Artwork for Brew-at-Hatch-Top Banner 2 A
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for PMF Ifatr Sidebar banner 1

සීතල හපුතලේ රන්වන් කන්දකින් වට වුණු ගල් බංගලාව, ඇඩිෂම්..

අමතක නොකර සිරි නරඹන්න!

Posted by

බදුල්ල බණ්ඩාරවෙල ඇල්ල හපුතලේ පැත්තෙ ට්‍රිප් යනකොට කවුරු කවුරුත් අමතක නොකර සිරි නරඹන්න නවතින තැනක් ඇඩිෂම් බංගලාව. හාත්පස වෙළාගෙන තියන සීතලට පරාද නොවී, තේජාන්විත ව නැඟී ඉන්න ඇඩිෂම් බංගලාව දුටු පමණින් කාගෙත් හිත ගන්නවා. මේ ගොඩනැඟිල්ලෙ තියන ගෞරවාන්විත පෙනුම වගේ ම, පිහිටීමේ තියන මනස්කාන්ත බවත් ඒකට හේතුවක්.

සීතල හපුතලේ නගරයෙ ඉඳන් කිලෝමීටර් හතරක් බොරලන්ද පාරෙ ගියාම තමයි ඇඩිෂම් බංගලාව හමු වෙන්නෙ. දැනට මේ ස්ථානය ශාන්ත බෙනඩික්ට් නිකාය විසින් පවත්වාගෙන යන තාපසාරාමයක් විදිහටයි ක්‍රියාත්මක වෙන්නෙ. ඒත් මේකෙ ඉතිහාසය වසර අනූවකට එහා අතීතයකට දිවෙනවා.

ඇඩිෂම් බංගලාවේ නිර්මාතෘවරයා ශ්‍රීමත් තෝමස් ලිස්ටර් විලියර්ස්. ඔහු 1869 දී එංගලන්තයේ කෙන්ට්හි ඇඩිෂම් නම් ගම් ප්‍රදේශයේ දී, එංගලන්ත පල්ලියේ පූජකවරයෙකු වූ හෙන්රි මොන්ටේගු විලියර්ස් සහ වික්ටෝරියා රසල් ආර්යාවට දාව උපත ලැබුවා. තෝමස් ලිස්ටර්ගේ මව දෙවරක් බ්‍රිතාන්‍ය අගමැතිවරයා වූ ජෝන් රසල්ගේ දියණියයි. එනිසා ම ඔවුන් එරට ප්‍රභූ පවුලක් වශයෙනුයි සැලකුණේ.

ප්‍රභූ පැලැන්තියේ තරුණයන් සාමාන්‍යයෙන් තෝරාගන්නා ව්‍යාපාරික නැතිනම් දේශපාලන වෘත්තීන් වෙනුවට තෝමස් ලිස්ටර්ගේ හිත ගියේ වගා කටයුතුවලට. ඒ අනුව පවුම් දහයක් පමණක් අතැති ව බොගවන්තලාව ඇල්බැද්ද වතු යායේ පුහුණු වතු පාලකයෙකු ලෙස 1887 දී ලංකාවට පැමිණෙන තරුණ තෝමස් ලිස්ටර් ටිකෙන් ටික සිය ජීවිතය අලුතෙන් පටන්ගන්නවා. 

ඩබ්. එච්. වෝකර් නම් වැවිලිකරුවෙකුගේ දියණිය වූ එව්ලින් හෝප් සමග 1896 නුවරඑළියේ දී විවාහ දිවියට ඇතුළු වන තෝමස් ලිස්ටර්, 1900 වසරේ දී දික්ඔය වතු යාය මිලට ගෙන වැවිලිකරුවෙකු බවට පත් වුණා. ඒ අනුව දිනෙන් දින සිය වැවිලි කටයුතුවල හිනි පෙත්තට ළඟා වුණු ඔහු තවත් වසර පහකින් පමණ ජෝජ් ස්ටුවර්ට් සමාගම සමග සම්බන්ධ වනවා. ක්‍රම ක්‍රමයෙන් සිය ව්‍යාපාරික ශක්‍යතාව පුළුල් කරගන්නා තෝමස් ලිස්ටර්, 1928 දී  ජෝජ් ස්ටුවර්ට් සමාගමේ සභාපති තනතුරට පත් වනවා.

තම උපන්ගමට සමාන දේශගුණයක් සහ වටපිටාවක් සහිත ප්‍රදේශයක තමන්ගේ ම කියා බංගලාවක් තනා ගැනීමේ අදහසක් තෝමස් ලිස්ටර් තුළ පහළ වෙන්නේ මේ කාලේ. ඒ අනුව හපුතලේ ප්‍රදේශයේ තංගමලේ වනයෙන් වට වූ මේ බිම්කඩ ඒ සඳහා ඔහු තෝරාගත්තා. දමිළ බසින් තංග - මලේ යන්නෙහි අදහස ‘රන්වන් කන්ද’ යන්නයි. මුහුදු මට්ටමේ සිට අඩි 5000ක් පමණ උසින් පිහිටි මේ අක්කර දහයක භූමියට හාත්පස වට කරගත් නමුනුකුල, පිදුරුතලාගල ඇතුළු කඳුවැටි යායක් හොඳින් දර්ශනය වෙනවා.

