Artwork for pat pat lk temp top banner 1 with blog post
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

එක එක රටවලට ආවේණික අමුතු අමුතු ආහාර පුරුදු 8ක්

මේවා අපේ ටේබල් මැනර්ස්වලට වඩා වෙනස්.

Posted by

ලෝකේ පුරා ම හැම රටක ම තියෙන්නේ එක ම ආචාර ධර්ම පද්ධතියක් නෙවෙයි නේ. ඉතින් හොඳ නරක කියන ඒවා එක එක රටවල තියන එක එක විශ්වාස පද්ධතීන්ට සාපේක්ෂයි. අපේ සංස්කෘතියට අනුව හරි කියල හිතන දේවල් තවත් සංස්කෘතියකට අනුව වැරදි වෙන්නත්, අපි වැරදි කියල හිතන දේවල් ඔවුන්ට අනුව හරි වෙන්නත් ඉඩ තියනවා.

මේ තියෙන්නේ රටවල් කීපයක අමුතු අමුතු ආහාර පුරුදු කීපයක්. මේවා අපේ රටේ ටේබල් මැනර්ස්වලට වඩා සෑහෙන වෙනස්. කියවල බලන්නකො අමුත්ත මොකද්ද කියලා.

1 චිලී

අපේ රටේ අපි පුරුදු වෙලා ඉන්නේ අතින් කන්න. හුඟ දෙනෙක් නොකර ම බැරි අවස්ථාවක මිසක් හැඳි ගෑරුප්පු පාවිච්චි කරන්නෙ නෑ. ගොඩක් වැඩිහිටියො නං හිතන්නෙ හැන්දෙන් කෑවම අතින් කනව වගේ රසත් නෑ කියල. යුරෝපීය සහ බටහිර රටවල නං හැඳි ගෑරුප්පුවලින් ම නෙ කන්නේ. චිලී රටේ උදවිය හිතනවා ලු අතින් කෑම, කෑමට කරන අගෞරවයක් කියල. ඉතින් ඒ අය ඕන ම දෙයක් කන්න හැඳි ගෑරුප්පු පිහි පාවිච්චි කරනවා. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වගේ දේවල් වුණත් කන්නෙ ගෑරුප්පුවෙන් කියලයි කියවෙන්නෙ.

2 කොරියාව

කොරියාව වැඩිහිටියන්ට මුල් තැන දෙන රටක්. ඉතින් කෑමට මේසේ වටේට වාඩිවෙන්න කලින් එතන ඉන්න වැඩිහිටි උදවිය වාඩිවෙනකන් ඉන්න එක තමයි එහෙ සිරිත. ඒ වගේ ම වැඩිහිටියා කන්න පටන්ගන්නකන් අනෙක් අය කන්නෙ නෑ. ඒ විතරකුත් නෙවෙයි, වැඩිහිටියා කෑම කාල ඉවර වෙනකන් කිසි කෙනෙක් මේසෙන් නැගිටලා යන්නෙත් නෑ.

බීම ගැන කිව්වොත්, තමන්ට බීම සර්ව් කරගන්න කලින් අනෙක් අයට මුල් තැන දෙන එක කොරියාවේ ටේබල් මැනර්ස් අතරෙ වැදගත් ම අංගයක්. ඒ කියන්නේ හැම වෙලේ ම අපේ ළඟ ඉන්න කෙනාගේ ග්ලාස් එක පුරවන එක අපේ වගකීමක් විදිහටයි ඔවුන් සලකන්නෙ. ඒ වගේ ම වැඩිහිටියෙක් බීමක් පිළිගැන්වුවොත් අත් දෙකෙන් ම ග්ලාස් එක උස්සලා ප්‍රතිචාර දක්වන්නත් ඒ අය වග බලා ගන්නවා. 

3 චීනය

සම්පූර්ණ මාළුවෙක් ප්ලේට් එකට සර්ව් කරලා තියන අවස්ථාවක, මාළුවාගේ එක පැත්තක් කාල ඉවර වුණාම අනෙක් පැත්ත හරවන එක සාමාන්‍යයෙන් ඕන කෙනෙක් කරන දෙයක්. ඒත් චීනේ ගිහින් නං මේ වැඩේ කරන්න එපා. චීන්නු සලකන්නේ මේක අවාසනාව ගේන දෙයක් හැටියට. ඒ වගේ ම මාළුවෙක් අනෙක් පැත්ත හැරවීම මාළු අල්ලන බෝට්ටුවක් අනෙක් පැත්ත හැරවීමට සමානයි කියල ඔවුන් විශ්වාස කරනවා.

ඒ වගේ ම අපේ අම්මලා නං සතුටු වෙන්නේ අපි බත් ඇටයක් වත් ඉතුරු නොවෙන විදිහට කෑවම නේ. අපේ රටේ වගේ ම ඉන්දියාවෙත් බෙදපු කෑම ඔක්කොම කන එක කෑම සර්ව් කරපු කෙනාට කරන ගෞරවයක් විදිහටයි සලකන්නේ. හැබැයි කෑම කද්දි පිඟාන සම්පූර්ණයෙන් ක්ලීන් කරන එක චීන ජාතිකයෝ සලකන්නෙ අසංවරකමක් විදිහට! එහෙම කරන එකෙන් ‘මට කෑම මදි!’ කියල අදහසක් ඇඟවෙන බව ඒ අය විශ්වාස කරනවා. ඔවුන් හිතන්නෙ ඒක කන්න දුන්නු කෙනාට කරන අගෞරවයක් කියලා.

