Artwork for pat pat lk temp top banner 1
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

තරු කෝටියක් යට, යාය ගල්තලාවක් උඩ.. අරලගංවිල අළුත් අවුරුදු!

මැද ගල්තලාවෙ නම් තැන් 2, 3ක්ම තියෙනවා…

Posted by

ගොඩා..ක් පරණ මතකයක්. 2013-2014 වගේ.

සිංහල අලුත් අවූරුදු කටේ තියලා, ඒ දවස්වල ඉඳන්ම මගෙයි, මගේ යාළුවගෙයි තිබ්බා පුරුද්දක්..

ලට්ට ලොට්ට එකතු කරගෙන කොහේහරි ගමක් පැත්තට මංදො වෙලා.. ඒ ගමේ මිනිස්සුත් එක්ක අවුරුදු කනවා. හැබැයි ඉතින් ඒ පුරුද්දෙන් මෙච්චර කාලෙකට පාඩුවක් වෙලත් නෑ.. එක එක සංස්කෘති, එක එක මිනිස් කොට්ටාශ, අළුත් අවුරුදු සමරපු විදිය ගැන සුපිරි අත්දැකීම් ලැබුවා මිසක්.

ම්.. ඒ වගේම තමයි, ඉතිහාසයේ එක පාරක් දෙපාරක් තිබ්බා ගම් වලිනුත් එපිට, ඝන කැළේටම වැදිලා අපි අවුරුදු සමරපු.

මේ අරලංගවිල කතාවත් එයින් එකක්!

මාදුරුඔය මායිමේ පිහිටපු, පුංචි දුප්පත් ගමක්. ඇත්තටම අපේ මුල් අරමුණ වුනේ මේ ගමේ මිනිස්සුන්ට වතුර ෆිල්ටර් ටිකක් දීලා, වකුගඩු රෝගයෙන් අත්මිදෙන්න සපෝට් එකක් දෙන එක. ඒත්.. ඒක අපි එහෙට සේන්දුවුන දවසෙම අහරවර වුන නිසා සහ අළුත් අවුරුද්දට දවස් 2, 3ක්ම ඉතිරි වෙලා තිබ්බ නිසා, අපිට කරන්න දෙයක් නැතිකමට නැගගත්තනෙ මහ විසාල ගලකට.

දානිගල!

ඒලියන් රොක් කියලත් කියනවා. තියෙන්නෙ අරලගංවිලින් එපිට කන්දෙගම කියන ගමේ. කොහොමවුනත් මේ කැළේ නිදන් හොරුන්ගෙ නම් තෝතැන්නක්. ඒ වගේම තමයි දඩයක්කාරයන්ගෙත්. අනේ.. පාමුල පන්සලක් තිබ්බට මොකද මසෙන්, ජල්තර වැඩ වලින් නම් අඩුවක් නැති පැත්තක්. ඒ නිසාමයි.. අපිත් ඉක්ඉක්මන් කරලා ගමෙන් එළියට ඇවිල්ලා කැළෑ වැදුනෙ. ම්.. එකම අප්සෙට් එක වුනේ අපිට අමතක වුනා අවුරුදු කියල. මොකද.. ටාගට් එක වෙලා තිබ්බෙ දානිගල තියෙනවැයි කියන ‘ස්ටාර්ගේට්’ එක හොයන එකනෙ.

ගමනෙ මග පෙන්වන්න ආපු බෝපෙ මාමාත් එක්ක අපි 13 වෙනිදා දවාලෙම ගමන පිටත් වුනා. මොකද යන අතරෙ බලන්නත් තැන් එමට, ඊටත් හැන්දැ වෙද්දි වලස්සු!

විමානෙ, හ්ම්..

වියළි කලාප කැළෑ ගතියක් නම් හතර මායිමක නෑ. මං හිතන්නෙ කලින් දවස් කීපයම අනෝරා වලින් පිරිලා ඉතිරිලා ගියපු නිසා වෙන්න ඔ්න. ඒ නිසාමද මන්දා කොළරොඩු අස්සෙ සර්ප විමානෙ. ගමනෙ අඩි ගාණයි, හම්බුවෙච්ච සර්පයො ගාණයි අතරෙත් පොඩි වෙනසක් තිබ්බෙ මගෙ මතකෙ හැටියට. කොහොමහරී.. එහෙම ගිහිල්ලා, බෝපෙ මාමාගෙ මග පෙන්වීම යටතෙ අපි බැස්සා මහා ලෙන් යායකට. බැහැලා, ඒවයෙ වලස්සු ඉන්න ලෙනුත් බලලා, පැරණි රහතන් වහන්සේලා වැඩ ඉඳපු ලෙනුත් බලලා, අන්තිමටම..

තියන හූව ආපහු නොඑන තරම් ගැඹුරු.. උමඟක් දෙකකුත් බාගෙට බඩගෑවා.

