Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for PMF Sidebar Banner General Artwork for Promotional Artwork

COVIDට එරෙහිව! ඇඟ හයියට තියාගන්න.. ගෙදරදිම හදාගන්න කියාපු, රස කෑම වර්ග 6ක්

එහෙමයි කියල ඉතින් ඔයාලා ඒකට කලබල වෙන්න ඕන…

Posted by

කාට කාටත්.. තත්වෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ, නේ?

එන්න එන්නම වැඩේ භයානක අතට හැරීගෙනයි එන්නෙ. බාග වෙලාවට.. මෙහෙම ගියොත් එහෙම අඩුවට දෙන සැමන්, පරිප්පු පවා ඉවරවෙලා අපිට කන්න නැතුවම යන තත්වයක් වුනත් එන්න පුලුවන්.

ඒත්.. මම මේ කල්පනා කලේ ඇත්තට එහෙම වෙන්න පුලුවන්ද?

මේ ලංකාවෙ.. කෘෂිකාර්මික රටේ..?

ම්..හ! ඒක නම් විශ්වාස කරන්න බෑ යාළු.

වෙන්න ඉඩ තියෙන්නේ..

කෑම අග හිඟයක් එන එක නෙවෙයි, අපේ අය කෑම හදන්න දන්නෙ නැතිකම නිසා ‘අරක නෑ මේක නෑ’ කියල කෑගහන්න පටන් ගන්න එක. ඇයි ඉතින් බහුතරයක් පුරුදුවෙලා ඉන්නෙ කොහේන් හරි ගේන, ලිපේ තියපු ගමන් රෙඩි වෙලා මේසෙට එන දෙයක් කන්නනෙ.

එහෙමයි කියල ඉතින් ඔයාලා ඒකට කලබල වෙන්න ඕන නෑ.

මොකද.. අපි මේ කියන්න හදන්නෙ කටට රසට වගේම, ඇඟටත් ගුණදායක, ප්‍රතිශක්තියත් ඇති හැටියට වඩවන සුපිරිම ලාංකීය කෑම වර්ග ටිකක්නෙ.

ඒ නිසා.. ගෙදර අල, පරිප්පු ඉවර වුනාට කාට කාටත් කියන්න බය වෙන්න ඕන නෑ කියල.

1. බ්ලැක් පොලොස් කරි

දිය කිරෙන් උයල මිටි කිරෙන් හින්දල ගන්න සාමාන්‍ය පොලොස් මාලුවට මෙදා පාර.. දිය කිරෙන් තම්බපු අනික් පැත්තට එකතු කරමු හොඳහැටි ගොරකා, සුදුළූණු, ගම්මිරිස්, ඉඟුරු, අබ, පොල් බැදුමක ඇඹරුමක්. එකතු කරලා දෙහි හරි විනාකිරි ටිකක් හරි දාලා හොඳට අතගාලා, ටික වෙලාවක් පදම් වෙන්නත් තියලා.. අමු මිරිස්, ලූණු, මිරිස් තුනපහ, රම්පෙ කරපිංච සියල්ලම දාලා ලිපේ තියන්නයි තියෙන්නෙ යාළු. හැබැයි.. මතක තියාගන්න ඊට පස්සෙ පොලොස් ටික තම්බගන්න තියෙන්නෙ නම් වතුරෙන්. ඒකත් වතුර හිඳිලා බොර අල්ලනකම්ම හින්දන්නත් ඕන හොඳද.

2. කෙසෙල් බඩ මාළුව

මුලින්ම කරන්න තියෙන්නෙ කෙහෙල් බඩේ හීනියට ලියාගන්න එක. ඊට පස්සෙ ඒකට ලුණු, කහ, මිරිස් කුඩු, අමු තුනපහ, අඹරපු බැදපු පොල්, අබ, ගොරක, සුදු ලූණු ගුලියක් එකතු කරල හොඳට අතගාගන්න ඕන. එහෙම අතගෑවටත් පස්සෙ ටිකක් වෙලා පදම් වෙන්න තියලා.. කොහොම හරි, මිශ්‍රණය මැටි ඇතිලියක බාගයක් විතර වතුර තියෙන්න දාලා තම්බ ගන්න. තැම්බිලා, වතුර හිඳීගෙන එද්දි හීනියට ලියා ගත්තු ලූණුයි, දියකිරියි දාන්න. දියකිරිත් නටාගෙන එද්දි තමයි මිටිකිරි එකතු කරන්න තියෙන්නෙ. හැබැයි මිටිකිරි නම් ඒ හැටි නටන්න දෙන්න එපා. මොකද කැටි ගැහුණොත් ලෙඩේනෙ. අනික, ඇතිලිය බාලත් ටිකක් වෙලා හැඳි ගාන්න මතක තියාගන්න හොඳද.

