Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for PMF Sidebar Banner General Artwork for Promotional Artwork

සුශාන්ත්ගේ මරණයත් එක්ක බොලිවුඩයට මේ වෙන්නෙ මොකද්ද?

විරෝධතා රැල්ලක්!

Posted by

පහුගිය 14 වෙනිදා වාර්තා වුණු ඉන්දීය නළු සුශාන්ත් සිං රාජ්පුත්ගේ සිය දිවි නසා ගැනීමත් එක්ක ඉන්දීය සිනමාව කැළඹුණු බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. හැබැයි ඉන් දවස් දෙක තුනකට පස්සේ මේ වෙද්දි ඇවිත් තියන ආරංචිවලින් පේන්නේ, ඒ කැළඹීමට එහා ගිය මහ සුළි කුණාටුවක් බොලිවුඩය හරහා හමා ගිහින් තියන බවයි.

සුශාන්ත්ගේ සිය දිවි නසා ගැනීමට හේතුව විශාදය බව හැම තැනින් ම කියවුණත්, මේ වෙද්දි මේක සිය දිවි නසා ගැනීමකට වඩා මිනීමැරුමක් කියලා ඉන්දියාවේ ආන්දෝලනයක් පැතිරෙනවා. මේ වෙද්දි ට්විටර් සහ අනෙකුත් සමාජ මාධ්‍ය හරහා #justiceforsushant නමින් විරෝධතා රැල්ලකුත් ඇරඹිලා. ඒකට හේතුව තමයි බොලිවුඩයෙන් සුශාන්ත්ට සිදු වුණු අසාධාරණකම් රැසක් ඔහුගේ මරණයෙන් පස්සේ කරළියට පැමිණීම. ප්‍රේක්ෂකයන් නොදැන හිටියට බොලිවුඩය ඇතුළේ ඉන්න අය මේ ගැන දැනගෙන ඉඳල තියනවා.

බොලිවුඩ් කියන්නේ ඥාති සංග්‍රහය බරට ම ක්‍රියාත්මක වෙන තැනක්. පරම්පරාවෙන් පරම්පරාවට සිනමාවට සම්බන්ධ වෙන පවුල් ගස් බොලිවුඩ්වල තියනවා. මේ පවුල් ගස්වලින් බිහි වෙන තරුවලින් සමහරු, වෘත්තීයමය වශයෙන් රංගන ශිල්පීන් ශිල්පිනියන් බවට පත් වෙන්න ඇත්තට ම කැප වෙනවා. ඒත් තවත් සමහරු සුපිරි තරු බවට පත් කරන්නේ, ඔවුන්ගේ පවුල් පසුබිම නිසා ඔවුන්ට විශේෂයෙන් ලැබෙන අවස්ථාවල් විතරමයි.

බොලිවුඩ්වල ගෝඩ් ෆාදර් කෙනෙක් වෙන ‘කේජෝ’ හෙවත් චිත්‍රපට අධ්‍යක්ෂ/ නිෂ්පාදක කරන් ජොහාර් සහ ඔහුගේ ධර්ම ප්‍රඩක්ෂන්ස් ආයතනය, මේ ඥාති සංග්‍රහයට වැඩි ම ඉඩ දෙන තැන විදිහට චෝදනාවට ලක් වෙනවා. ඒ අනුව දැන් සුශාන්ත්ගේ මරණයට කරන් ජොහාර් ඇතුළු පිරිසකට ඇඟිල්ල දිගු වෙලා තියනවා. ඒකට හේතු බොහොමයි.

මේ ආන්දෝලනය ඇරඹෙන්නේ කන්ගනා රනවුත්ගේ ප්‍රකාශයකින්. ඇය බොලිවුඩ්වල ඥාති සංග්‍රහයට විරුද්ධව හුඟක් කල් ඉඳන් ම විරෝධය පෑ කෙනෙක්. ඒ වගේ ම කමාල් ආර්. ඛාන් කියන ඉන්දීය සිනමා විචාරකයා ‘ධර්ම ප්‍රඩක්ෂන්ස්, යෂ්රාජ්, ටී සීරීස්, සජිඩ් නදියද්වාලා, දිනේෂ් විජන්, සල්මාන් ඛාන්, බලාජි වගේ දැවැන්තයින් හැමෝම සුශාන්ත්ව බොලිවුඩ්වලින් කපලා දාන්න කටයුතු සලසලා තියනවා’ කියලා පහුගිය පෙබරවාරි මාසේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරලා තියනවා. ඒ අනුව පේන්නේ සුශාන්ත්ගේ සිනමා ගමනට බොලිවුඩ්වල දැවැන්තයින් පිරිසක් වැටකඩොලු දාල තියන බවයි.

සුශාන්ත්ගේ විශාදයට තවත් හේතු තිබුණා වෙන්න පුළුවන් වුණත්, බොලිවුඩ්වලින් ඔහුට සිදු වෙමින් තිබුණු අසාධාරණකම් ගැන ඔහු සිත් තැවුලෙන් හිටි බවට ඔහු විසින් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලදි වගේ ම සමාජ මාධ්‍යවලදිත් යම් යම් ඉඟි දීලා තියනවා.

බොලිවුඩ්වල ප්‍රියසාද සම්භාෂණවල වැඩිය ඔහු පේන්න නැත්තේ ඇයි කියල ඉන්ටවීව් එකකදි ඇහුවම ඔහුගේ උත්තරේ වෙන්නේ ‘කවුරුත් මට ඉන්වයිට් කරන්නේ නෑනේ’ කියලා. ඒ වගේ ම ඔහු අන්තිමට කරපු ෆිල්ම් එක ගැන දාන ඉන්ස්ටග්‍රෑම් පෝස්ට් එකේ ඔහු කියනවා ‘ඔබ මේ ෆිල්ම් එක බැලුවොත් තමයි මට නැවත වැඩ ලැබෙන්නේ, මොකද මට බොලිවුඩ්වල ගෝඩ්ෆාදර් කෙනෙක් නෑ’ කියලා. හුඟක් සුපිරි තරු සුපිරි තරු වෙනකං තල්ලු කරගෙන අරගෙන එන්නේ බොලිවුඩ්වල ඉන්න ගෝඩ්ෆාදර්ස්ලා කියන එක කවුරු කවුරුත් දන්නා දෙයක්.

කොහොම වුණත් දැන් දැන් හෙළි වෙන මේ කරුණු නිසා #boycottkaranjohar වැනි විරෝධතා රැල්ලක් සමාජ මාධ්‍යවල පැතිර යනවා. මෙච්චර කල් ප්‍රසිද්ධ රහසක් වෙලා යට ගිහින් තිබුණු බොලිවුඩ් ඥාති සංග්‍රහය දැන් හැමෝම එළිපිට විරෝධය පාන මාතෘකාවක් වෙලා. මේ දවස්වල කරන් ජොහාර් ඇතුළු බොලිවුඩ් තරු බොහොමයකගේ සමාජ මාධ්‍යවලට වැටෙන කමෙන්ට්ස්වලින් එහෙම මේක හොඳට ම පේන්න තියනවා.

ඉතින් මේ තත්ත්වයත් එක්ක බොලිවුඩයේ තියෙන්නේ සෑහෙන කැළඹීමක්. කොහොම වුණත් මේ සිදුවීම් මාලාවෙන් පස්සේ ඉන්දීය සිනමාවේ තවදුරටත් කලින් තිබුණු ඥාති සංග්‍රහය නං පවත්වාගෙන යන්න බැරි තැනට වැඩ සිද්ධ වෙන බව පේන්න තියනවා.

See 1 Comment