Artwork for Top Banner 1 - McSpicy Offer
Artwork for Top Banner 2 - McSpicy Offer

රු. 500ට බඩ පැලෙන්න! මස්, මාළු, වෙජි ඕන කෑමක් හිතේ හැටියට රස බලන්න; තරු පහේ සුපිරි කෑම කඩ 7ක්

ඉතින් අපි කල්පනා කළා ගෙවුණු අවුරුද්දට ආපහු…

Posted by

අළුත් අවුරුදු ආවට මොකද, පරණ අවුරුද්දෙ මතකයන් අමතක කරන්න කියලයැ.

ඉතින් අපි කල්පනා කළා ගෙවුණු අවුරුද්දට ආපහු හැරිල, ඇත්තටම මොකද වුණේ කියල බලන්න. මොකද, මොන දේ නැතත් බඩ කට පිරෙන්න කාපු අවුරුද්දක්නෙ.

අපි කිව්වේ… කටට රහට කෑම කන්න අළුත් කඩ තොගයක්ම සෙට් වුණානෙ.

හැබැයි ඉතින් ගොඩ දෙනෙක්ට ඒ ගැන හරි හැටි මතකයක් නෑ. රස වෑහෙන නෙළුම් කොලේ බත්, තායි, චයිනීස් රසවලට හැදුණු සුපිරි චොප්සි ඒ විතරක් නෙවෙයි පියෝ වෙජි කෑම...!

ඒ නිසා නරකද අළුත් අවුරුද්දෙ, අළුත් කෑම කඩ ටිකට මුල පුරන්න කලින් පරණ අවුරුද්දෙ පරණ කෑම කඩ ටිකේ රස මතක අළුත් කර ගත්ත නම්. ඔය පහළින් තියෙන හෝටල් ලැයිස්තුව අපි හැදුවෙත් ඒකටමයි.

එහෙනම් කට්ටියත් එක්ක තැන බලල, කටට රහට මොනව හරි බඩට දාගෙනම වැඩ ඇල්ලුව නම්!

1. Jadi samaga Game Kema

මළාට අමතක කරන්න බැරි බත් කඩයක්. රු. 300ට හිතයි බඩයි දෙකම පිරෙන්න කන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ ජාඩි එක නම් පංකාදු පහයි. වැල්ලෙ ජාඩිත් එක්ක වුණත් කරට කර හැප්පෙන්න පුළුවන් රසක් තියෙන්නෙ. ඊළඟට බ්ලැක් පෝර්ක් එක. තෙල් කෑලි අඩුවෙන් දාලා මිරිස් තුනපහ, බැදපු පොල් අඩුම කුඩුම රසෙන් අනූන වෙන්න හදල තියෙන නිසා බත් වගේම පාන්, පරාට කන්නත් කියාපු. ඒ හැරුණාම ඉතින් බැදපු මාළු, මාළු ඇඹුල් තියල් එක එහෙමත් සුපිරි. ආ… ඒ විතරක් නෙවෙයි කරවිල බැදුම් සම්බෝලෙ, එතකොට පතෝල සම්බෝලෙත් ටොප්. හැබැයි ඉතින් කණගාටුවෙන් වුණත් කියන්න වෙනව මෙතන පොලොස් එක නම් හරිම නෑ… ඇඹුල් රස වැඩියි නේ!

2. The Delicacy Top

දුර බැහැර පැත්තකදි අහම්බෙන් හම්බවුණත් මසුරන් වටින හෝටලේ. විව් එක අතිනුත් නියමෙටම තියෙනව. අනික රූෆ් ටොප් බාර් එක නිසා අඩියක් ගහන්න වුණත් කියාපු. තායි, මැලේ, මොන්ගෝලියන්, චයිනීස්, ශ්‍රීලංකන් චයිනීස් රස ගොඩකින් වැඩේ යන නිසා කෑම බීම අතිනුත් අඩුවක් පාඩුවක් නෑ. හැරත් කෝකි මහත්තයට පිං සිද්ධවෙන්න කොළඹදිවත් රස බලන්න ලැබෙන්නෙ නැති තරම් රස, සුපිරි මික්ස් චොප්සියක් ඩෙලිකසි එකෙන් රස බලන්න ලැබෙනව. සීෆුඩ් වගේම චිකන්, පෝර්ක්, බිත්තර, එළවළුවලින් පිරිච්ච, සෝස් රසවලිනුත් අනූන! ඒ විතරක් නෙවෙයි මෙයාලගෙ බ්ලැක් මට්න් කරියකුත් තියෙනව ජීවිතේට අමතක වෙන්නෙ නැති වෙයි ඒ රස නම්.

3. Piyoran

තෝසෙ කඩ කොහෙත් තියෙනවනෙ, එක එක ගණන්වලට එකඑක පහසුකම් එක්ක. හැබැයි ඒ ලොකු සීන් මුකුත් නැතුව ටොප් එකටම වැඩේ යන සුපිරි ප්ලේස් එකක් තමයි පියෝරාන් කියන්නෙ. ඇත්තටම මෙයාලගෙ සම්බල් එකටයි උලුඳු වඩේ එකටයි ගහන්න නම් ඒ හතර මායිමේවත් නැතුව ඇති වෙන කඩයක්. අනික කුරක්කන් තෝසෙ, කුරක්කන් තලප, හල් පිටි ප්‍රඩක්ට්ස් වගේ පැරණි දේශීය ආහාර එහෙමත් තියෙන නිසා තවත් මරු. ඒ විතරකුත් නෙවෙයි, මෙයාල ළඟ ඒවටම හරි යන සාම්බාරු හොද්දකුත් තියෙනවනෙ. උණුඋණුවෙන් රස බලන්න කියාපු පියෝරාන් වෙජි සුප් එකත් හරිම රසයි කියලත්, කඩේ පැත්තෙ යන්න හිතන් ඉන්න උදවිය මතක තියාගන්න හොඳේ.

