Artwork for pat pat lk temp top banner 1 with blog post
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

ඇඳිරි නීතිය ඉවත් කළත්, එදිනෙදා ජීවිතේදි නොකළ යුතු දේවල් 6ක්

දැන් සේරම හරි කියල හිතන්න එපා!

Posted by

බස්නාහිර පළාතට සහ තවත් ප්‍රදේශ කීපයකට දාල තිබුණ ඇඳිරි නීතිය අද උදේ ඉවත් කෙරුණා. ඒත් තවදුරටත් ඇතැම් පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කරන්න කියලා රජය උපදෙස් ලබා දීලා තියනවා. ඒ කොරෝනා පැතිරීම කවදාටත් වඩා දැන් උත්සන්න වෙලා තියන හින්දා. ඉතින් ඇඳිරි නීතිය ඉවත් කරපු සැණින් ආයෙත් පරණ ජීවිතේට යන්න පුළුවන් කියල කවුරු හරි හිතනවා නං ඒක වැරැද්දක්. පහුගිය සති කීපයේ මිස් වුණ දේවල් කවර් කරන්න හිතාගෙන, ඇඳිරි නීතිය අයින් කරපු ගමන් මෙන්න මේ දේවල් කරන්න ප්ලෑන් කරගෙන ඉන්නවා නං, දෙපාරක් හිතන්න කියලා තමයි අපි මේ කියන්න හදන්නේ.

1 පාටි දාන්න එපා

සති ගාණක් ගෙදරට වෙලා හිටිය නේ, දැන් ආයෙත් සෝෂලයිස් වෙන්න කාලේ ඇවිත් කියල හිතලා යාළුවො එක්ක සෙට් වෙන්න, බාර් ගාණේ යන්න, පාටි දාන්න දැම්ම ලෑස්ති වෙන්න එපා. තාමත් අපි එච්චර ආරක්‍ෂිත නෑ. මේ වෙද්දිත් දවසට අලුත් රෝගීන් සීයක් දෙසීයක් වත් හඳුනගන්න පසුබිමක් තමයි ලංකාවේ තියෙන්නේ. ඔබ කිසිම කොරෝනා පොකුරකට සම්බන්ධයක් නොතිබුණත්, ඕන ම තැනක අවදානමක් තියන බව සිහියේ තියාගන්න ඕන. 

2 ට්‍රිප් යන්න එපා

නිතර ට්‍රැවල් කරන කට්ටියට එහෙම දැන් ගෙදරට වෙලා ඉඳල ඇති වෙලා නේ ඇත්තේ. ඒත් ඉතින් දැම්ම රට වටේ යන්න ප්ලෑන් කරන එක ඒ තරං ඇඟට ගුණ නෑ. කලින් වතාවට වඩා මේ සැරේ රට පුරා ම, හැම දිස්ත්‍රික්කයක ම රෝගීන් විසිරිලා ඉන්නවා. ඒ නිසා කොරෝනා පහ වෙලා ගිහින් සුරක්ෂිතව එළියට බහින්න පුළුවන් වෙන දවසක් ගැන බලාපොරොත්තු තියාගෙන තව ටිකක් ඉවසීමෙන් ඉමු. 

3 මාස්ක් ගලවන්න එපා

මොනා කළත් මේක නං අමතක කරන්න එපා. මාස්ක් එක කියන්නේ දැන් ෆෝන් එක තරමට ම හැම වෙලේ ම අපේ ළඟ තියාගන්න ඕන දෙයක්. කොහේ ගියත්, කවුරු එක්ක හිටියත්, මොනවා කළත්, නහයයි කටයි වැහෙන විදිහට මාස්ක් එක මූණේ තියනවද කියල සිහියෙන් ඉන්න ඕන. ඒ වගේ ම මාස්ක් එකේ පිරිසිදුකම ගැනත් හිතන්න ඕන. රෙදි මාස්ක් නං එක දවසක් පාවිච්චි කළාම සෝදලා වේලලා ගන්න පුළුවන්. කඩදාසි මාස්ක් නං එක දවසක් පාවිච්චි කළාම නිවැරදි විදිහට බැහැර කරන්න. විෂබීජ පිටින් නැවත නැවත පාවිච්චි කරන එක නුවණට හුරු නෑ.

4 ජිම් යන්න එපා

ජිම් යන්න ඇබ්බැහි වුණු උදවියටත් මේ ගෙවෙන්නේ අමාරු කාලයක්. එහෙමයි කියලා ඇඳිරි නීතිය අයින් කරපු සැණින් ජිම් යන්න ලෑස්ති වෙන්න එපා. ජිම් එකක් කියන්නේ සෑහෙන පිරිසක් යන එන, ගැවසෙන, හැමෝටම එක ම ආම්පන්න අතපත ගාන්න සිද්ධ වෙන තැනක්. ඒ වගේ ම ව්‍යායාම කරද්දි හොඳට හුස්ම ගන්න ඕන නේ. ඉතින් මාස්ක් දාගෙන ව්‍යායාම කරන එක ඒ තරං සාර්ථක වැඩක් නෙවෙයි. ජිම් එකේ මාස්ක් නොදා ව්‍යායාම කරන එකත් වෛරසයට අත වැනීමක් වෙන්න පුළුවන්. ඒ හින්දා දැම්ම ජිම් යන්න හදිස්සි නොවී පුළුවන් නං ගෙදරදි ම වර්ක් අවුට් කරන්න.

5 නෑගම් යන්න එපා

හුඟ කාලෙකින් දකින්න බැරි වුණු දුර පළාත්වල ඉන්න නෑදෑ සනුහරේ බලන්න යන්න කාලේ නෙවෙයි මේ. විශේෂයෙන් ඔයා යන්නේ බස්නාහිර පළාතේ ඉඳන් නම්. එහෙම යද්දි ඒ ගෙදර අය වගේ ම අහළ පහළ ඉන්න අයත් අවදානමට ලක් වෙනවා. ඒ නිසා සමහර විට කොළඹ ඉඳන් කට්ටිය එනවට ඒ ගම් පළාත්වල උදවිය කැමති නැති වෙන්නත් පුළුවන්. ඉතින් දැනට පුළුවන් තරං ගෙදරට වෙලා ඉන්න එක තමයි හොඳ ම දේ.

6 දැන් සේරම හරි කියල හිතන්න එපා!

කොවිඩ්-19 අනතුර පහ වෙලා කියල හිතල, අර අපි පුරුදු වෙලා හිටපු සෞඛ්‍ය පියවර අනුගමනය කරන එක නවත්තන්න එපා. හොඳින් සබන් දාලා අත් සෝදන එක, සැනිටයිසර් පාවිච්චි කරන එක, මාස්ක් පළඳින එක, මීටරයක් දුරින් ඉන්න එක එහෙම අමතක කරන්න එපා. තාමත් කොරෝනා වෛරසය අපි අතරෙ ම තියනවා. රෝගීන් ප්‍රමාණයත් වැඩි වෙනවා මිසක් අඩු වීමක් නෑ. ඉතින් ආර්ථිකමය හේතු මත එදිනෙදා කටයුතු දිගට ම කරගෙන යන්න රට විවෘත කළාට, දැන් සේරම හරි කියලා ඒකෙන් කියවෙන්නෙ නං නෑ!

Leave a comment