3. අළු කෙසෙල් ලෙලි සම්බෝලය

ටොප් ගමේ කෑමක්. රතු බතටත් වඩා සුදු බතට තමයි හොඳටම යන්නෙ. හදන්නත් ඒ හැටි අමාරු නෑ. අළු කෙහෙල් උයන්න කලින් පොතු ගහල සුද්ද කර ගන්නවනේ. අන්න ඒ පොතු ටික අරගෙන, හොඳට හෝදල කරල හීනියට ලියාගන්නයි තියෙන්නෙ. ඊට පස්සෙ ඒක ගැඹුරු තෙලේ බැදලා... ඒ අතරට තක්කාලි, බී ලූණු, අමු මිරිස්, උම්බලකඩ දාපු සම්බෝලයකුත් හදා ගත්ත නම්, අන්තිමට බැදපු අළු කෙහෙල් ලෙලි ටික ඒකට එකතු කරගත්තාම හරි. ආයෙ ඉතින්.. මුකුත් නොකිය ඉන්නම්. ඔයාලම හදල කාලා බලන්නකෝ. ආහ්.. හැබැයි මතක ඇතුව, හොඳ හැටි ඇඹුල තියෙන්න දෙහි ගෙඩියකුත් දාන්න හොඳේ.

4. සුනුසාල් බතයි කට්ට සම්බෝලයයි

අපි හිතමුකො ගෙදර තිබ්බ හාල් ටිකත් ඉවර වේගෙන යන්නෙ කියල. ඒත්.. හාල් බෑග්වල යටම.. ඉතුරු වෙන හාල් කුඩු, කෑලි ටික! සුද්ද පවිත්‍ර කරල අරගෙන තමයි යාලු මේක හදන්නෙ. වැඩේට ටිකක් මහන්සි වෙන්න නම් ඕන. මොකද හාල් ගාණටම වගේ පොලුත් දාලනෙ බත ඉදව ගන්න ඕන. කෙහොම වුණත් හොඳ උම්බලකඩ කෑල්ලක්, කොච්චි මිරිස් කරලක් දාලා ගලේ අඹරපු කට්ට සම්බෝලයක් හදා ගත්තාම උණු උණු බත බඩ පැළෙනකම් කන්න පුළුවන්.

5. කොල්ලු මාලුව

වේලක් කෑවොත් හේනක් කොටයි කිව්වලු තනියම. ඒ තරම් හයිය කෑම වේලක් යාළු. හදාගන්න ඕන කරන්නෙත් හුණ්ඩුවක විතර කොල්ලුයි, කුස්සියෙ තියෙන සාමාන්‍ය තුනපහ, අඩුම කුඩුම ටිකයි විතරයි. හැබැයි කොල්ලු ටික රැයක් එළිවෙනකම් වතුරෙ දාලා තියන්න ඕන. පහුවෙනිදට පොතුඇරලා, පියලි වෙන් කරල අරගෙන වතුරයි, ලුණු චුට්ටකුයි දාලා මැටි ඇතිලියක තම්බ ගන්න. වතුර හිඳීගෙන එද්දි දියකිරි එකතු කරලා, ඒ එක්කම වගේ ලුණු, රම්පෙ කරපිංච, අමු තුනපහ, කහ කුඩු, ගම්මිරිස්, මිරිස් කුඩු, උමබලකඩ කෑල්ලක් එහෙමත් එකතු කරල බාගෙට හිඳෙන්න අරින්න. ඒ අතරට වෙනමම ඇතිලියකට තෙල් ටිකක් ලිපේ තියල, ලූණු, සුදුලූණු, අමු මිරිස් දාලා තෙම්පරාදුවක් හදාගෙන, ඒකට කොල්ලු ටික එකතු කරල මිටි කිරෙන් හින්දල ගන්නකො. එතනින් එහාට මුකුත් නොකිය ඉන්නම්.

6. දෙහි ආනම

මිරිකපු දෙහි ලෙල්ලෙන් පවා රස කෑම හදන්න පුළුවන් බව ඔබ දන්නවාද? 

දන්නෙ නෑනෙ, දන්නෙ නෑනෙ ඒකනෙ මේක කරන්න බැරි.

කමක් නෑ එහෙනම් ඒකත් අහගන්නකො. මුලින්ම දෙහි ලෙලි හීනියට කපල ලුණු වතුරෙ තම්බ ගන්න. ඊට පස්සෙ මැටි ඇතිළියකට තෙල් ටිකක් ලිපේ තියල අබ පොඩ්ඩක් බැද ගන්න. අබ ටික බැදීගෙන එද්දි, රම්පෙ කරපිංච, කුරුඳු, උළු හාල්, සූදුරු, ලූණු, සුදු ළුෑණු, අමු මිරිස්, වේලපු මිරිස් දාලා තෙල් දැමුමක් හදාගෙන, ඒකට මිටි කිරි, අමු තුනපහ, කහ, මිරිස් කුඩු එහෙමත් එකතු කරන්න. ඒ වෙලාවෙම වගේ ලුණුත් බැලුව නම් තමයි හොඳ. කොහොම හරි අන්තිමට අර දෙහි ලෙලි කෑලි ටික දාලා, හොද්ද පොඩ්ඩක් හිඳෙන්න ඇරලා, සීනි චුට්ටකුත් එකතු කරල බාලා ගන්න.

වැඩිය නෙවෙයි, පාන්, රොටි වගේ දෙයක්..

නැත්නම් රතු බතක් වගේ කන්න කියාපුම ඈ..!

Leave a comment