Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

බේරූට් නටබුන් අතරේ පුපුරා ගිය මතක සේයා සොයා යන යුවළක්

විනාශයට පෙර සහ පසු!

Posted by

ලෙබනනයේ බේරූට් නගරයේ පහුගිය අගෝස්තු 4 වෙනිදා සිදු වුණු විශාල පිපිරීම ගැන හැමෝම දන්නව ඇති නෙ. පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තිබූ ගබඩා සංකීර්ණයක සිදු වුණු මේ හදිසි පිපිරීමෙන් පුද්ගලයින් 220ක් ජීවිතක්ෂයට පත් වෙලා ලක්ෂ තුනකට අධික පිරිසකට උන්හිටිතැන් අහිමි වුණා. ඒ වගේ ම නගරය සහමුලින් ම විනාශයට ලක් වුණා. මේ අතරේ බේරූට් හා බැඳුණු පරණ මතක ගොඩක් අරගෙන ඒ විනාශය හැබැහින් දැක ගන්න ගිය යුවළක් ගැන පුවතක් වාර්තා වුණා.

ජෝසෆ් කෞරි ලෙබනන් ඡායාරූප ශිල්පියෙක්. ඔහුගේ බිරිඳ ගාබ්‍රියෙලා ගෘහ නිර්මාණ ශිල්පිනියක්. මේ දෙන්නා පහුගිය 2016 වසරේ ඉඳන් මේ වෙනකන් එක්තරා ව්‍යාපෘතියක් කරගෙන යනවා. ඒකෙ නම Bouyout Beirut. එහෙමත් නැත්නම් Houses of Beirut කියල කියන්න පුළුවන්. ඔවුන් කරන්නේ බේරූට් නගරයේ ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පය කැමරාවට හසු කරගැනීම. ඒ කියන්නේ ඔටෝමන් සහ යටත් විජිත සමයේ ඉදි වුණු අපූරු නිර්මාණශීලී ගොඩනැඟිලි නිසා බේරූට් නගරයට එකතු වෙලා තියන විශේෂත්වය ඡායාරූපයට නඟන එක තමයි ඔවුන්ගේ අරමුණ.

බේරූට් කියන්නේ ලෝකයේ පැරණි ම නගරවලින් එකක්. වසර 5000ක් පමණ ඈතට දිවෙන ඉතිහාසයක් එයට තියනවා. දුර්ලභ ගෘහ නිර්මාණ ශිල්පී විධික්‍රම ආශ්‍රයෙන් අතීතයේ දී ඉදි වුණු ගොඩනැඟිලි සහ, කාලයත් සමග ඒවා වෙනස්කම්වලට බඳුන් වුණු ආකාරය, අනාගතය වෙනුවෙන් ඉතිහාසයේ සලකුණු කර තබන්නයි ජෝසෆ් සහ ගාබ්‍රියෙලාට අවශ්‍ය වුණේ. නොහිතූ විදිහට බොහෝ කලක් යන්නට කලින් ම ඔවුන්ගේ ව්‍යාපෘතියේ වටිනාකම හැමෝට ම දැනුණේ බේරූට් නගරය විනාශ කළ පිපිරීමත් එක්කයි.

මේ දෙන්නා 2016 ජූලි මාසේ ඉඳන් වසර හතරක් තිස්සේ කරගෙන ආපු මේ ව්‍යාපෘතියට පහුගිය 4 වෙනිදා සිදු වුණු පිපිරීමෙන් කණ කොකා හැඬුවත්, ඔවුන් මෙතෙක් රැස් කළ සේයා රූ එකතුවට මිල කළ නොහැකි වටිනාකමක් මේ සිද්ධියත් එක්ක එකතු වුණා.

