Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

මිග්‍රේන් හෙවත් ඉරුවාරදය පාලනය කරගන්න, පහසු ක්‍රම 6ක්

නිකම්ම හිසේ කැක්කුමක් නෙවෙයි!

Posted by

සාමාන්‍යයෙන් එදිනෙදා හැදෙන හිසරුදාවකට වඩා වැඩි වේදනාවක් ගේන හිසේ කැක්කුමක් තමයි මිග්‍රේන් හෙවත් ඉරුවාරදය. මිග්‍රේන් වැළඳුණු බොහෝ අයට වේදනාව හට ගන්නේ හිසේ එක පැත්තක. කලාතුරකින් කෙනෙකුට දෙපැත්තේ ම වේදනාව හට ගන්න හෝ, එක පැත්තකින් පටන් අරං අනෙක් පැත්තට විහිදිලා යන විදිහේ වේදනාවක් හට ගන්න පුළුවන්. ඒ වගේ ම මිග්‍රේන් හැදුණ අවස්ථාවල සමහර අයට ඒ එක්ක ම වමනය, ඔක්කාරය, අත්පා හිරිවැටීම, ඇස් නිලංකාර වීම වගේ දේවල්වලටත් මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් නිකං ඔළුවේ කැක්කුමකට වඩා මිග්‍රේන් වැළඳුණාම ශරීරයට දැනෙන අපහසුතා නිසා එදිනෙදා වැඩ අතපහු වෙන්න, කරදරවලට මුහුණ පාන්න සිද්ධ වෙන්න තියන ඉඩකඩ වැඩියි.

පවුලේ අයට මිග්‍රේන් වැළඳුණු ඉතිහාසයක් තියනව නං බොහෝ වෙලාවට ඔබට මිග්‍රේන් හැදෙන්න ඉඩක් තියනවා. ඒ වගේ ම කෑමබීම සම්බන්ධ පුරුදු, නින්ද මදිකම සහ ආතතිය, කාන්තාවන්ගේ හෝමෝන වෙනස් වීම් ආදියත් මිග්‍රේන්වලට හේතු වෙන්න පුළුවන්. ගෙදර, ඔෆිස් එකේ, පාරතොටේ හෝ වෙනත් ඕන ම තැනක ඉන්න අතරේ එක පාරට ම මිග්‍රේන් ඇටෑක් එකක් එන්න පුළුවන්කම තියන බව නිතර මේ හිසරදය වැළඳෙන අය දන්නවා ඇති. ඉතින් එහෙම වෙලාවට කරන්න ඕන මොනවද කියලත් දැනගෙන ඉන්න එක වැදගත්.

මිග්‍රේන් ඇටෑක් එකක් ආපු වෙලාවට සහ, පොදුවේ මිග්‍රේන් වැළඳෙන එක අවම කරගන්න, කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන මේ ලිපියෙන් කතා කරනවා.

1 අයිස් පැක්

ඉවසන්න බැරි තරම් දරුණු මිග්‍රේන් ඇටෑක් එකකදි කරන්න පුළුවන් හොඳ ම දෙයක් තමයි අයිස් පැක් එකක් තියන එක. ඒ කියන්නේ, හොඳට ෆ්‍රීස් වුණ මොකක් හරි පැක් එකක් බෙල්ල පිටිපස්සේ තියන්න. හිසරදය ක්‍රමයෙන් අඩු වෙලා යයි. නැත්තං නළලේ හෝ ඔළුවේ රිදෙන ඕන ම තැනක තිබ්බත් කමක් නෑ. අයිස් පැක් එක විදිහට තුවායකින් හෝ රෙදි කෑල්ලකින් ඔතපු අයිස් කැට වුණත් පාවිච්චි කරන්න පුළුවන්. නැත්තං පාරතොටේ ඉන්න වෙලාවක නං හදිස්සියට මේ වැඩේට හොඳට කූල් කරපු කිරි පැකට් එකක් වුණත් පාවිච්චි කළාට අවුලක් නෑ.

2 ආලෝකය, ශබ්ද, සුවඳ එපා

කාර්යාලයේ හෝ වෙනත් කොහේ හරි සෙනඟ ගැවසෙන, වාහනවල හෝන් සද්ද ඇහෙන කලබල පරිසරයක ඉන්නවා නං, ඉරුවාරදය හැදීගෙන එන බව දැනුණ ගමන් ටිකක් කළුවර, සද්දබද්ද අඩු තැනකට යන්න. දැඩි හිරු එළිය පතිත වෙන, දීප්තිමත් ආලෝකය වැටෙන තැන්වල ඉඳීමෙන් මිග්‍රේන් දරුණු වෙන්න ඉඩ තියනවා. ඒ වගේමයි අධික ශබ්ද කන වැකීමත් මිග්‍රේන් වැඩි වෙන්න හේතුවක්. සමහරුන්ට විලවුන් සුවඳවල් වගේ ඇතැම් තද සුවඳවලටත් මේ හිසරදය ඇවිස්සෙන්න පුළුවන්.

