිප්පු ඇටයක් විතර සයිස්. මේවා හැදෙන්නෙ හේන්වල නිසා කොළොම් තොටේ නම් ඒ හැටි හෙයා ගන්න නෑ.

කොහොම වුණත් මොකද හාල් සේරුවක බත්, නැත්නම් පාන් ගෙඩියකට එහා පැත්තෙ වගකියන්න පුළුවන් භාණ්ඩයක් තමයි. හැබැයි මස් කරියක් හදන විදියටම හදන්න ඕන. ඇට තම්බල පෙරළා අරගෙන බැදපු පහේ, මස් කරි පවුඩර්, මිරිස් කුඩු රස පදමට දාලා අබ, ගොරක, සුදුළූණු, බැදපු පොල් ඇඹරුමකුත් එකතු කරල ලිපේ තිබ්බ නම් වැඩේ හරි. හැබැයි මුල ඉඳන්ම දිය කිරෙන් තමයි හදා ගන්න ඕන. හොද්ද නටාගෙන එද්දි මිටි කිරි එකතු කරලා පොඩ්ඩ හිඳෙද්දි බෑව නම් නියම ගාන (කුළු බඩු අඩුම කුඩුම පදම හරියටම හොයා ගන්න බැරි වුණ නිසා දන්න කියන කෙනෙක් ඉන්නව නම් අපිටත් කියන්න).

4. හොට් බටර් කෙහෙල් මුව

බයිට් එකට කියාපු! හැබැයි හොට් බටර් කට්ල් ෆිෂ්, මෂ්රූම්වලට වඩා වෙනස් රසක්.

හදන්න හරි ලේසියි. කෙහෙල් මුවෙන් පෙති ගලව ගෙන ඒවා ඇඟල්ලක මහතට පුරුක් දෙකක දිගට වගේ කපා ගන්න (ග්‍රෑම් 250). කපාගෙන කහ හැඳි බාගයයි, මිරිස් කුඩු හැන්දයි, ලුණු වතුර කෝප්ප කාලයි දාලා, අත ගාලා පැයකට කිට්ටුව පදම් වෙන්න අරින්න. ඊට පස්සෙ පාන් පිටි, බටර් මිශ්‍රණයක දවටලා ගැඹුරු තෙලේ බැදගන්න. ආ.. ඒක නෙවෙයි, මේසෙට යවන්න කලින් මාළු මිරිස් කරලක් ලූණු ගෙඩියක් ලියල එකතු කරන්න අමතක කරන්න එපා හොඳද!

5. බ්ලැක් පෝර්ක් වගේද බ්ලැක් අළු කෙහෙල්

කෙහෙල් ගෙඩිය පොතු ඇරලා හරස් අතට 4ට කපන්න. ඊට පස්සෙ ඒ කෑලි ආයෙ දික් අතට 4ට කපන්න. දැන් අඟලෙ අඟලෙ කුට්ටි වගේනෙ තියෙන්නෙ. ඒ කුට්ටි ටික ගැඹුරු තලේ ලාවට බැද ගන්න. බැදල ඉවර වුණාට පස්සෙ කුට්ටි ටික (ග්‍රෑම් 250) ඇතිළියකට දාලා බැදපු තුනපහ, මස් කරි පවුඩර්, ගම්මිරිස් තේ හැන්ද ගානෙ එකතු කරගන්න. ඒ එක්කම අබ, සුදු ළූණු, ගොරක, බැදපු පොල් ඇඹරුම් තේ හැන්දකුයි මිරිස් කුඩු තේ හැඳි 2කුයි එකතු කරලා ලුණු කුඩු තේ හැඳි භාගයක් එක්ක වතුර කෝප්ප 4කුත් දාලා ලිපේ තිබ්බ නම් හරියටම හරි. හොද්ද හිඳීගෙන එද්දි, වෙනමම තාච්චියකට පොල් තෙල් මේස හැඳි 4ක්, රම්පෙ, කරපිංච අඩුම කුඩුම ටික දාලා තෙලට දාලා ගත්ත නම් පංකාදු පහයි ආයෙ.

ඔය වගේ පට්ට රස ව්‍යංජන තව තියෙනව. ඒත් අඩුම කුඩුම විස්තරේ හරියට හොයා ගන්නකම් ඔයාලට කියන්න බෑනෙ. ඉන්නකො ඉන්නකො, ළඟදිම කියන්නම්. ආ… ඒ අතරට ඔයාලා දන්න රස රහස් තියෙනව නම් ඒවත් අපිට කියන්න ඕන හොඳද. එතකොටනෙ අපේ වෙජි යාළුවන්ටත් සතුටක් ලැබෙන්නෙ.

Leave a comment
Last 7 Days

Trending Today