“මම ඉපදුණේ, මුළු ජීවිතය ම හැදී වැඩුණේ බේරූට්වල. කාලයත් සමග නිරන්තරයෙන් බේරූට් වෙනස් වෙන හැටි මං දැක්කා. ඒ වගේ ම 1975 ඉඳන් 1990 දක්වා තිබුණු සිවිල් යුද්ධයට කලින් බේරූට් කොච්චර ලස්සන ද කියල වැඩිහිටියන්ගෙන් මම අහලා තිබුණා. මට අවශ්‍ය වුණේ වෙනස් ඇහැකින් බේරූට් නගරය දිහා බලන්න. සාම්ප්‍රදායික ක්‍රමයට හැදුණු ගෙවල් අපේ නගරය හැඩ කරන හැටි, යුද්ධයෙන් නගරය විනාශ වුණු හැටි, ඉන්පස්සේ නගරය ප්‍රතිසංස්කරණය වුණු හැටි හැමෝට ම පෙන්නන්න. ඒක ඇතුළෙත් ලස්සනක් තියන බව මතු කරන්නයි මං උත්සාහ කළේ. ඒ හැම දේ ම එකතු වුණාමයි මේ නගරයේ අනන්‍යතාව හැදෙන්නේ.

බේරූට් සංස්කෘතික උරුමය මතුපිටින් පේනවට වඩා ගැඹුරු බව ලෝකෙට කියන්න මට ඕන වුණා. ඒ නිසා මං ගත්ත බේරූට් ඡායාරූප මම පෝස්ට්කාඩ් බවට පත් කළා. කෙනෙක් මෙහෙ ඉඳන් ලෝකේ වෙනත් තැනක ඉන්න කාටහරි මේ පෝස්ට්කාඩ් එකක් යවනකොට, බේරූට් නගරයෙන් බිඳකුත් ඒ එක්ක ම එතනට යනවා. මේ නිසා ම මං ෆොටෝ ගත්තෙ බේරූට්වල වැඩිය ප්‍රසිද්ධ නැති, සැඟවුණු ප්‍රදේශ.”

මේ ජෝසෆ් තමන්ගේ ව්‍යාපෘතිය ගැන කියන කතාව.

“සාමාන්‍යයෙන් අපි සුලබව දකින පෝස්ට්කාඩ්වල තියෙන්නේ නගරයේ මනස්කාන්ත දර්ශන. ඒවයෙ හැම දේ ම පිළිවෙළයි ලස්සනයි. අපිට ඕන වුණේ අයිසිං නොකර අමුවෙන් නගරයේ ඇත්ත දර්ශන රූපයට නඟන්න. ඒවා අපිළිවෙළයි අවලස්සනයි. හැබැයි ඒ අපිළිවෙළ ම තමයි බේරූට් බේරූට් බවට පත් කරන්නේ.”

වෙනිසියුලාවේ ඉඳන් අවුරුදු හයකට කලින් බේරූට් නගරයට ආපු ගාබ්‍රියෙලා, ජෝසෆ්ගේ බිරිඳ එහෙම කියනවා. ඇය කියනවා වගේ ම, ඔවුන්ගේ සේයාරූවල තියන අවුරුදු ගණනාවක් පැරණි උසස් මට්ටමේ ගෘහ නිර්මාණ ශිල්පය වගේ ම, යුද්ධයෙන් නටබුන් වී ඇද වුණු ගෙවල්, කැඩුණු දොර ජනෙල්, තීන්ත ගැලවුණු බිත්ති, වෙඩි උණ්ඩවලින් හැදුණු හිල් ආදියත් බේරූට්වල සංස්කෘතිය ගැන ලොකු කතාවක් කියනවා. 

