Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

රසිකාගාරය පිනවා වේදිකාවෙන් නික්ම යන කැරලිකාරයා

ජිප්සීස් නායක සුනිල් පෙරේරා!

Posted by

කොරෝනා වෛරසය අපිට අහිමි කරමින් යන මනුෂ්‍යත්වය ගැන මේ වෙද්දි ඕනෑවටත් වඩා උදාහරණ තියනවා. සංගීත ලෝකයේ අපි ආදරේ කරපු දැවැන්ත චරිතයක් අද ඒ අතරට එක් වුණා. ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා.

සුනිල් පෙරේරා ගැන බර වචනවලින් අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන නෑ. ඕන ම වෙඩින් එකක, පාටියක, ට්‍රිප් එකක සුනිල් පෙරේරාගේ ගීයක් ගැයෙනවා. ඕන ම සතුටු මොහොතක ඕන කෙනෙකුට මුලින් ම මතක් වෙන්නෙ ජිප්සීස් ගීයක්.

හැම වෙලේ ම වගේ දුක විරහව කණස්සල්ල වියෝව ගැන ම ගීත ගයන ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ඇතුළේ ඒ වෙනුවට සුනිල් පෙරේරා ගැයුවේ සතුට ගැන. සමාජයේ දකින්න තියන ගැටලු සහ මිනිස්සුන්ගේ වැරදි හැසිරීම් ගැන ඔහුගේ විරෝධය වුණත් ගීතවලින් ප්‍රකාශ වුණේ සදය උපහාසය සහ හාස්‍යය මිශ්‍ර කරලා. හැම කෙනෙකුට ම තේරෙන භාෂාවෙන්, හැම කෙනෙකුට ම රස විඳින්න පුළුවන් විදිහට. පවතින සංගීතයේ අනුගාමිකයෙක් වෙනවා වෙනුවට, ඔහුට පුළුවන් වුණා තමන්ගෙ ම ශෛලියක් ගොඩ නඟා ගන්න.

1952 සැප්තැම්බර් 14 වෙනිදා මොරටුවෙ දි ඇන්ටන් පෙරේරා සහ ඩොරීන් පෙරේරා යුවළට දාව උපන් අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා, සහෝදර සහෝදරියන් දස දෙනෙකුගෙන් යුතු පවුලක දෙවැනියා. ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු ගිටාරය වයන්න පටන්ගන්නේ අවුරුදු එකොළහේ දි. පාසලෙන් පිට වෙනවත් එක්කම සිය පියා නිර්මාණය කළ ජිප්සීස් සංගීත කණ්ඩායම අතට ගන්න ඔහු, නිහාල්, ලාල්, නිමල්, පියල් යන ඔහුගේ සොයුරන් ද ඊට එකතු කරගන්නවා.

ඔවුන් නිර්මාණය කළ ගීත රසිකයන් උත්කර්ෂයෙන් වැළඳ ගන්න වැඩි කලක් ගත වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් ලංකාවේ ගීත ලියවෙන්නෙ නැති විදිහේ අමුතු අමුතු සිද්ධි පදනම් කරගෙන ඔවුන් හදපු කුරුමිට්ටෝ, ලුණු දෙහි, ඕයේ ඔජායේ, අංකල් ජොන්සන්, සිංඥෝරේ, ළිඳ ළඟ සංගමය, සයිමා කට් වෙලා, අයි ඩෝන්ට් නෝ වයි වගේ ගීත අපිට කවදාවත් අමතක කරන්න බෑ. මේ සංගීත චාරිකාව අතරේ ගීතා කුලතුංග එක්ක විවාහ වුණු සුනිල් පෙරේරා දරුවන් සිව් දෙනෙකුගේ පියෙක්. අපි කවුරුත් දන්න ‘ඩැඩී’ බෑන්ඩ් එක නිර්මාණය කළ ගයාන් පෙරේරා ඉන් එක්කෙනෙක්.

සුනිල් පෙරේරා ලංකාවේ කලා ලෝකයේ ‘අයිකන්’ එකක් වෙන්නේ ඔහු නිර්මාණය කළ අලුත් සංගීත රහ නිසා විතරක් ම නෙවෙයි. ඔහු හැම විට ම තමන් විශ්වාස කරන නිවැරදි දැක්ම වෙනුවෙන් පෙනී හිටිය නිසා. උදාහරණයක් කියන්නම්. කටවහරේ තියන සරල වචන, සරල තනු යොදාගෙන නිර්මාණය කරපු නිසා ජිප්සීස් ගීත, කලාව විකෘති කරන නිර්මාණ විදිහටයි ඒ කාලෙ සමහරුන්ට පෙනුණේ. ඒ නිසා සුභාවිත යැයි කියන කලා කුලකයෙන් මේ ගීතවලට හැම විට ම දැඩි විවේචන එල්ල වුණා. නිකම්ම නිකං බයිලා ගීත විදිහට දැකපු නිසා මේවයෙ අඩංගු වුණු දේශපාලනය ඔවුන්ට හරියට කියවගන්න බැරි වෙන්න ඇති.

ඊට පිළිතුරක් විදිහට සුනිල් පෙරේරා තමන්ගේ ජිප්සීස් ගීත එකතුවල ‘ප්‍රබුද්ධයන්ට අහිතකර වීමට පුළුවන’ කියලා මුද්‍රණය කරන්න තරම් කැරලිකාරයෙක් වුණා. හැම විට ම ජාතිවාදයට ආගම්වාදයට මිථ්‍යාවට සහ ප්‍රචණ්ඩත්වයට විරුද්ධ වුණ ඔහු, ජාති කුල භේද නොතකා සහෝදරත්වය වෙනුවෙන් පෙනී සිටියා. දූෂණය භීෂණය වංචාව සහ හොර මැරකම් සහිත දේශපාලනය නොබියව විවේචනය කළා. ප්‍රේමය ලිංගිකත්වය ආදී විෂයන් ගැන විවෘත ව කතා කළා. මේ සෘජු ගතිගුණ නිසා ලංකාවේ කලා ලෝකය ඇතුළේ දෘෂ්ටිවාදයක් සහිත කලාකරුවෙක් විදිහට දුර්ලභ සලකුණක් තියන්න සුනිල් පෙරේරාට හැකි වුණා.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුව රෝහල්ගත කර ප්‍රතිකාර ලබා සුව වී නිවසට පැමිණියත්, නැවත පෙණහලු ආශ්‍රිත සංකූලතාවක් නිසා ඔහු රෝහල්ගත කෙරුණා. අද (සැප්තැම්බර් 6) උදෑසන ඔහු ජීවිතයෙන් සමුගත්තේ 69 වැනි වියට එළඹෙන්න ඔන්න මෙන්න කියලයි. කලින් කිව්වා වගේ සුනිල් පෙරේරා ජීවිතේ සතුට විශ්වාස කළ මනුස්සයෙක්. තමන්ගෙ ජීවිතේ උපරිමයෙන් ම වින්ද, තමන්ගෙ අදහස් කෙළින් ම කිව්ව, තමන්ගෙ රසිකාගාරය උපරිමයෙන් පිනෙව්ව ශිල්පියෙක් විදිහට ඔහු ජීවිතයෙන් නික්ම යන්නේ කනගාටුවෙන් නොවන බව නිසැකයි.

ඔහුට සාමය ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරමු.

Leave a comment