Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020

ලෝකෙ තියන ලස්සන ම පුස්තකාල 6ක් ගැන අපූරු තොරතුරු ටිකක්

කවදාහරි මේ තැන්වලට යන්න!

Posted by

අපි දැන් ඉන්නෙ පොත්පත් කියවීමෙන් ඈත් වුණ සමාජයක කියල කොච්චරවත් ඔය අතීතකාමී වැඩිහිටියො මැසිවිලි කිව්වට, තාමත් පොත් කියවීම පුරුද්දක් කරගත්ත මිනිස්සු ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. නැත්තං ලෝකේ මේ තරං අලුත් පතපොත පළ වෙන්නෙ කොහොමද? ඒව උණු කැවුම් වගේ විකිණෙන්නෙ කොහොමද? ලෝකේ අලුතෙන් පුස්තකාල එහෙම බිහි වෙන්නෙ කොහොමද!

අපි මේ කියන්න හදන්නේ ලෝකේ තියන ලස්සන ම පුස්තකාල 6 ගැන. මේවා තියෙන්නේ විවිධ රටවල. තොරතුරු ඇහුවම, පින්තූර දැක්කම පොත්ගුල්ලන්ට නං මේ තැන්වලට ගිහින් ම බලන්න ඉස්පාසුවක් නැති වෙයි. ඉතින් එයාලට කවදාහරි මේ තැන්වලට යන්න ලැබෙන්න කියල අපිත් ප්‍රාර්ථනා කරනවා. කියවල බලන්නකො…

Library of Parliament, කැනඩාව

කැනඩාවේ ඔටාවා නුවර තියන පාර්ලිමේන්තු පුස්තකාලය විවෘත කළේ 1867 වසරේ. වික්ටෝරියානු ගොතික් පුනරුද ක්‍රමයට ගෘහ නිර්මාණය කරල තියන මේ පුස්තකාලය, කැනේඩියානු සංස්කෘතියේ සහ ගෘහ නිර්මාණ ශිල්පයේ මහිමය පිළිබිඹු කරන සංකේතයක් විදිහට හැඳින්වෙනවා. මෙහි මැද කොටසේ තියන ලෑලි පොළොව චෙරි, ඕක් සහ වෝල්නට් ලීවලින් නිර්මිතයි. එයින් මේ පුස්තකාලයට ලැබිල තියන අලංකාරය කියා නිම කළ නොහැකියි.

Seattle Central Library, ඇමරිකාව

ලෝකේ තියන හැම පුස්තකාලයක් ම එක වගේ කියල ද හිතන්නෙ? ඒ මතය බොරු කියල ඔප්පු වෙන තැනක් මේ. ඇමරිකාවේ වොෂින්ටන්වල තියන සියැටල් සෙන්ට්‍රල් පුස්තකාලයේ ගෘහ නිර්මාණ ශිල්පය හරි ම අමුතුයි. නවීන පන්නයේ පෙනුමකින් නිර්මාණය කරන ලද මෙතැන විවෘත කළේ 2004 වර්ෂයේදී. එවකට ටයිම් සඟරාව මේ පුස්තකාලය ඒ වසරේ හොඳ ම ගෘහ නිර්මාණවලින් එකක් ලෙස නම් කළා. ඒ වගේ ම, ඇමරිකානු ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සංසදය විසින් මෙතෙක් බිහි වූ විස්මිත ම ඇමරිකානු ගෘහ නිර්මාණ 150 අතරට මේකත් ඇතුළත් කළා.

Abbey Library of Saint Gall, ස්විට්සර්ලන්තය

යුනෙස්කෝ ලෝක උරුම අතරටත් එකතු වුණු මේ පුස්තකාලය ක්‍රි.ව. 719 දී පමණ නිර්මාණය වූවක්. මධ්‍යකාලීන යුගයට අයත් ග්‍රන්ථ 75000ක් පමණ මෙහි අන්තර්ගතයි. මේකේ තියන තවත් ඇතැම් පොත්පත් අවුරුදු 1000කටත් වඩා පැරණි බව කියැවෙනවා. ලෝකයේ පැරණි ම පුස්තකාලවලින් එකක් වෙන මෙතැන ලෝකයේ ආලෝකවත් ම පුස්තකාලවලින් එකක් ද වෙනවා. 18 වැනි සියවසේදී යාවත්කාලීන කෙරුණු ගෘහ නිර්මාණ ක්‍රමයකින් සමන්විත මෙතැන අලංකාර ලී කැටයමින් සහ සිතුවම් කරන ලද සිවිලිම්වලින් යුක්තයි.

Royal Portuguese Reading Room, බ්‍රසීලය

‘රාජකීය පෘතුගීසි කියැවීමේ ශාලාව’ නමින් නම් කරලා තියන මේක බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරයේ පිහිටා තියනවා. මෙය දකුණු ඇමරිකාවේ සුප්‍රසිද්ධ ම පුස්තකාලයක් වගේ ම මුළු ලෝකයෙන් ම දර්ශනීය බවින් ඉහළ ම තැනක තියන පුස්තකාලයක්. 1837 දී පෘතුගීසී සාහිත්‍යය තැන්පත් කරන ලද කෝෂ්ඨාගාරයක් වශයෙන් ආරම්භ වුණු මෙහි ගෘහ නිර්මාණ ශිල්පය අසමසම එකක් බව තමයි සාමාන්‍ය පිළිගැනීම.

Stuttgart City Library, ජර්මනිය

2011 වසරේ විවෘත කළ මේ පුස්තකාලය අති නවීන පෙනුමෙන් යුතු, තට්ටු ගණනාවකින් යුතු, බොහෝ ඉඩකඩ සහිතව නිර්මාණය කළ එකක්. මෙහි අභ්‍යන්තරය නිර්මාණය කරලා තියෙන්නේ තනි සුදු පාටින්. ඒ නිසා ම ඒ අතර තැන්පත් කරන ලද පොත්පත් අපූරුවට කැපී පේනවා. පුස්තකාල කියන්නේ ඉපැරණි පෙනුමින් යුතු බරසාර තැන් යැයි විශ්වාස කරන අයට නම් මෙතැන තියන නවීන පන්නයේ දර්ශනීය බව අල්ලන එකක් නෑ. ඒත් පොත්පත් කියවීම වැනි කාරණා නූතන ලෝකයට ගැළපෙන ආකාරයට වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙය කදිම නිදසුනක්.

George Peabody Library, ඇමරිකාව

සුදු පැහැති කිරිගරුඬ පොළොවෙන් සැදුණු මේ අපූරු පුස්තකාලය විවෘත කෙරුණේ 1878 අවුරුද්දේ. ඒ නිසා ම වෙන්න ඇති මේ ගොඩනැඟිල්ල ඉපැරණි ගාම්භීර ස්වභාවයක් උසුලනවා. ‘බැල්ටිමෝවේ පොත් පිරුණු දෙව්මැදුර’ නමින් මෙය නම් කරන්නටත් ජනතාව පුරුදු  සිටිනවා. බැල්ටිමෝවේ ජනතාවගේ කාරුණිකත්වය සහ සංග්‍රහශීලී බව වෙනුවෙන් පිරිනැමුණු ත්‍යාගයක් විදිහටයි මේ පුස්තකාලය සැලකෙන්නේ.

Leave a comment