අගෝස්තු 4 වෙනිදා පිපිරීමෙන් දවස් පහකට පස්සේ ජෝසෆ් සහ ගාබ්‍රියෙලා යුවළ තමන් ගත්ත ඡායාරූප පෝස්ට්කාඩ් 30ක් අතැතිව නගරය විනාශ වී ඇති ආකාරය දැකගන්න ගියා. ඔවුන් ගත්ත ඡායාරූපවල තිබුණු ගොඩනැඟිලිවලට දැන් අත් වෙලා තියන ඉරණම පෙන්වන විදිහේ ඡායාරූප මාලාවකුත් කැමරාවේ සටහන් කරගන්න ඔවුන්ට ඒ ගමනෙදි පුළුවන් වුණා. මේ තියෙන්නේ ඒ විදිහට ගත්ත විනාශයට පෙර සහ පසු ඡායාරූප.

පිපිරීමෙන් වුණු විනාශයේ තරම කොච්චරක් ද කියනවා නම්, ජෝසෆ් සහ ගාබ්‍රියෙලා අරන් ගිය පෝස්ට්කාඩ්වල තියන ගොඩනැඟිලි තිහෙන් ඔවුන්ට යන්තම් හෝ හඳුනගන්න පුළුවන් වුණේ ගොඩනැඟිලි 25ක් විතරයි. ඉතිරි පහ ම කැබලි හෝ ඉතිරි නොවී පිපිරීමෙන් දූවිලි අංශු බවට පත් වෙලා තිබුණා. හඳුනගන්න පුළුවන් වුණු ගොඩනැඟිලි පෙර තිබුණු අන්දම මතක් වෙන්න, ඒවා ඉදිරියේ ඔවුන් ගත්ත ඡායාරූප පෝස්ට්කාඩ් රඳවලා යන්නත් ඔවුන් අමතක කළේ නෑ.

“අපි දැනගෙන හිටියෙ නෑ අපි මොනා කරන්න ද මේ ගමන යන්නෙ කියලවත්. යන ගමන් ම තමයි අපි හිතුවෙ, අපේ අතේ තියන පින්තූරයි දැන් මේ තියන වටපිටාවයි හුඟක් වෙනස් නිසා ඒ බිල්ඩිං ඉස්සරහ මේ පින්තූර තියල යන්න ඕන කියල. මිනිස්සුන්ට අතීතය සිහි කරන්න වගේ ම, අනාගතය ගැන බලාපොරොත්තුවක් දෙන්නත් ඒක උදව්වක් වෙයි කියල අපි හිතුවා.”

ගාබ්‍රියෙලා එහෙම කිව්වා.

යුනෙස්කෝව කියන විදිහට බේරූට්වල තිබුණ ඓතිහාසික වටිනාකමින් යුතු ඉපැරණි ගොඩනැඟිලි 640ක් පිපිරීමෙන් විනාශ වෙලා. තවත් 60ක් පමණ පොළොවට සමතලා වීමේ අවදානමක් තියනවා. මේවා නැවත ගොඩ නැඟීමේ හැකියාවක් තියනවද කියල යුනෙස්කෝව ජාත්‍යන්තර මට්ටමින් හොයා බලමින් ඉන්නවා. ඒත් ඔවුන්ට අනුව එහෙම ප්‍රතිසංස්කරණය කරනවා නම් ඒ සඳහා ඩොලර් මිලියන 300ක වියදමක් දැරීමේ හැකියාවකුත් තියෙන්න ඕන.

මේ යුවළ ආරම්භ කරපු ව්‍යාපෘතියට අනපේක්ෂිත වටිනාකමක් ලැබුණේ බේරූට් පිපිරීමෙන්. නගරය සුන්බුන් වෙන්න කලින් හිතාමතා නොවුණත් එහි අසිරිය පින්තූරයට නඟන්න වෙහෙස වීම ගැන බොහෝ දෙනෙක් ජෝසෆ් සහ ගාබ්‍රියෙලාට ස්තුතිය පළ කරලා තිබුණා. කවදා හෝ නගරය නැවත හිස ඔසවා යථා තත්ත්වයට පත් වුණු කාලයක ඔවුන් ගත්ත මේ අලුත් ඡායාරූප පෙළ ඉතිහාසයට එකතු වේවි.

Leave a comment