බඩගාලා උඩහට උඩහට ගියේ හැකි අයුරින් නාගන්න. ම්.. කිව්වට විශ්වාස කරන්න වතුරවත් නැති මහ ගලේ.. දිය සීරාවක් හමුවුනා කියන්නකො ෂවර් එකක් වගේ.. ආයෙ නෑවා විතරක් නෙවෙයි, බොන්නත් වතුර පුරව ගත්තා ඇති හැටියට. පුරවගෙන.. මුදුනටම මතුවෙද්දි.. ඉර ගැට්ටෙ. 

“පුතා ඔය බඩු ඔතනින් තියලා හරි හරියට ගාටමු එහා මුදුනට. එපිට මාදුරු ඔයනෙ. මේ වෙලාවට අලි බැහැලා ඇති..”

ආයෙ එච්චරයි ඉතින්. කතාවෙ සැරට එහා අපේ ගමනෙ සැර. අකුල් කඩාගෙන ගිහින් අලි බැලුවෙ. ආයෙ බෝපෙ මාමාට පින් සිද්ධ වෙන්න අලි නම් බැලුවා එක රංචු පිටින්, 100කට එහා පැත්තෙ. බලලා ආපහු එද්දි අන්ධකාරෙත් අපේ ලෙන් කොටේ ඉසව්වට ගාටලා. හැබැයි අවුලක් නෑ. අවශ්‍ය කරන විදියට සියලු දේ ගැලපිලානෙ තිබ්බෙ. රෑ කෑමට සැමන් හොද්දකුයි, පරිප්පුවකුයිත් හදලා ඔන්න, පාන් ගෙඩි 2ක් අතින්ම කඩලා..

රෑ 7 පහුවෙද්දි..

මගෙ අප්පේ.. ඒ අහස!

තරු විමානයක් නෙවෙයි, තරු විතරයි…

“මාමා.. මේ.. එතකොට අරලගංවිල කතාවක් තියෙනෝ නේ.. පිටසක්වල ජීවින් එක්කයි, ඔය විශ්ව පිවිසුමක් තියෙනවැයි අරහෙ මෙහෙ කියලා”

“හ්ම්..

මං ඒත් බැලුවා ඔයාලා මොකද ඔ්ක පරක්කු කලේ කියලා.

පුතා.. කිව්වට විශ්වාස කරන්න මම කලින් තැපැල් සේවයෙ ඉන්න කාලෙ ලංකාවෙ හතර වටේම කරක් ගහල තිබ්බත්.. මේ තරම් තරු තියෙන අහසක් නම් මේ ගමෙන් හැරෙන්න දැකලා නෑ. ඒ නිසාමයි කියල මම විශ්වාස කරන්නෙත් නෑ ඔය පිටසක්වල කතා. හැරත් ඔය නිදන්ගමේ වෙලකට වැටුණයි, ජීවියෙක් දිව්වැයි කියන කතා.. පහුගිය අවුරුදුවල සිද්ධ වෙච්ච!

කොහොම වුනත් මැද ගල්තලාවෙ නම් තැන් 2, 3ක්ම තියෙනවා ලංකාවෙ මෙතෙක් හමු නොවුනු කෙටුම් තියෙන. ඔය යුද්ධෙ කාලෙ පුරාවිද්‍ය මහත්තුරුත් ඇවිල්ලා බලල ගියා. ඊට පස්සෙ ඒ ගැන කතාවක් ඇදුනෙ නැතත්.. මගේ හිතේ නම් තියෙනවා ඔතන මොකක් හරි යමක් සිද්ධ වෙනවා කියලා. මොකද ඔය විදියෙම සලකුණු එනවලුනෙ ඉන්දියානු වේද ග්‍රන්ථවල, සෘෂිවරු ධ්‍යාන ලබලා විශ්වය පිරික්සන්න, පිවිසුම ගත්තැයි කියන තැන්වල. දැන් ඉතින් ධ්‍යාන ලබපු උදවිය නැති නිසා ඔ්ක හරියටම කියන්න බෑ.. අපි උදේට යංකො බලන්න.

ඒ කාරණවට අමතරව.. ලංකාවෙ කොහෙටවත් නොපෙනෙන ග්‍රහලෝක, චන්දිකා සහ උල්කා එහෙමත් මෙතනට ආවොත් ටිකක් පැහැදිලිව බලාගන්න පුලුවන්. ඒක නම් මමත් හොඳහැටි අත්විඳලා තියෙනවා..

පුතා.. කාටවත්ම නොකියන්ට ඔ්ං, ගලේ බණ්ඩාර දෙයියන්ට ඔප්පු වෙන්න කියලා මම කියන්නෙ..

දානිගලේ වැඩවසනවනෙ, මොකක් හරි හේතුවක් මත කඳ අහිමිවුන සිවුරක්. හැබැයි මේ අපේ හාමුදුරුවරු ලඟ දැන් තියෙන එකක් වගේ නම් නෙවෙයි..”

කතාව අහවර කරලා.. මාමා කියාපි, එතනින් එහාට මුකුත් අහන්න එපා කියලා.

කොහොමහරි ඒ වැඩෙන් වුනේ, අපි දෙන්නට රැයක් එළිවෙනකම් හරි හැටි නින්දක් නෑ. පහුවෙනිදා අවුරුදු.. උදෙන්ම නැගිටලා යන්නත් නෑ, හ්ම්..!

Leave a comment