Artwork for Astra Mayo top banner 1
Artwork for The Garden top banner
Artwork for TEA STALLS sbb 1 Artwork for providore.shop sbb 2

කුරුම්බා බතයි වැව් මාළු කරවලයි.. අන්දර වැව් ඉස්මත්තේ ඔරු පැලක රැයක්!

කොහොමහරි.. බත් හට්ටිය අරිනව විතරයි මතක.  සුවඳක්…

Posted by

“මොකද බං කරන්නෙ දැං. ආං ආං බලපන් මහ එකා වතුරට බහිනවත් එක්ක. තව පැයකට යන්නෑ ඔ්කුන් ඔතනින්, ෂුවර්..”

“ඒකනෙ බං මාර වැඩේනෙ වුනේ. එහා ඉවුරට පැදල වැඩකුත් නෑ, කැළේ මැදින් යන්න බෑනෙ කොහොමත් මේ ටයිම් එකේ.

මදෑ මාළු වේළන්න ආවා. දැං කාපංකො පූජාව!”

යාල සෆාරි ඉවර වෙලා අන්තිම දවසෙ..

තිස්ස, අපේ නිලාගෙ හේනට ආවා පොඩි පාර්ටියක් දාන්න කියලා. ඇවිල්ලා උදෙන්ම අඩුම කුඩුම ටිකත් ගලපල තියලා ඔන්න ගියා ඔරුවත් දාගෙන වැව් ඉස්මත්තෙ මාළු වාඩියට, වැව් කරවල ටිකක් ගේන්න කියලා.

ඒකත්.. එහෙම කිව්වට මගදි කට්ටිය දැලක් එහෙම එළලා තව ටිකක් අරගෙනමයි ගියේ.

ඒ ගිහින් ඉතින් එතනට සෙට්වෙලා.. හැන්දැ වරුවෙ, දන්නැද්ද පොඩි බාග කාල තිබ්බ ඒවා ටිකකුත් කලවමේම හලාගෙන හිටියා වාඩිය අයිනෙ ඩබල් ඔරු පැලකට ‌ගොඩවෙලා. එහෙම ඉඳිද්දි ඉතින් තුන්දෙනාගෙම ඇසුත් දන්නැතුවම පියවිලා.

වැඩේ කියන්නෙ ඇහැරෙද්දිනෙ.. අහම්බෙන් වගේ නිලා කතා කරනකොට ඉර ගැට්ටෙ. වාඩියෙ උනුත් ගිහිල්ලා අපිටත් නොකියාම.

දඩිබිඩියට බිමට පැනලා අපේ ඔරුව දාගෙන අදින්න කියලයි ලෑස්ති වුනේ. ඒත්.. එතකොටත් පෙරහැර ගිහින්. එහා ඉවුරෙන් රංචුව බහිනවා ලස්සනට ඈතට පේනවා..

“කොල්ලනේ.. හිත හදාගනින්. අද යන්න වෙන්නේ නැත.

මොකෝ කියන්නෙ වාඩියෙ තියෙන දෙයක් ගලපගෙන කාලා බීලා මේකෙම ඉමුද? තව බාගයක් එහෙමත් තියෙනවා ඔරුවෙ”

“තව බාග.. තොට පිස්සුද යකෝ. ඒ මගුලෙන් දෙකක් හලාගෙන තමා මේ කෙලිය වුනේ. තව ඔ්න නෑ.

ඒක නෙවේ නිලා. අඩේ මොනවහරි උයමුකො බං. පට්ට බඩගිනියි”

“එළ එළ මං ඒ වගකීම ගන්නම්. හැබැයි උඹලා ඔය අද එළපු මාළුවෙක් දෙන්නෙක් ගලපන්න ඔ්න බයිට් එකට. හාද?”

“එකෙන්ම.. ඒනම් ඒකෙ වගකීම අපි ගන්නං”

කියලා සනිකව වහලෙ තිබ්බ කූරි දෙකක් අරගෙන සුද්ද කරලා හෝදලා.. දැම්මා වාඩියෙ තිබ්බ එකම තාච්චියට. දාලා ඒකටම පොල් තෙල් පොඩ්ඩක් මිරිස් කුඩු, ලුණු, කොච්චි, ලූණු, ගම්මිරිස් ටිකක් එක්ක අතගාලා තිබ්බා අඟුරු ගින්දරේ කරවෙන්න.

ඒ අතරට නිලා මෙන්න හාල් හෝදනවා..

“අ‌ඩෙහ් මං නිකම් කිව්වෙ බං. රොටියක් හදමු. ඒ ඇති.”

“උඹ ඉඳාන්කෝ.. ලස්සනට වැඩේ කරලා දෙන්න. අන්න අර කුරුම්බා ගෙඩි දෙක කපලා ගනින්”

පුංචි බෙලෙක් මුට්ටියට හුණ්ඩු දෙකක විතර හාල් දාලා ඒකටම මේකා දාපි මෙන්න කුරුම්බා වතුර ටික. දාලා ලුණුත් දාලා ඔන්න බත ලිපට.

ඊට පස්සෙ හොඳ පදමට වේලුණු තෙප්පිලි කරවල කූරියෙක් අරගෙන සෝදලා කපලා, ඒක එලුවා ලොකු කැන්ද කොළ දෙකක් උඩ. එලලා ඉස්සෙල්ලාම අතගෑවා ඒකෙ ගලේ අඹරපු කොච්චි, කෑලි මිරිස්, තුනපහ. අතගාලා විනාකිරිත් දාලා, ඒ එක්කම දැම්මා රම්පෙයි, හීනියට අඹරපු ලුණු, ගොරකා මිශ්‍රණයකුයි. දාලා ඒකත් අතගාලා.. ගැට්ට කැඩුණු මැටි ඇතිලියෙ හෙමින් සැරේ විසිරවලා.. කුරුම්බා ගෙඩි දෙකේ වෑවරත් හූරලා අරගෙන දාලා හොඳටම කලවම් කලා. 

කරලවම් කරලා ඉතින් අන්තිමටම තව කුරුම්බා ගෙඩි දෙකක වතුර දාලා දරලිපේ හින්දුවා කියන්නකො.

ඒ අතරට අපි, අඟුරෙන් වේලවපු කොරළි කූරි දෙකත් එක්ක අනිත් බාගෙත් අහවරයක් කරලයි තිබුනෙ. කොහොමහරි.. බත් හට්ටිය අරිනව විතරයි මතක. 

සුවඳක් ආවා.. හම්මෝ.. ඒ ජීවිතේ පළවෙනි පාර බතකින් එහෙම සුවඳක් ආපු.

ඊටත්.. කරවල? කන්දෙකෙන් දුම් දාන සැරට කිරෙන් හින්දලා.. හිතාගන්න පුලුවන්නේ..

වෙරි මතේ, බඩගින්නෙ.. දමලා ඇරියා කියන්නේ..

කෙලින්ම පහුවෙනිදා උදේ..

අලි ආවද, කොටි ආවද එකෙක් දන්නෙ නෑ, ඔ්ං..!

Leave a comment