4 ඇෆ්ගනිස්තානය

අපේ අතින් පොතක් බිම වැටුණාම ඇහිඳලා පොතට වඳින්න කියල පොඩි කාලෙ වැඩිහිටියො උගන්නනව නේද? මේකත් අන්න ඒ වගේ පුරුද්දක්. ඇෆ්ගනිස්තානයෙන් තමයි දකින්න පුළුවන්. ආරංචියේ හැටියට පාන් හෝ මොකක් හරි බේකරි නිෂ්පාදනයක් කාගෙහරි අතින් බිම වැටුණොත්, ඒක ඔසවලා සිපගන්න පුරුද්දක් ඔවුන්ට තියනවා ලු. බිම වැටිලා එකතු වුණු විෂබීජ මදිවට ඉඹලා එකතු වෙන විෂබීජත්! අනේ මන්දා.

5 ඉතාලිය

අපිට සර්ව් කරපු දේවල්වලට අමතරව අවශ්‍ය තවත් මොනාහරි ඉල්ලන එක ඉතාලියේදි සැලකෙන්නෙ අශෝබන ක්‍රියාවක් හැටියට. උදාහරණයක් විදිහට පිට්සා එකට වැඩිපුර චීස් ඕනෙ කිව්වොත් එයාල ඒ තරං ප්‍රසාදයක් දක්වන එකක් නෑ.

ඒ විතරක් නෙවෙයි, ඉතාලි ජාතිකයො දවල් දොළහෙන් පස්සේ කැපචිනෝ පානය කරන්නෙ නෑ. ඒක බඩේ අමාරු හැදෙන්න හේතුවක් කියල ඔවුන් හිතනවා. ඒත් කෝපි එකක් බොන්න ම ඕන ම නං, එස්ප්‍රෙසෝ එකක් බොන්න අවසර තියනවා ලු. 

6 ඊජිප්තුව

අර කලින් කොරියාව ගැන කිව්වා වගේ, ඊජිප්තුවෙත් සලකන්නේ තමන්ගේම ග්ලාස් එක තමන් අතින් ම පුරවගන්න එක නොහොබිනා වැඩක් විදිහට. මේසේ තමන්ගෙ ළඟ ඉන්න කෙනාගේ ග්ලාස් එක පුරවන එක අපේ වගකීම කියලයි ඒ අය සලකන්නේ. ඔහු හෝ ඇයගේ ග්ලාස් එකෙන් බාගෙකට වඩා හිස් නං අනිවාර්යයෙන් නැවත පුරවන්න ඕන. ඔබේ ග්ලාස් එක පුරවන්න ළඟ කෙනාට අමතක වෙලා නං ඒක ඔහුට හෝ ඇයට මතක් කරලා දෙන්නත් ඔබට පුළුවනි!

7 තායිලන්තය

බත් සහිත කෑම වේලක් අනුභව කරද්දි ගෑරුප්පුවෙන් කෑම කට ඇතුළට දාගන්න එක තායිලන්ත ජාතිකයන් අනුමත කරන්නේ නෑ. ඔවුන් කියන විදිහට එහෙම අවස්ථාවල ගෑරුප්පුව පාවිච්චි කරන්න පුළුවන් හැන්දට කෑම දාගන්න විතරයි. කොහොම වුණත් බත් නොවෙන වෙනත් කෑමට මේක අදාළ වෙන්නේ නෑ ලු. ඒ වගේ ම බත් සහිත සාම්ප්‍රදායික කෑම වේලකදි චොප්ස්ටික්ස් පාවිච්චි කරන එකත් නුසුදුසුයි කියලයි ඔවුන් හිතන්නෙ.

8 රුසියාව

වොඩ්කා පානය කරද්දි රුසියානුවෝ ඒකට කිසි දෙයක් මිශ්‍ර කරන්නේ නෑ ලු. කොටින් ම අයිස් වත්! එහෙම යමක් මිශ්‍ර කිරීම වොඩ්කාවල පිරිසිදු බව කෙළෙසන දෙයක් කියලයි ඒ අය හිතන්නෙ. කොහොම වුණත් වොඩ්කාවලට බියර් මිශ්‍ර කරලා හදන ‘යෝර්ෂ්’ නමැති බීමක් නම් රුසියානු ජාතිකයො බොහොම කැමැත්තෙන් පානය කරනවා ලු. ඒ ඇර ඒගොල්ලො බොනව නං බොන්නෙ තනිකර වොඩ්කා විතරයි.

ඒ වගේ ම කවුරු හරි කෙනෙක් ඔබට බීමක් පිළිගැන්වුවාම ‘එපා’ කියන්න හෝ ප්‍රතික්ෂේප කරන්න රුසියාවෙදි අවසර නෑ. මොකද බීමක් පිළිගැන්වීම සැලකෙන්නේ අතිශය විශ්වාසවන්ත බවේ සහ මිත්‍රත්වයේ සංකේතයක් විදිහට. ඉතින් උදේ පාන්දරක වුණත් කවුරු හරි ඩ්‍රින්ක් එකක් ගන්න ආරාධනා කළොත් බෑ කියන්න නං හම්බෙන්නෙ නෑ!

Leave a comment