Artwork for Sampath Top - June

උණු උණු රොටි එක්ක රස මස් හොද්දක්!; රු. 200ට හායිහූයි කිය කිය තලු මරන්න කියාපු කඩ 7ක්

කවුද ආස නැත්තෙ නේ… ගෙදර යන්න එළියට බහිද්දි…

Posted by

කවුද ආස නැත්තෙ නේ…

දවල් කෑමෙන් පස්සෙ එක දිගට පැය ගාණක් වැඩ කරල, ගෙදර යන්න එළියට බහිද්දි ම එන බඩගින්නට, මොනවාහරි දෙයක් බඩට දාගන්න!

ඒ විතරක් නෙවෙයි, හායි හූයි ගගා රොටි කාලා කඳුළු පනින සැරත් එක්ක උණු උණු ඉඟුරු ප්ලේන්ටියක් වගෙත් බොන්න!

සුපිරි නේ…

වැඩේ කියන්නෙ ඉතින් අල්ලට, ලාස් ගාණට චයිනීස් කඩ තිබ්බට… ඒවා සුවර් නෑනෙ. මොකද පොඩ්ඩ මිස් වුණොත් රොටි කටින්නෙ එන්නෙ. අන්න ඒ නිසයි අපි කල්පනා කළේ ඔය කොයි කොයි කඩ අතරිනුත් හොඳ ඒවා ටිකක් විතරක් තෝරල කරල ඔයාලට කියන්න. එතකොට කට්ටියට පුළුවන්නෙ හැන්දෑවට එන ‘යකෙක් කන බඩගින්නට’, එහෙ මෙහෙ රස්තියාදු නොවි කෙළින්ම වැඩේට බහින්න.

එහෙනම් ඕන්න තියෙනව තැන් ටික. කියවල බලල සෙට් වෙන්න බලන්න! හොඳේ…

1. Thejan Hotel

මිරිස්, කරපිංච, ලූණු රස පදමට දමාපු සුපිරි පොල් රොටියක් එක්ක තලු මර මර බීෆ් කරියක් රස බලන්න, යන්න බම්බ ගාලු පාරෙ තේජාන් එකට. ඇත්තටම හැන්දෑවට එතන මාර වැඩ ටිකක් යන්නෙ. පොල් රොටි විතරක් නෙවෙයි නාන් රොටි, ගෝදම්බ රොටි වගේ ඒවත් උණු උණුවෙන් තමයි මේසෙට එන්නෙ. එ් විතරක් නම් බැරියැ, බලන්න එපැයි මෙයාලගෙ මස් කරි ටික. ෂප්පේ… මදි නොකියන්න මිරිස් තුනපහ දාලා හදල තියෙනව! කොටින්ම, ගෑවුණත් ඇති ගාණයි කන්න. බාග වෙලාවට පරිප්පු, අල, කිරි මාළු වගේ එකක් එක්ක කලවම් හොද්දක් එහෙම ගත්තොත් නම්… ආයෙ ගමකට කන්නෙ, ගමකට කන්නෙ ඈ…

2. Pela

දවල්ට සුපිරි කෑම වේලක් කන්න වගේම හැන්දෑවට හිත පිරෙන්න රොටි ටිකක් කන්නත් කියාපු තැන. තියෙන්නෙ හරියටම දෙල්කඳ පාලම ළඟ.

රොටි ජාති ගොඩක් නැති වුණාට, මෙයාලා ළඟ තියෙන පොල් රොටියයි, ගෝදම්බයයි ඇති බඩ පැලෙන්න කන්න. මොකද ඒකත් එක්ක එනවනෙ රස වෑහෙන චිකන් කරියක් ඇඬෙන්න! එහෙම අවුල් වගේ නම්, චිකන් ඩෙවිල් එකක් හරි නැත්නම් කිරි මාළු වගේ දෙයක් හරි ගන්න, කොහොම වුණත් මතක තියාගන්න. මෙතනට ගියොත් බඩ පැලෙන්න කන්න!

3. Hulftsdorp Street Food

අමුතුවෙන් කියන්න ඕනත් නැති තරම්. මොකද කොළඹ පැත්තෙ රවුම් ගහන ගොඩ දෙනෙක් මේ ප්ලේස් එක ගැන දන්නවනෙ. නැතත් ‘අලුත් කඩේ හැන්දෑවට’ කියපු ගමන් ඔය කාගෙන් හරි අහගන්න වුණත් පුළුවන්.

මෙතන ඉතින් පොල් රොටි, නාන් රොටියෙ ඉඳන් ගෝදම්බා, චපාති වගේ ඒවා පවා තියෙනව. අනිත් කාරණය තමයි හිතේ හැටියට තෝරගෙන කන්න මස් කරිත් තියෙනව, රස පදමට හායි හූයි ගෑවෙන්න හදල උණු උණුවෙ මේසෙට එවන. ඔය… බීෆ් ඉස්ටු, කිරි මාළු, ඉස්සො, දැල්ලො, කුකුළුවො වගේ ටිකක් විශේෂ ඒවයෙ ඉඳන්. ඊටත් වැඩිය, මෙයාලගෙ කෑමවල ගණන් පට්ට අඩුයිනෙ. කොටින්ම දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න යන්නෙත් රු. 200-300 වගේ කියන්නකො.