4. Aththamma

පොල් අතු පැලේ නෙළුම් කොලේ බත් කන්න. හැබැයි දවල් 2ට කලින් යන්න. මොකද නැත්නම් මෙයාලගෙ රසම කෑම ටික ඉවර වෙනව. අත්තම්මගෙ කෑම වේල හරිම නෝර්මල් කෑම වේලක් වුණාට රස අතින් හැම එළවළුවක් වගේම හරි ඉහළයි. විශේෂයෙන්ම චිකන් කරිය, මාළු ඇඹුල් තියල් එක, එතකොට කිරි මාළු, අඹ කරිය එහෙම. එතනින් එහාට ගියාම ඉතින් කලවම් පලා මැල්ලුම, බෝංචි, මෑකරල් එහෙමත් මෙතන හරි රසට හැදෙනව. කොහොම වුණත් ගාණ රු. 200ට අඩු නිසා පොකට් එකට නම් ගාණක් නැති ගානයි.

5. Thejan Hotel

දවල්ට බත් කනව නම් එහෙමයි. හැන්දෑවට රයිස් එකක් දාන්න, බයිට් ප්ලේට් එකක් ගන්න නම් එහෙමයි. එහෙමත් නැතුව නිකන් වෙලාවට ටී, ප්ලේන්ටී එකක් ගහන්නත් කියාපු තැන. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ මික්ස් රයිස් එකක් තියෙනව රු. 400යි. 3 දෙනෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන්. එතකොට මදි නොකියන්න මිරිස් තුනපහ දාලා හදපු චිකන් කරියක්, මාළු ඇඹුල් තියලක් එක්ක රස වෑහෙන වට්ටක්කා, පලා මැල්ලුම්, අඹ වගේ එළවළු ජාති ටිකක් එක්ක බත් එකක් ගන්නත් උපරිම රු. 200යි. එතනින් එහාට ගියාම ඉතින් චීස් කොත්තු, චිකන් බීෆ් ඩෙවල් එහෙමත් තියෙනව. වැඩේ තියෙන්නෙ ඒවයෙ රස සුපිරි වුණාට පෝෂන් එක ටිකක් මදි. ඒත් ඉතින් බයිට් එකට කටට සැරට රස පදමට තියෙන නිසා අවුලක් නෑනේ…

6. Ambul Thiyal

අතේ තියෙන ගාණට බඩේ අඩුව පුරව ගන්න නුගේගොඩ හයිලෙවල් එකේ තියෙන තවත් සුපිරි කඩයක්. වැඩේ තියෙන්නෙ අනිත් තැන්වල රසටම හදන පෝර්ක් එකයි පොලොස් එකයි මෙයාලගෙ ටිකක් අවුල් එක තමයි. වැඩි හරියක්ම පෝර්ක් එකේ හොද්ද තමයි තියෙන්නෙ. ඒ නිසා බත් කන්න කෙසේ වෙතත් පාන් කන්න නම් නියමයි. පොලොස් එකෙත් ඇඹුල් ගතිය ටිකක් වැඩියි වගේ. හැබැයි ඉතින් අනිත් එළවළු මාළු ටික පංකාදු පහට තියෙනව. ඉස්සො කරිය එහෙම සුපිරි. ආයෙ ඉඳි ආප්ප, පිට්ටු කන්න කියාපු. එතකොට කරවල තෙල් දැමුම, කෙහෙල් මුව, බැදපු වැව් මාළු ආ… ඒ විතරක් නෙවෙයි මෙයාලගෙ අඹ එකත් ටොප්නෙ.

7. CP’s Grill

මස් වැඩ කෝටියයි! කටට රහට උණු උණු බාබකියු චිකන් වින්ග්ස් කන්න, මීඩියම් සයිස් පෝර්ක් පීසා කන්න, ඒ විතරක් නෙවෙයි චීස් විතරක්ම දාපු රස වෑහෙන චීස් චිකන් කොත්තු කන්නත් නියමම තැන. ඒකත් ඕන දෙයක් රු. 500ට අඩුවෙන් ගන්න පුළුවන් එක තවත් වටිනව. පොඩි අඩියක් ගහන්න බයිට් එකක් ගන්න වුණත් කියාපු ගානනෙ. අනික වීක්එන්ඩ් එකක් අල්ලල යාළුවොත් එක්ක ගිහින් වුණත් ඩයට් එකක් දාන්න මරු තැනනෙ.

දැන් කට්ටිය හිතාගෙන ඇති අපි ගිය අවුරුද්දෙ හොයා ගත්තෙ හොඳම කඩ 7, 8යි කියල.

මොනව කියනවද, තව ලොට් එකක් තියෙනව. බලන්නකො ලබන සතිය දිහාවටත් තව ලැයිස්තුවක් වැටෙන්නෙ නැද්ද කියල?

Leave a comment