Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

ගමේ රහට ‘කෙසෙල් කොළේ’ බතක්! රු. 300ට අඩුවෙන් හිතේ හැටියට රස බලන්න, කියාපු කඩ 6ක්

ලන්ච් ඩිනර් කියල වෙනසක් නෑ. අපි කවුරුත් ආසයිනෙ…

Posted by

ලන්ච් ඩිනර් කියල වෙනසක් නෑ. අපි කවුරුත් ආසයිනෙ ගමේ රහට උයපු කෑම ටිකක් රස බලන්න. ඊටත්, ඒක මැටි ඇතිලියෙ බුෆේ දාලා, කෙහෙල් කොළේට බෙදලා මේසෙට එද්දි, කොහොමද නේ... විශේෂයෙන්ම ඔය ගම්වලින් ඇවිල්ල කොළඹට වෙලා ඉන්න යාළුවන්ට එහෙම, ඒ කඩ සෑහෙන්න වටිනව. මොකද ගමේ දි අම්මල, අත්තම්මල හදන කෑමවල රසට කිට්ටු රසක්වත්, කොළඹ දි රස බලන්න ලැබෙනව කියන්නෙ, කොච්චර දෙයක්ද නේ…

එහෙනම් ඔන්න පහළින් තියෙනව, කොළඹ කිට්ටුව පාතින් ගමේ රහට උයපු කෑම ටිකක් කෙහෙල් කොළේට බෙදාගෙන රස බලන්න කියාපු තැන් ටිකක්. ගිහිල්ල බලන්නකො. හැබැයි බලල අපිටත් කියන්න හොඳේ!

1. Jadi Samaga Game Kema

නුගේගොඩ සුපර් මාර්කට් එක ඉස්සරහ තියෙන මේ බත් කඩේ ගැන ඔයාලා දැනටමත් දන්නව ඇති. රතු සුදු ඕන බත් ජාතියකින් වගේම රස වෑහෙන බ්ලැක් පෝර්ක් කරියක්, ටොප් කොලිටි ජාඩි ටිකක් එක්ක තලුමරමර දවල් කෑම වේල බඩට දාගන්න කියාපු තැන. ඒ වගේම තමයි මෙතන අඹ කරිය, කිරි මාළු එක එහෙමත් පංකාදුයි. ඊටත් බත් ටික බෙදෙන්නෙ නෙළුම් කොළේට හරි කෙහෙල් කොළේට හරි නිසා ආසාවෙන් කන්නත් පුළුවන්. අනික ගණනුත් රු. 200 - 300 අතරෙනෙ.

2. Lunu Ambula

තිඹිරිගස්යායෙ ලුණු ඇඹුලත්, කෙහෙල් කොළේ බත් කන්න කියාපු තැන. හැබැයි මෙයාලා ළඟ පෝර්ක්, බීෆ් නම් නෑ. ඒත් ඒකට හරියන්න රස වෑහෙන ඉස්සො, දැල්ලො කරි එතකොට චිකන්, මිරිස් මාළු, කරි මාළු කරි එහෙම නම් තියෙනව. ඔක්කොමත් හරි මෙයාලගෙ පොල්සම්බෝලෙ එහෙමත් සුපිරි. ඇත්තටම රු. 200 - 300 අතරෙ මේසෙට එන මෙයාලගෙ කෑමත් වෙලාවෙ හැටියට සෑහනේන වටිනව ඉතින්.

3. Yarl Eat House

සුපිරි කකුළු කරියක්, මට්න් කරියක් නැත්නම් චිකන් කරියක් එක්ක වුණත් හිතේ හැටියට බෙදාගෙන කන්න කියාපු තැනක් තමයි වැල්ලවත්තෙ යාල් කියන්නෙ. මේක තියෙන්නෙ වැල්ලවත්ත ස්ටේෂන් රෝඩ් එකේ. බැලු බැල්මට පොඩි කඩයක් වුණාට කෑම ටික තියෙනව තොල කට ලෙවකැවෙන්න. අනික මදිවෙන මදිවෙන පාරට ඉල්ලල බෙදාගන්නත් පුළුවන්නෙ. හැරත් සියල්ල උණු උණුවෙන් එන නිසා… රු. 250 - 400ට අවුලකුත් නෑ.

4. Banana Leaf

ටිකක් පොෂ් වගේ තැනක්. ඒ වගේම තමයි කෑම ටිකත් තියෙනව ඇඬෙන්න. මිරිස් තුනපහ වගේ ම ලුණු ඇඹුල් පදමත් නූලට. විශේෂයෙන් ම කියන්න ඕන මෙයාලගෙ කෑම ගොඩක් යන්නෙ ජැෆ්නා ස්ටයිල් එකට. ඊටත් කෑම එකක සයිස් එකත් එක්ක ගත්තාම රු. 300 - 450ට පාඩුත් නැති ගානයි. මොකද දෙන්නෙක්ට වුණත් සාමාන්‍යයෙන් ඇතිනෙ එක බත් එකක්.

5. Ambul Thiyal

නුගේගොඩ හයිලෙවල් එකේ තියෙන මේ ප්ලේස් එකත් කටට රහට ගමේ කෑම ටිකක් කන්න කියාපු තැන. හැබැයි මෙතන හැම ව්‍යංජනයක් ම වගේ නම් හොඳටම රස නෑ. කොටින්ම කියනව නම් එළවළු සමහරක් ජාතියි මාළු, චිකන් වගේ ඒවයි රස මදි. වැඩේ කියන්නෙ ඒකත් හැමදාම නෙවෙයිනෙ. බාග වෙලාවට මෙයාලගෙ කුකා මාරුවෙනව ඇති. කොහොම වුණත් ඒකෙන් අපිට වැඩක් නෑ, මොකද මෙතන පෝර්ක්, ඉස්සො, දැල්ලො ටික ලෙසටම තියෙනවනෙ. අනික කෑම එකකුත් රු. 200- 300 අතරෙ නිසා පොකට් එකටත් අවුලක් ම නෑ.

6. Saffron Kitchens

කොල්ලුපිටිය මිචෙල් පාරෙ සැෆ්රන් එක සෑහෙන කල් ඉඳල නෙළුම් කොළේ බත්වලට නම් දරාපු තැනක්. තවමත් ඉතින් එහෙම තමයි. අනිත් එක මෙයාලගෙ එළවළු මාළුවල රසත් සෑහෙන්න හොඳයිනෙ. විශේෂයෙන් ම තලපත් මාළු කෑල්ලෙ, චිකන් කෑල්ලෙ එතකොට පළා මැල්ලුමෙ, වට්ටක්කා ටිකේ වගේ. හැරත් ඉතින් ගණන් යන්නෙත් රු. 200 - 250 වගේනෙ.

ඔක්කොමත් හරි, වැඩේ කියන්නෙ තව කෙහෙල් කොළේ බත් කට ටිකක් ඉතුරු වුණානෙ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ, ඒ ටික ඊළඟ ලැයිස්තුවට එකතු එකතු කරන්නම්. එතකන් ඔයාලා… ඔයාලා දන්න කෙහෙල් කොළේ බත් කඩ අපිට කියන්නකො.

Leave a comment