Artwork for U Pay Oct 2018

තඩි පැටි එකක්, චීස් තොගයක්!; රු. 500ට අඩුවෙන් රස වෑහෙන බර්ගර් කන්න කියාපු කඩ 6ක්

කොහොම වුණත් බර්ගර්ර්... කියද්දි නම් කාගෙ කාගෙත්…

Posted by

මෙන්න අළුත්ම ඒවා…

ඔයාලට මතක ඇතිනෙ මීට සෑහෙන්න ඉස්සර දවසක අපි මේ වගේම ලැයිස්තුවක් ගෙනාවා. හැබැයි ඒක දැන් පරණ නිසා අපි හිතුවා අළුත් ලැයිස්තුවක් ඔයාලට දෙන්න. අළුත්ම අළුත් කඩ ටිකක් එහෙම දාලා… දන්නැද්ද ඉතින්.

කොහොම වුණත් බර්ගර්ර්... කියද්දි නම් කාගෙ කාගෙත් කටට කෙළ උනනව. ලොකු මස් කුට්ටි දෙකක් මැදි වෙච්ච චීස් බේරෙන බනිස් ගෙඩියක් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වලින් වට වුණු පිඟානක මේසෙට එද්දි, කොහොමද නේ?

වැඩේ කියන්නෙ ඉතින් ඔය ලොකු ලොකු කඩවල බර්ගර් රස වුණාට ඒවයෙ ගාණ සැරයිනෙ. ඒ නිසා... අපි හිතුවා අඩු ගාණට රසම බර්ගර් ටිකක් කන්න පුළුවන් තැන් ටිකක් ඔයාලට ආපහු හොයල කියන්න. එතකොට ඔයාලටත් පුළුවන්නේ හිතේ හැටියට රවුම් ගගහ ඒවයෙ රස බලන්න.

එහෙනම් ඕං තියෙනව අළුත්ම ප්ලේස් ටික. හැබැයි ගිහින් බලල කියල අපිටත් විස්තරේ කියන්න ඕන හොඳේ!

1. The Food Station

හෙන නෝර්මල් ප්ලේස් එක. හැබැයි හරි ලස්සන චිත්‍ර ටිකක් එහෙම තියෙනව බිත්තිවල.

මේක තියෙන්නෙ ඩීන්ස් රෝඩ් එකේ විනයාලාංකාර පාරෙ.

ඇත්තටම ප්ලේස් එක නෝර්මල් වුණාට මෙතන කෑම නම් පංකාදු පහයි. විශේෂයෙන්ම ඔය පාන්, බනිස් වලින් හදන කෑම ටිකයි ජූස් ටිකයි. කට්ටිය කියන විදියට මෙයාලගෙ බර්ගරුත් හොඳයිලු. වැඩි හරියක්ම ඩබල් චිකන් එකයි, ක්‍රිස්පි එකයි එහෙම.

රස පදමට අඩුම කුඩුම දාලා පදම් කරපු පැටි එකක් නියම ගානට ගැඹුරු තෙලේ බැදලා… චීස් පෙත්තක් එක්ක එද්දි කොහොමද ඉතින් නේ? ඊටත් ඒකෙ රස්නෙට චීස් උණු වෙලා බේරෙද්දි, ම්ම්...!

2. Lounge 171

මේකත් බර්ගර් කන්න කියාපු තැන. ඒ විතරක් නෙවෙයි රස වෑහෙන සබ්මැරීන්… පීසා, පැස්ටා, සැලඩ් වගේ දේවලුත් මෙතන තියෙනව. වැඩේ කියන්නෙ මෙයාලගෙ කෑම ටිකක් වෙස්ටර්න් ටයිප් එක තමයි. ඒ නිසා සැර ගතිය එහෙම සෑහෙන්න අඩු වෙලා චීස් පැත්තට තමයි බර වෙලා තියෙන්නෙ. එහෙමයි කියල කෑමවල රස අතින් නම් කිසි අඩුවක් නෑ. ගම්මිරිස් ටිකක් එහෙම දාලා ගත්තාම සුපිරි ආයෙ. අනික බර්ගර් වුණත් උණුඋණුවෙන්ලුනෙ මේසෙට එනව කියන්නෙ. ඉතින්, මෙලෙක් වුණු චීස් එක්ක බර්ගර් කටක් කාලා උණුඋණු ෆෙන්ච් ෆ්‍රයිස්, සෝස් මයොනීස් එක්ක රස බලද්දි… පිස්සු හැදෙනව ඈ…

