Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

ගිනි ගත් ඇෆ්ගනිස්තානයේ හතළිස් වසරක යුද ඉතිහාසය

හතළිස් වසරක යුද ගිනි දැල්

Posted by

පහුගිය අගෝස්තු 15 වෙනිදා, වසර විස්සකට පසුව නැවත ඇෆ්ගනිස්තානය සම්පූර්ණයෙන් තලිබාන් සංවිධානය යටතට පත් වුණු බව ඔබ මේ වන විටත් දන්නවා. ඒ එක්ක ම ඇෆ්ගන් ජනතාව ගුවන්යානාවල තටුවල එල්ලී හෝ වෙනත් රටවලට පලා යන ආකාරය ගැන පුවත් අපි පහුගිය දවස්වල එක දිගට දැක්කා. මෙහෙම තත්ත්වයක් උදා වුණේ එතෙක් කල් ඇෆ්ගනිස්තානයේ සිටි ඇමරිකානු හමුදාව ඇමරිකාව විසින් යළි සිය රටට ගෙන්වා ගැනීමත් සමග. තලිබාන් සංවිධානය රට පුරා ම සිය බලය තහවුරු කරගැනීමත් එක්ක ඇෆ්ගන් ජනපති අෂ්රෆ් ඝානි පවා රටෙන් පලා ගියා.

ඇෆ්ගනිස්තානයේ යුද ගිනි දැල්වෙන්න පටන්ගත්තේ අදක ඊයෙක නෙවෙයි. නිශ්චිත ව කිව්වොත් මේ යුද ඉතිහාසය 1978 තරම් ඈතට දිවෙනවා. එය ඇරඹෙන්නේ ඇෆ්ගනිස්තානය සෝවියට් ආක්‍රමණයට යටත් වීමෙන්. ඒ අනුව සෝවියට්වරුන්ගේ සහයෙන් ඇෆ්ගනිස්තානයේ කොමියුනිස්ට් රජයක් පිහිටවනු ලැබුවා. 

ඉන්පසුව කොමියුනිස්ට් විරෝධී ඉස්ලාමීය ගරිල්ලන් පිරිසක් මේ රජයට එරෙහි ව නැඟී සිටින්නට වුණා. ඔවුන්ගෙන් වැඩි පිරිස පෂ්තුන්වරුන්. ඒත් පසුව මෙයට වෙනත් අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් එහෙමත් එක් වුණා. ඒ අනුව කොමියුනිස්ට් විරෝධී ඉස්ලාමීය ගරිල්ලන් සහ ඇෆ්ගන් කොමියුනිස්ට් රජය අතර ඉන්පසු ව දරුණු ගැටුම් ඇරඹුණා. දිගින් දිගට ම උග්‍ර අතට හැරුණු මේ සටන 1990 දශකයේ මුල භාගය දක්වා ම පැවතුණා. මේ වන විට සෝවියට් දේශය දකුණු ආසියාවේ බලය පැතිරවීම ගැන උරණ වී සිටි ඇමරිකාව, අන්තවාදී ඉස්ලාමීය සංවිධානවලට රහසේ සහය පළ කරන්නට පටන්ගත් බව තමයි කියැවෙන්නේ.

1990 දශකයේ මුල ඇමරිකාව සහ සෝවියට් දේශය අතර සීතල යුද්ධය අවසන් කරමින් සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටෙන විට, සෝවියට් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වෙන්නට පටන්ගත්තා. මේ කාලයේ දී ම අන්තවාදී ඉස්ලාමීය සංවිධාන ‘තලිබාන්’ යන නමින් නැවත ඉස්මතු වෙන්නට පටන්ගත්තා. 1996 දී ඔවුන් ඇෆ්ගනිස්තානයේ අගනුවර වන කාබුල් නගරය අත්පත් කරගත්තේ එවකට තිබූ රජය පෙරළා දමමින්. 2000 වසර පමණ වන විට සමස්ත ඇෆ්ගනිස්තානය ම තිබුණේ ඔවුන්ගේ අණසකට යටත් ව.

මේ අතර ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුතු අල්කයිඩා සංවිධානයට තලිබාන් සංවිධානයේ සහය හිමි වුණා. එනිසා අල්කයිඩා සංවිධානය ඇෆ්ගනිස්තානයේ සිට ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා. 2001 වසරේදී අල්කයිඩා සංවිධානය විසින් ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල කරන ලද ‘නයින් ඉලෙවන්’ හෙවත් සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව, ඇමරිකාව ඇෆ්ගනිස්තානයට ප්‍රතිප්‍රහාර එල්ල කළේ ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරමින්. ඉන්පසු තලිබාන් සංවිධානය පරදා ඇෆ්ගනිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පිහිටුවීමට ඇමරිකාව පියවර ගත්තා.

ඒ අතරේ 2011 දී පකිස්තානයේ සැඟව සිටි ඔසාමා බින් ලාඩන් ඇමරිකානු හමුදා අතින් ඝාතනය වුණා. ඉන්පසු අල්කයිඩා සංවිධානය අඩපණ වුණා. පසුගිය දා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වන තෙක් ම ඇමරිකානු හමුදාව, ඇෆ්ගන් හමුදාව සමග එක් ව තලිබාන් සංවිධානය සමග සටන් වැදුණා. ඇමරිකානු ජනපති ජෝ බයිඩන් සිය හමුදා නැවත එරටට කැඳවා ගැනීමත් එක්ක තලිබාන්වරුන්ට නැවත ඇෆ්ගනිස්තානයේ බලය හිමි වුණා.

2000 වසරේ සිට විසි වසරක් පුරා ඇදී ගිය තලිබාන් යුද ගැටුම් හේතුවෙන් ඇෆ්ගන් පුරවැසියන් 70000ක් මරණයට ගොදුරු වුණා. 75000ක පමණ ඇෆ්ගන් පොලිස් සහ යුද භටයන් පිරිසක් මෙයින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. තුවාල ලැබූ, දේපළ විනාශ වූ, උන්හිටි තැන් අහිමි වූ, සිය ආදරණීයයන් අහිමි වූ, ජීවිත විනාශ වූ පිරිස ගණන් කරන්නටත් බැරි තරම්. ඒ අතර ඇෆ්ගන් වැසියන් විශාල පිරිසක් සිය මව්බිම හැර දමා රටින් පිට ව යන්නටත් පියවර ගත්තා.

ඉතින් දැන් ඇෆ්ගනිස්තානය නැවත තලිබාන් පාලනයට යටත්. ලෝකයේ පිළිගත් මානව හිමිකම් ගැන කිසි සේත් නොතකන තලිබාන් සංවිධානයේ, දැඩි ආගමික නීති මාලාවේ පීඩනයට යටත් වන්නට ඇෆ්ගන් වැසියන්ට සහ විශේෂයෙන් කාන්තාවන්ට මෙතැන් පටන් සිදු වෙනවා. නොනවත්වා පවතින යුද ගැටුම්, ආගමික අන්තවාදය, දරිද්‍රතාව සහ නානා ප්‍රකාර තාඩන පීඩන නිසා මෑත ඉතිහාසය පුරා ම ඇෆ්ගන් වැසියන් ගත කළේ පීඩිත ජීවිතයක්. අවාසනාවකට ඉදිරියේදී එය තවත් තීව්‍ර වෙන්නට නියමිතයි.

Leave a comment