Artwork for Astra Mayo top banner 1
Artwork for The Garden top banner
Artwork for TEA STALLS sbb 1 Artwork for providore.shop sbb 2

නැගෙනහිර වැල්ලේ.. කිමිදුම් මධ්‍යස්ථානයක අයිතිකරු වූ බෝට්ටු සහායක!

“අපි සිංහල අයියා... එල්ටීටීඊ එකයි, දේශපාලඥයොයි තමා…

Posted by

“අපි සිංහල අයියා... එල්ටීටීඊ එකයි, දේශපාලඥයොයි තමා අපිව දෙමළ කළේ. අපි ලංකාවෙ පරණ ම මිනිස්සු. අපි මූදු වැද්දොන්ගෙන් එන්නෙ...”

(නම් ගම් මනකල්පිතයි)

නිල්පාට රැළි, පෙණපිඬු පීරගෙන ඉස්සරහට ඇදෙන බෝට්ටුවේ ඉස්සරහ අයිනෙන් කකුල් දෙක දෙපැත්තට දාගත්ත තරුණයෙක්... වෙට්සූටයත් ඇඳගෙන හිටියෙ අපිත් එක්ක ඩයිවින්ග් බහින්න වෙන්න ඕන. හැබැයි උදේ ඉඳන් පැයක් හමාරක් තිස්සෙ බෝට්ටු තල්ලුකළා, ටැංකි පැටෙව්වා, ඩයිවින්ග් ගියර්ස් ඔක්කොමත් එකින් එක චෙක් කරකර බෝට්ටුවලට දැම්මා... ගජරාමෙට වැඩ ඒත් කතා නෑ... ඒ කරලා බෝට්ටුව පිටත්වුණත් හරි ඔය විදියට ඉස්සරහට වෙලා බීඩියක් පත්තු කරගෙන බෝට්ටු ඩ්‍රයිවර්ට අත දික්කරලා දිසාව පෙන්නනවා, එච්චරයි. 

මගේ මතකෙ හැටියට අපිට එදා මුහුදෙ පැයක විතර ගමනක් යන්න තිබ්බා, ඩයිවින්ග් සයිට් එකට කිට්ටු කරන්න. ඉතින්... මුල් විනාඩි 10-15 ම මේ තරුණයගෙන් හාවක් හූවක් නැති නිසා... ඊටත් අනිත් කවුරුත් එයත් එක්ක ලොකු කතාවකුත් නැති නිසා... මමම තීරණය කළා ඉස්සරහට යන්න. ගිහිල්ලා මොනවහරි කතාකරන්න. හැරත් එයාට එච්චර සිංහල බැරි පාටක් තිබ්බෙත් නෑ. මොකද උදේ වැඩ අතරෙ මට ඇහුණනෙ හරි ලස්සන සිංහල වචන කීපයක් හසුරවනවා...

ළා... හිනාවක්!

“උගුරක් බොනවා?”

“නෑ... දැන් එපා”

නිහැඬියාවක්...

“තව දුරද දේව්?”

“ඕ තව පැය බාගෙ වගේ තියෙනවා”

“දේව් මේ කීවෙනි පාරද රෙක් එකට බහින්නෙ?”

“අප්පා... ඒම මතක නෑ අයියා. කෝමත් 20ට වැඩි ඇති”

“එහෙමද? එතකොට දේව් හැමදාම ඩයිවින්ග් යනවද මේ හතරවටේ...?”

“ම්... හැමදාම කියන්නෙ අයියා මේ සීසන් කාලෙට එන හැමෝ එක්ක ම යනවා. කවුරුත් මගඅරින්නෑ. කියන ගාණට කෝමඅරි සෙට්කරලා යනවා. අපිට මෙහේ වැඩ තියෙන්නේ මාස 4 වගේ නෙ අයියා. ඉතින් ඒ කාලෙට හම්බකරගත්තොත් තමා. අනිත් කාලෙට සල්ලි නැති වුණොත් මාළු බෝට්ටු යනවා”

“හ්ම්... එහෙමද?... එතකොට කමල්ගෙ ද මේ ඩයිවින්ග් බඩු, බෝට්ටු ඔක්කොම. නැත්නම් කමල් තැනක වැඩ කරනවද?”

“ම්... නෑ අයියා. මට බොස් කෙනෙක් ඉටියා. එයා නැතිවුණා. එයාට මාළු බෝට්ටුත් තිබ්බා. ඉස්සර මං එයාගෙ මාළු බෝට්ටු හෙල්පර්. පස්සෙ මට හොදට පීනන්න පුළුවන් නිසා එයා ඩයිවින්ග් උගන්නන්න පටන්ගත්තා. ඒ අතරෙ තමයි එයා නැතිවුණා. දැං ඉතිං මං තමා මේ සේරම බලන්නේ.”

“ආ එහෙමෙද? එතකොට මේ ආදායමෙන් ගාණක් දේව් බොස්ගෙ පවුලට යවනවද?”

