කාලෙකට ඇවිදින්න තැන් කියනව. තව කාලෙකට කෑම කන්න තැන් කියනව. හැබැයි මෙච්චර කාලෙකට අපිට බැරි වුණානෙ ඔය දෙකම එකතු කරල එකක් කියන්න. ඒ කිව්වේ ඇවිදින ගමන් කන්න තැන් ටිකක් වගේ!
අන්න ඒ නිසයි අපි කල්පනා කළේ මෙදා පාර, අපේ ඇවිදින යාළුවන්ට උදව්වක් වෙන්නත් එක්ක කෑම, කන එක ගැන විස්තර ටිකක් කියන්න. හැබැයි ඉතින් එහෙම කියපු ගමන් ඔයාල හිතාවි, අපි මේ කියන්න යන්නෙ දුර බැහැර පැතිවල තියෙන සුපිරි කෑම කඩ ටිකක් කියල. ඇත්තටම එහෙම නෙවෙයි. අපි මේ කියන්න යන්නෙ, දුර බැහැර පැතිවලින් කන්න හම්බුවෙන රස කෑම ජාති ටිකක්. කොටින්ම කිව්වොත් ඔය ඇවිදින යාළුවො, මේ කෑම ජාති රස බලල නැත්නම් වැඩකුත් නැති ගාණයි. මොකද අපේ දේශීය රස රහස්නෙ.
හැරත් මේවා එක පාරක් හරි කාපු අයට නම්, ඇවිදිල්ල කෙසේ වෙතත් ආයෙ ආයෙත් ඒ ඒ පැතිවල යන්න හිතෙන්න ඉඩ තියෙනව, හොඳද!
හරි හරි, පුදන කොටම කාපි යකා කියල දැන් බනින් පටන් ගන්න එපා. අපිත් දන්නව යාපනේ කකුළු කරිය රස බලන්න මෙහෙත් තැන් තියෙනව කියල. අනික ත්රිකුණාමළ, මඩකලපු පැත්තට එද්දි වගේම මන්නාරම් පැත්තට එද්දිත් ඕව තියෙනවනෙ. හැබැයි ඉතින් අර අත්ගුණේ කියන එකෙන් එන රසයි, ඒ වටපිටාව එක්ක එන ගතියයි නෑ.
කොහොම වුණත් යාපනේ කකුළු කරිය කියන්නෙ උණුවෙන් කෑවත් නිවිලා කෑවත් හායි හූයි ගගා කන්න වෙන, සැර කරියක්. ඒ වගේම තමයි තෙල් ගතියත් එමටයි. කොහොම වුණත් කකුළු රසින් නම් අනූනයි. මොකද මේ කරිය හදන විදියට කකුළුවගෙ මස් තරමක් දුරට හොද්දෙ දිය වෙනව. ඒ නිසා හොද්දෙ ගණකමත් ටිකක් වැඩියි. වැඩේ කියන්නෙ මෙයාලා, මේ කරියට ගන්නෙ කලපු කකුළුවො නිසා, මස් කන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙනව.
ඒ අතරට මේකත් මතක තියාගන්න, මොන ජාති තිබ්බත් ජැෆ්නා ක්රැබ් කරියට හරියන්නෙ නම් දර පෝරණු පාන්ම තමයි!
හප්පේ, ලංකාවෙ හතර වටේ ඇවිදින ඔයා මේක කාලා නැත්නම් වැඩක්ම නෑ හොඳද. මොකද අනුරාධපුර, පොළෙන්නරුව ගත්තත්, කුරුණෑගල, මාතලේ ගත්තත්, කොටින්ම මොනරාගල, හම්බන්තොට ගත්තත් සුනුසාල් බතෙන් අඩුවක් නෑනෙ.
හාල් කොටල, පොලද්දි ඉතුරු වෙන ටික සුද්ද පවිත්ර කරල අරගෙන තමයි මේ බත හදන්නෙ. වැඩේට ටිකක් මහන්සි වෙන්න ඕන. මොකද හාල් ගාණටම වගේ පොලුත් දාන්න එපැයි. කෙහොම වුණත් හොඳ උම්බලකඩ කෑල්ලක්, කොච්චි මිරිස් කරලක් දාලා ගලේ අඹරපු කට්ට සම්බෝලයක් හදා ගත්තාම උණු උණු බත බඩ පැළෙනකම් කන්න පුළුවන්.
ආයෙ ඉතින් ඒකෙයි මේකෙයි කියල ලොකු වෙනසක් නෑ. එකම වෙනස ගුණයෙ තමයි. හැබැයි මෙනේරි හාල් කියන්නෙ නම් වෙනමම හාල් ජාතියක්. ඇත්තටම කිව්වොත් පොඩි රවුම් ඇට ජාතියක්. ලා කහ පාටක් තියෙන්නෙ. වැඩි හරියක්ම මේවා හැදෙන්නෙ අනුරාධපුර, පොළොන්නරු, මොනරාගල වගේ පැතිවල නිසා මෙනේරි බත රහට හදන්න දන්නෙත් ඒ පැතිවල උදවියම තමයි.