එංගලන්තයේ තියඩෝර් සහ ජාකොබීන් ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුකූලව, ආර්. බූත් සහ එෆ්. වෙබ්ස්ටර් නම් ශිල්පීන් දෙන්නා අතින් නිර්මාණය කෙරුණු මේ මන්දිරය සඳහා එංගලන්තයෙන් ඉංජිනේරුවන් ද, ඉන්දියාවෙන් කම්කරුවන් ද ගෙන්වන ලද බව ඉතිහාසයේ සඳහන්. ඒ වගේ ම බංගලාව සඳහා අවශ්‍ය කළු ගල්, ගෘහ භාණ්ඩ ඇතුළු බොහෝ දේත් එංගලන්තයෙන් ලංකාවට ගෙන්වා තිබෙනවා. නිවසේ වහලය, දොර ජනෙල්, පොළොව සහ පඩිපෙළ සාදා ඇත්තේ බුරුම තේක්ක දැවයෙන්. 1931 දී ඉදිකිරීම් අවසන් වීමෙන් අනතුරුව සිය උපන්ගම සිහි වීම සඳහා මේ බංගලාව ‘ඇඩිෂම්’ යනුවෙන් තෝමස් ලිස්ටර් නම් කරනවා.

තෝමස් ලිස්ටර්ගේ බිරිඳ චිත්‍ර ශිල්පිනියක වූ නිසා මේ මන්දිරය ඇය අතින් නිම වුණු තෙල් සායම් සහ දිය සායම් සිතුවම්වලින් නිරන්තරයෙන් සැරසුණා. අදටත් ඉන් සමහරක් ඔබට දැකගත හැකියි. ඒ වගේ ම ඩේවිඩ් නම් චිත්‍ර ශිල්පියෙකු ඇඳි ශ්‍රීමත් තෝමස් ලිස්ටර්ගේ සිතුවමත් මෙහි ඇති සිතුවම් අතර විශේෂත්වයක් උසුලනවා.

බංගලාව ඇතුළත වගේ ම පිටතත් තියෙන්නේ නෙත් ඇදගන්නා මනස්කාන්ත දර්ශන. හොඳින් නඩත්තු කළ, මලින් පිරී ගිය ගහකොළ වගේ ම මනාව වැඩුණු සරුසාර පලතුරු වර්ගත් ඇඩිෂම් වතු යායේ දැකගන්න පුළුවන්. ඒවායින් නිෂ්පාදනය කරන ජෑම්, කෝඩියල්, චට්නි, සිරප් ආදී දේත් ඔබ ඇඩිෂම් බලන්නට ගියොත් මිලට ගන්න පුළුවනි.

තෝමස් ලිස්ටර් සිටි කාලයේ ඇඩිෂම් බංගලාව බොහෝ කලක් තිස්සේ ප්‍රභූන් විසින් නිවාඩු නිකේතනයක් වශයෙන් භාවිත කොට තිබෙනවා. හෝටලයක තරම් පහසුකම් නැතත්, අදත් මේ පළාතේ විනෝද චාරිකා යන ඔබට මෙහි නවාතැන් ගත හැකියි. ඒත් මෙතැන නවාතැන් ගන්නා විට ඔබ අනුගමනය කළ යුතු විශේෂ පියවර තියනවා. මොකද, කොතරම් සංචාරක ආකර්ෂණය දිනාගත්තත් මෙය තාපසාරාමයක්.

1949 දී ජෝජ් ස්ටුවර්ට් සමූහයේ සභාපති ධුරයෙන් තෝමස් ලිස්ටර් විශ්‍රාම ගත්තා. තෝමස් ලිස්ටර් සහ එව්ලින් හෝප් දෙදෙනාට දාව උපන් පුතුන් දෙදෙනාට ම තිබුණේ කෙටි ආයුෂ. ඔවුන් තෝමස් ලිස්ටර්ට පෙර මිය ගිය නිසා, විශ්‍රාම ගැනීමෙන් පසු යළි සිය රට බලා යන්නට පෙර ඔහු ගෘහ භාණ්ඩත් සමග ම ඇඩිෂම් බංගලාව, සේදවත්ත කම්හල හිමි විමලා විජේවර්ධනට අලෙවි කර තිබෙනවා. ඉන් දස වසරකට පසු ශ්‍රීමත් තෝමස් ලිස්ටර් විලියර්ස් එංගලන්තයේ කෙන්ට්හි දී මිය ගියා.

1961 දී රෝමානු කතෝලික පල්ලිය ඇඩිෂම් බංගලාව සහ භූමිය මිලට ගෙන එය තාපසාරාමයක් බවට පත් කළා. ඉතින් අදටත් ඔවුන් ඇඩිෂම්හි සුන්දරත්වය නොනැසී පවත්වාගන්නට බෙහෙවින් වෙහෙස වෙනවා. ලාංකිකයෙකු විදිහට, තාමත් ගිහින් නැත්නම් අනිවාර්යයෙන් ගිහින් බැලිය යුතු තැනක් විදිහට ඇඩිෂම් බංගලාව නම් කරන්න පුළුවන්. මේ මන්දිරයේ සහ ඒ අවට පරිසරයේ විස්මිත සෞන්දර්යයට ඔබ වශීකෘත වේවි..

Leave a comment