3. Fazly’s Halal Refreshment

බර්ගර් ජාති 10, 12කට වැඩියි ලිස්ට් එකේ. අවංකයෙන්ම මෙතන තියෙන බර්ගර්වලින් එකක් තෝරගන්නව කියන්නෙත් සෑහෙන අමාරු වැඩක්. ඇයි අප්පේ හැම එකක්ම එක වගේ රසයිනෙ. හැරත් ඒවයෙ ෆ්‍රෙෂ් ගතියත් ඉහළින්ම. අනික ලංකාවෙ අපිට හරියනව විදියට පොඩි සැර ගතියක් එක්ක එහෙම එන නිසා තලු මරමර කන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපිට ඕන විදියට චීස් අඩුම කුඩුම අඩු කරල හදාගන්නත් පුළුවන්නේ.

ඔන්න මතක තියාගන්න මේ තැන තියෙන්නෙ කොම්පඤ්ඤ වීදියෙ, වෙලන්ස් පැසේජ් එකේ හොඳද.

4. Cafe Alfred

අපේ ඉස්සරහ අපිට පේන්න කෑම හදන අපූරු ප්ලේස් එකක්. තියෙන්නෙ කොල්ලුපිටිය ඇල්ෆ්‍රඩ් හවුස් පැත්තෙ. ඇත්තටම ඒ කඩේ පොඩි වුණාට එතන වැඩේ නම් සුපිරියට යනව කියල තමයි ආරංචිය. මොකද එයාලා කෑම හදන්නෙ තනිකරම ෆ්‍රෙෂ් බඩුවලින්ලු. ඒකත් කස්ටමර්ට ඕන විදියට, කියල හදා ගන්න පුළුවන් නිසා එක එක රසවලින් එන කෑම ගොඩක් රස බලන්නත් චාන්ස් එක තියෙනව. අනික මෙතන චිකන්, බීෆ්වලින් ඩබල් පැටි, ක්‍රිස්පි වගේ තඩි බර්ගර්, සැන්ඩ්විච් එහෙමත් තියෙනවනෙ. හැරත් මෙයාල ලෝබ නැතුව චීස්, එළවළු වර්ග අඩුම කුඩුම ටික දාන නිසා තලු මරමර බඩ පුරවගතහැකි ඉතින්.

5. Iceburg

බර්ගර්වලටම කියාපු තැනක්. චිකන්, බීෆ් එතකොට ක්‍රිස්පි, එග් වගේ ඕන ජාතියකින් බර්ගර් ගන්න පුළුවන්. හැබැයි ඉතින් රස, පට්ට ලෝකල්. ගත් කටටම කිව්ව හැකි අපේම මෙනියු එකකට හදල තියෙන්නෙ කියල. මොකද පැටි එහෙම නිකම් ගැඹුරු තෙලේ බැදල විතරයි. පදම් කිරිලි අනම් මනම් නෑ. ඒත් බනිස් ගෙඩිය නම් පිරෙන්නම දාලා තියෙනව. අනික චීස්, මයොනීසුත් එකම ගානට වගේ නිසා කිරි රසත් පොඩ්ඩක් වැඩි ගානයි. කොහොම වුණත් මෙතන ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්වල රස නම් හොඳයි. කමක් නෑ, කෝකටත් ගිහින් බලන්නකෝ…

තැන තියෙන්නෙ මහරගම හයිලෙවල් එකේ හොඳේ.

6. My Burger

නුගේගොඩ හයිලෙවල් එකේ තියෙන මේ ප්ලේස් එකත් හොඳයි. හැබැයි සර්විස් එක තමයි ටිකක් අවුල්. කොහොම වුණත්, මෙතනත් බර්ගර් සබ්මැරීන් සියල්ල යන්නෙ අපේම රසවල්වලට. හැබැයි හොඳ කටට සැරට හැදෙනව ඉතින්. අනික තමයි මෙයාලගෙ බර්ගර්වල සයිස් එකත් සෑහෙන්න ලොකුයි. කොටින්ම කියනව නම් එක්කෙනෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන් සීන් එකක් තියෙන්නෙ. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකක් එක්ක එහෙම උණුඋණුවෙ රස බලද්දි ඉතින් ක්‍රිස්පි ඩබල් එකක් වුනත්… නෝර්මල් වෙනවනෙ.

එතනින් එහාට… අපි ළඟ තව කඩ දෙක තුනකුත් තියෙනව. හැබැයි ඒව පස්සෙ කියන්නම්. මොකද ඊට කලින් ඔයාලා දන්න, අපිට කියන කඩවලටත් ගිහින් කාලා බලන්න එපැයි කොහොමද කියල නේ...

Leave a comment
Last 7 Days

Trending Today