මේකටත් හොඳ හැටි පොල් එහෙම දානව. ඒ වගේම උම්බලකඩ, රතු ළූණු දාලා ගලේ කොටපු කට්ට සම්බෝලයක් හදාගත්ත නම් ගමකට කන්න පුළුවන්.
හ්ම්ම්… රස පදමට මිරිස් තුනපහ දාලා හදපු වැව් මාළු හොද්දකුත් නරකම නෑ ඉතින්!
ඡායාරූපය: Sri Lankan Kitchen
අනුරාධපුර, පොළොන්නරු, මොනරාගල, හම්බන්තොට පැතිවල යන ගොඩ දෙනෙක් හොඳට දන්න කියන කෑමක්නෙ කොරලි හොද්ද. වැඩි හරියක්ම මේක පාවිච්චි කරන්නෙ තලප ගිලින්න තමයි. ඒ හැරුණාම ඉතින් දර පෝරණු පාන්, ඉඳි ආප්ප, පිට්ටු කන්නත් කියාපු භාණ්ඩෙ.
කොහොම වුණත් කොරලි ආනමෙ රස තියෙන්නෙ නම් උණුවෙන් කද්දි තමයි. මොකද හොඳ සැරට, තුනපහ රසට හැදෙන හොද්දනෙ. මේකට ගොරක, සියඹල, පොල් බැදල එමෙත් එකතු කරන අය ඉන්නව. එතකොට නම් ඉතින් කොහොමත් රස ඩබල්. බාග වෙලාවට ඔයාට කොරලි වෙනුවට පෙතියො, බට්ටො, තෙප්පිලි වගේ මාළු කරි සෙට් වෙන්නත් ඉඩ තියෙනව. එහෙමයි කියල ඒව මග අරින්න එහෙම එපා හොඳද. ඒවත් ටොප් බඩු තමයි.
තලප, රොටි, පිට්ටු! ඔය උඩින් කිව්ව වැව් මාළු ආනමත් එක්ක. පට්ට ආ…
තලප නම් ඉතින් ගිලින්නනෙ තියෙන්නෙ. හොඳට හොදි තවරල උගුරට දා ගත්තා, ගුඩුස් ගාලා ගිල්ලා. හැබැයි රොටි පිට්ටු එහෙම නෑ. විශේෂයෙන්ම බාගෙට එකක් වගේ පොල් නොදා හැදුවොත් කන්නත් අමාරු ගානයි. ඒත් ඔයාලා ඒ ගැන හිතන්න ඕන නෑ. ගමට වෙන්න පුංචි ගේ පොඩ්ඩක් අල්ලල ඕඩරේ දුන්න නම් උණු උණුවෙම කන්න පුළුවන්.
අනික හේන් වගාව කෙරෙන පැතිවලනෙ කුරක්කන් හොඳ රහට හැදෙන්නෙ. ඔය… අනුරාධපුර, පොළොන්නරු, මොනරාගල, හම්බන්තොට පැතිවල වගේ.
මේව කන්න නම් ඉතින් ඒ හැටි දුරක් යන්න ඕනත් නෑ. ඔය කළුතර, ගාල්ල, මාතර පැතිවලත් තියෙනවනෙ. සමහරු නම් ජාඩි කන්න ඒ හැටි කැමති නෑ. මොකද අර පණුවො සීන් එකක් තියෙනවනෙ. ඒත් ජාඩි මාළු, හොද්ද හදල ගත්තාම, ඒකෙ තියෙන රසට… පණුවො හිටියද නැද්ද මතක නැති වෙනව.
ජාඩි කද්දිත් ඔයාලා එකක් මතක තියා ගන්න ඕන. කඩේට ගිහින් උණු උණු දර පෝරණු පාන් ටිකක් ගේන්න ඕන, හරිද!
කොහෙම වුණත්, ඔයාලා තවත් එකක් මතක තියා ගන්න ඕන. ලබන මාසෙ දිහාවටත්, මේ වගේ රස වෑහෙන ගමේ කෑම ටිකක්, කන්න පුළුවන් පැතිත් එක්කම අපි, ඔයාලට කියනව කියල, හොඳද.
We tasted every locally brewed and available beer. In the name of science!
Here's a round-up of Colombo's buffets with what they do best.
The 2021 edition of buffets in Colombo.
Post-lockdown high tea seshs in Colombo.
Rice & curry for affordable rates.
Delete Comment