3 උණුසුම

කූල් පැක් එකක් හිසේ තියන්න කියල කලින් කිව්වා නේ. ඒ වගේ ම ක්‍රමයක් මේ. මිග්‍රේන් හැදුණාම තද උණුසුම් ජලය පුරවපු බෑග් එකක් හිසේ, නළලේ හෝ ගෙල පිටුපස තියන්න. නැත්තං තද උණු වතුරේ පොඟවපු තුවායක් වුණත් කමක් නෑ. එහෙමත් නැත්තං හිසරදය තියන වෙලාවට උණුසුම් ජලය ස්නානය කරන්න පුළුවන් නං, ඒකෙනුත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

4 විවේකය / නින්ද

අර කලින් කිව්වා වගේ ඉරුවාරදය හැදුණු වෙලාවට අඳුරු නිශ්ශබ්ද කාමරයක් හොයාගන්න පුළුවන් නං හොඳට නිදාගන්න එකත් හිසරදය පහ වෙන්න විසඳුමක්. හැබැයි ඇතැමුන්ට අවශ්‍ය වෙලාවට වඩා අධික වශයෙන් නින්ද යෑමෙනුත් මිග්‍රේන් හට ගන්න අවස්ථා තියනවා. කොහොම වුණත් විවේකය සහ නින්ද මදිකම, මානසික ආතතිය වගේ කරුණු හේතුවෙන් මිග්‍රේන් ඇති වෙන්න පුළුවනි. ඔබ හුඟක් කාර්යබහුල කෙනෙක් නං දවසට පැය අටක් නිදාගන්න කොහොම හරි කාලය හොයාගන්න වෙනවා. ඒ වගේ ම මනසට අවශ්‍ය විවේකය, සැහැල්ලුව ගැනත් හිතන්න ඕනේ.

5 කෑමබීම / විටමින් බී / මැග්නීසියම්

ආහාර වේල් මඟ ඇරීම සහ වෙලාවට ආහාර නොගැනීම වගේ ම, අපේ විවිධ ආහාරපාන සම්බන්ධ පුරුදු නිසාත් මිග්‍රේන් හට ගන්න ඉඩක් තියනවා. හැබැයි මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සමහරුන්ට චොක්ලට්, චීස්, වයින්, ඇඹුල් පලතුරු, ඇල්කොහොල්, පැණි බීම, යීස්ට් අඩංගු ආහාර, සමහර ඇට වර්ග එහෙම පරිභෝජනය කළොත් මිග්‍රේන් වැඩි වෙනවා. ඒත් සමහරුන්ට ප්‍රශ්නයක් නැතුව මේ ආහාරපාන ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඇතැම් අයට කෝපි බීමෙන් මිග්‍රේන් වැළඳෙනවා. තවත් සමහර අයට මිග්‍රේන් වැළඳුණ වෙලාවට කෝපි එකක් බිව්වම හිසරදය අඩු වෙනවා.

කොහොම වුණත් මිග්‍රේන් පාලනය කරගන්න නං විටමින් බී සහ මැග්නීසියම් අඩංගු කෑමබීම ගැනීම සිරුරට හිතකර බව වෛද්‍යවරු කියනවා. විටමින් බී අඩංගු කෑමබීම කියන්නේ කිරි, බිත්තර, මස්, මාළු, කොළපාට එළවළු වගේ දේවල්. මැග්නීසියම් අඩංගු කෑමබීම තමයි නිවිති, කජු, ආමන්ඩ් වැනි ඇට වර්ග, ඕට්ස්, අලිගැටපේර, කෙසෙල් වගේ ජාති. මීට අමතරව ඉඟුරු කියන්නෙත් මිග්‍රේන්වලට හොඳ අත්බෙහෙතක්. ඒ වගේ ම නිතර වතුර බීමත් හිසරුදා අඩු කරගන්න ක්‍රමයක් විදිහට සැලකෙනවා.

6 ව්‍යායාම / යෝගා / මසාජ්

සිරුර වගේ ම මනසත් රිලැක්ස් වෙන විදිහේ ව්‍යායාමවල නිරත වීම, නිතර නිතර මිග්‍රේන් වැළඳෙන එක අඩු කරගත හැකි ක්‍රමයක්. මනස සන්සුන් වෙන්න සහ හොඳින් නින්ද යන්න ව්‍යායාම සිරුරට අත්‍යවශ්‍යයි. ඒත් ඇතැම් අයට හෘද ස්පන්දනය වේගවත් කරන ඇතැම් ව්‍යායාම නිසා කලින් නොතිබුණු හිසරදයක් වැළඳෙන්නත් පුළුවන්. යෝගා ඊට වඩා මන්දගාමීව කරන ව්‍යායාමයක්. ඒ හින්දා යෝගාවලට යොමු වෙන එක ඊට වඩා යහපත්. ඔබට දිනපතා ම වගේ ඉරුවාරදය වැළඳෙනවා නම් සතියකට වරක්වත් ඔළුව මසාජ් කරන්නත් අමතක කරන්න එපා. ඒකෙන් ඔළුවේ තියන පීඩනය පිට වෙලා සහනයක් ලැබේවි.

Leave a comment