4. Roti Cafe

කිරුලපන තියෙන හරි අපූරු තැනක්. ඇත්තටම මෙතනින් රොටියක් කනවට වැඩිය වටිනව ගිහිල්ල ටික වෙලාවක් ඉඳල එන එකත්. මොකද මේ කඩේම හැඩ වෙලා තියෙන්නෙ අමුතු ඇන්ටික් ස්ටයිල් එකකට. වාඩි වුණත් ඇති ෆුල් රිලැක්ස්.

ඒ වගේම තමයි, මෙයාලගෙ මෙනුවත් අමුතුම රොටි ටිකක් තියෙන්නෙ. නාන්, ගෝදම්බා, පොල් රොටි අතරට ටොටිලා කියල ජාතියකුත්. වැඩේ කියන්නෙ ඉතින් ඒ රොටි කන්න මස් හොදි වගේ දේවල් නැති එක තමයි. හැබැයි ඒකට හරියන්න මෙයාලා ළඟ තියෙනව බීෆ් කිමා, ක්‍රීමි සීෆුඩ් එතකොට ස්වීට් ගතියට එන පීච් ක්‍රීම් ක්‍රැප් වගේ සුපිරි පිරවුම් ටිකක්. ඒවත් හොඳ සැරට රසට හදල නිසා ඉතින් වෙනසකටත් එක්ක එහෙම නම් කියාපු.

5. Spinner

සැහ්! රොටි කන්නම කියාපු තැන. තියෙන්නෙත් මරුම ප්ලේස් එකක, නවරෝහල වැව් ඉස්මත්තෙ. හැන්දෑවක වගේ සෙට් වුණා නම් පංකාදු අත්දැකීමක් ගන්න තිබ්බ. මෙයාලා ළඟත් මස් හොදි නැති වුණාට කටට රහට වගේම දිව දෙදරන්න හදාපු මස් වැඩ ටිකක් තියෙනව. ස්පයිසි චිකන්, චීස් චිකන්, ටූනා, හැම්, බේකන් එතකොට ෆ්‍රයිඩ් එග් වගෙත්. ඊටත් වැඩේ කියන්නෙ ඒ ඕන එකක් අපිට ඕන විදියට සැර අඩු වැඩි කරල, ඕන නම් තව ජාති මික්ස් කරල වුණත් ගන්න පුළුවන්නෙ. එහෙම අරන් කාලා ඉතින් අන්තිමට ඉඟුරු දාපු ප්ලේන්ටියකුත් ගැහුව නම් නොම්මර එකයි!

6. Praneetha

පෝර්ක් හොදි එක්ක උණු උණු රොටි කනව නම් කොළඹ පැත්තෙ තියෙන සුපිරිම තැනක් තමයි ප්‍රණීත කියන්නෙ. ඇත්තටම මෙතන පෝර්ක් එක නම් ප්‍රණීතයි. ඒ විතරක් නෙවෙයි චිකන් කරිය, කිරි මාළු එක එහෙමත් පංකාදු පහයි. කොම්පඤ්ඤවීදියෙ තියෙන මේ කඩේ, දවල් ඉඳන් කොත්තු රොටි තිබ්බට පොල් රොටි, ගෝදම්බ රොටි, නාන් රොටි ටික බහින්නෙ හැන්දෑවට තමයි. ආ… කියන්න බැරි වුණානෙ, මෙයාලගෙ තියෙනවනෙ සුපිරි මස් රොටියකුත්. ඔන්න මතක ඇතුව කාලා බලන්න හොඳේ.

7. Aroma

වත්තල පැත්තෙන් රොටි කඩයක් බලනව නම් මෙන්න තැන. රොටි ජාති තියෙන්නෙ ගෝදම්බා, පොල් රොටි වගේ 2, 3 වුණාට කරි ජාති තියෙනව මදි නොකියන්න. විශේෂයෙන්ම මෙයාලගෙ බීෆ් එකයි චිකන් එකයි එහෙම සුපිරියි කියල තමයි ආරංචිය. රස පදමට රම්පෙ කරපිංච දාලා, මිරිස් තුනපහත් හොඳ හැටි දාලා…

එහෙනම් හරිනෙ! ඔන්න අපි කඩ ටික කිව්ව.

හැබැයි ඔයාලත් අපිට පොඩි සපෝට් එකක් දෙන්න ඕන. අපි මෙතන නොකියපු ඔයාලා හිතේ තියාගෙන ඉඳපු කඩත් අපිට කියන්න. ඔයාලා වගේම… අපිත් ආසයිනෙ හැන්දැ වෙලාවල් අල්ලල හිතේ හැටියට රොටියි මසුයි කාලා, හායි හූයි කිය කිය බඩ අත ග ගා ඉන්න…!

See 1 Comment
Last 7 Days

Trending Today