“නෑ අයියා. මම ආදායම ඔක්කොම යවනවා. පස්සෙ එයාලා, එයාලගෙ වියදම් අයින් කරලා මට ඉතිරි ඔක්කොම දෙනවා. හරි හොඳ මිනිස්සු. අපරාදෙ බොස්... තව ටිකක් ඉටියා නම් එයයි, මායි මේක ලොකු බිස්නස් එකක් කරනවා”

“එතකොට දේව් කොහොමද මෙහෙට සෙට්වුණේ?”

“අම්මෝ... අයියා. ඒක ලොකු කතාවක්නේ...”

“ඉතින් මට කොට කරලවත් කියන්න බෑද?”

“හා...

මගේ උපන්ගම මඩකලපු අයියා. කොටි කාලෙදි අපිට හරිම ප්‍රශ්න. අම්මා, තාත්තා, මල්ලි ඔක්කොම මඩකලපු අත ඇරලා මෙහේ ආවා. මේ තාත්තාගෙ ගම. ඒත් මට එන්න පුළුවන් වුණේ පස්සෙ.... 

ඉතින් ඒම ඇවි...”

“හෝ හෝ... ඒ මොකෝ දේව් පස්සෙ ආවෙ?”

“ම්... මට ඒක කියන්න කැමති නෑ අයියා. මාව කොටි ඉස්සුවා කියල විතර කියන්නම්කො…

කෝමහරි ඒම ඇවිත් තාත්තා මාළු රස්සාවට ගියා. මල්ලි ඉස්කෝලෙ. යුද්දෙ ඉවරවෙලා මම මේට ආවට පස්සෙ මට මුකුත් කරන්න දන්නෙ නෑ. ඉතින් ඉස්සෙල්ලාම තාත්තා එක්ක මූදු ගියා. ඒ යද්දි මට හොදට මාළු වැඩ පුළුවන් වුණා. ඒ අතරෙ තමයි තාත්තා මූදු යන්නෙ නැති දවස්වලට බොස්ගෙ බෝට්ටුවල ගෝලයට යන්න පටන් ගත්තෙ. මගේ වැඩ හොද නිසා කාලෙ යද්දි මම බෝට්ටුවෙ ලොක්කා...”

“එතකොට දේව්ට හොඳට ඉංග්‍රීසි එහෙමත් පුළුවන්නෙ. කොහෙන්ද ඒවා ඉගෙන ගත්තෙ?”

“පොඩිකාලෙ ඉස්කෝලෙ ගියානෙ අයියා... මට හොදට ඉගෙන ගන්න පුළුවන්. මට තාමත් ආසා ඉගෙන ගන්න. ඒත් දැන් සල්ලි නෑනේ... කෝම හරි යුද්දෙ කාලෙ මට ටික ටික ඕවා ඉගෙන ගන්න චාන්ස් ආවා… ඒම තමා මම ඉංග්‍රීසි, ගණන් ඔක්කොම ඉගෙන ගත්තේ... ආය මේ ඩයිවින්ග් පටන් ගත්තට පස්සේ මට ඔක්කොම, ටික ටික ඉගෙන ගන්න පුළුවන්වුණා. දැං ඉතින්... සුද්දොත් එක්ක වුණත් හොදටම බැලන්ස් කරනවා.

මම තමා අයියා දැං මේ ඩයිවින්ග් ඒකේ ඔක්කොම මැනේජ් කරගෙන යන්නෙ. අකවුන්ට්, ස්ටොක්... ඔක්කොම මම තමා”

“එතකොට දැං දේව්ගෙ වයස?”

“විසි අටයි අයියා. ඒම කියල හැබැයි දුක නෑ. කෙල්ල හිටියා දෙන්නෙක්. මූදු රස්සාව නිසා එයාලා ගියා. දැන් මට හොදයි. හැබැයි එයාලා නෑ… ඒම තමා නේ...”

“අයියෝ දේව්... ඕවා නම් මොනවද. දේව් දැන් බලලා සුද්දියෙක් ම බදින්න ඉතින්?”

“අපෝ නෑ අයියා. අපේ ගම් හරිම දුප්පත්. මම කෙල්ලෙක් ගන්නවා නම් මේ ගමේ දුප්පත් කෙලේලෙක් ම තමා. මට ඒ ඇති. අපේ ගම් අවුරුදු ගාණක් විනාස වුණානේ. දැන් මේවා ඔක්කොම හදන්න ඕන. මගේ ගම බෙටිකලෝ උනාට දැන් මෙහෙනේ... ඉතින් කවදා හරි මේ ගම හදන එක තමා මගේ හීනේ....”

…...

කතාව ඊටත්...

අපි ඩයිවින්ග් බැහැලා ඇවිල්ලත්...

රෑ වෙලා ගහපු ගිනිමැලේ වටේ බීර බෝතල් හිස්වෙද්දිත්…

එච්චර කියන්න බෑ දිග වැඩියි. කොහොමහරි මම අන්තිමට කල්පනා කළේ, මනුස්සයෙක්ගෙ ජීවිතේ අවුරුදු 18ක්ම අහිමිවෙලත් ලබන්න පුළුවන් සාර්ථකත්වය. ඒකත් මුකුත්ම නැතුව, මුල ඉඳන් ම…!

See 1 Comment