Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

ජීවිත සිනමාවෙන් සමුගත් ධර්මසේන පතිරාජ මහතාණනි, ඔබට සුබ ගමන්!

තමන්ගේ අවුරුදු 74ක ජීවන කාලයෙන්, අවුරුදු 50කට…

Posted by

ලංකාවේ සිනමා කලාව තරම් විවේචනයට ලක් වුණු තවත් කර්මාන්තයක් නැති තරම්. මොකද සම්භාව්‍ය ගණයේ හොඳ චිත්‍රපට බිහිවෙන අතරේ, අධ්‍යක්ෂණය ගැන කිසිම අවබෝධයක් නැතුව, සිනමා රංගනය ගැන මේ ලෝකේ දහමක් නොදැන, ලාබ ඉපයීමේ බලාපොරොත්තුවෙන් හදපු සිනමාපට බොහොමයක් අපේ සිනමාව ඇතුළේ තියෙනවා. චිත්‍රපට කර්මාන්තයේ පරිහානිය සිද්ධ වෙන්නේ ඒ වගේ නිර්මාණවලින් ය කියන එක ප්‍රේක්ෂකයන් ඇතුළු සිනමාවේ දැවැන්තයෝ හුඟක් දෙනා විශ්වාස කරන දෙයක්.

හැබැයි ඒ කතා කොහොම වුණත්, 70 දශකය කියන්නේ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය කියන කාරණයට නම් ඔය කොයි කවුරුත් එකඟ වෙනවා. මොකද ඒ තරම් සිනමා පෙරළියක් සිද්ධවුණු වකවානුවක් අපට මෑතකදීවත් මුණගැහිලා නැහැ. අන්න ඒ සිනමා කැරැල්ලේ පුරෝගාමියෙක් තමයි ධර්මසේන පතිරාජ මහත්මයා.

ධර්මසේන පතිරාජ හෙවත් “පතී”, ලංකාවේ ප්‍රේක්ෂකයන්ට තිළිණ කරපු සිනමාපට, ටෙලිනාට්‍ය බොහොමයි. එදා වගේ ම, අදටත් හෙටටත් රස විඳින්න පුළුවන් විදියේ නිර්මාණ බිහි කරපු ඔහු, අවාසනාවකට වගේ තමන්ගේ ජීවිත සිනමාවෙන් සමුගත්තා. ඒ හරියට ම පහුගිය ජනවාරි 28 වෙනිදා. ලංකාවේ සිනමාවට මහඟු මෙහෙවරක් කරපු ඔහු ගැන, කෙටියෙන් හෝ සටහනක් තියන්න අපි කල්පනා කළේ ඒ නිසයි.

ධර්මසේන පතිරාජ නම් ගැටවරයා

Image Source : sundaytimes.lk

1943 මාර්තු 28වෙනිදා නුවර උපන් ධර්මසේන පතිරාජ, තමන්ගේ මූලික අධ්‍යාපනය හැදෑරුවේ නුවර ධර්මරාජ විද්‍යාලයෙන්. ඔහු පාසල් යන කාලයේදී ම වාමාංශික දේශපාලනයට නැඹුරුවක් දක්වන්න පටන්ගත්තේ, තමන්ගේ සහෝදරයා ළඟ තිබුණු පොත පත කියැවීමෙනුයි. 1963 දී ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙද්දීත් ට්‍රොස්කිවාදියෙක්.

කුඩා කල ඉඳල ම සාහිත්‍යයට, කලාවට ආදරය කරපු නිසා ම සිංහල සහ බටහිර සම්භාව්‍ය සංස්කෘතිය සම්බන්ධ ගෞරව උපාධියක් හදාරන්න ඔහු තීරණය කළා. ඒත් වාමාංශික දේශපාලනය ගැන තිබුණු අදහස් උදහස් ඔහුගේ හිතෙන් අයින් වුණේ නැහැ. දේශපාලනය ගැන තමන්ගේ දැනුම ඔහු දියුණු කරගත්තේ ආචාර්ය එන්. එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ආචාර්ය ඔස්මන්ඩ් ජයරත්න,ඩොරික් සූසා වගේ දේශපාලන විද්වතුන්ගේ ඇසුරින්.

අද කලා ක්ෂේත්‍රයේ බලවතුන් වුණු අමරසිරි කලංසූරිය, දයා තෙන්නකෝන් වගේ අයත් එක්ක එක පන්තියේ ඉගෙන ගත්තත්, ධර්මසේන පතිරාජට චිත්‍රපට නිර්මාණය පිළිබඳ ලොකු ආසාවක් තිබිලා නැහැ. හැබැයි දෙස් විදෙස් සිනමාව ගැන වැඩිදුර අධ්‍යනයක යෙදෙන්න ඔහුව පෙළඹුවේ නුවර වෙම්බ්ලි සිනමාහලේ ප්‍රදර්ශනය වුණු සරදියෙල් සිනමාපටයයි. ඒ නැඹුරුව පසු කාලීනව ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් සිනමා අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගැනීමටත් ඔහුව පෙළඹවූවා. බෙංගාල සිනමා කලාව ගැන ගැඹුරින් ඉගෙනගන්න ඔහුට පුළුවන් වුණේ ඒ නිසයි.

ධර්මසේන පතිරාජ නම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා

ධර්මසේන මහත්මයා සිනමා වෘත්තියට අත්පොත් තිබ්බේ සරසවියේ සිසුවෙක් වෙලා ඉන්න කාලෙදීමයි. ඒ සුගතපාල සෙනරත් යාපාගේ 'හන්තානේ කතාව' චිත්‍රපටයට තිර රචනයෙන් දායක වෙන්න ඔහුට ලැබුණු අවස්ථාවත් එක්ක.

ඔහුගේ පළමුවෙනි සිනමා නිර්මාණය වුණේ 1969 අවුරුද්දේ තිරගත වුණු ‘සතුරෝ’ නම් කෙටි චිත්‍රපටයයි. විශ්ව විද්‍යාල ජීවිතයෙන් පස්සේ, රැකියා විරහිත තරුණයක් විදියට ඔහු මුහුණ දුන්නු දුෂ්කරතා සහ අභියෝග මෙහි කතාවට පාදක වුණා. ඒත් ධර්මසේන පතිරාජ කියන නම් මුළු රටක් ම හඳුනාගත්තේ 1974දී ඔහු නිර්මාණය කරපු ‘අහස් ගව්ව’ සිනමාපටයෙනුයි.

නගරයේ ජීවත්වෙන දුප්පත්, රැකියා විරහිත තරුණයින් ගැන කතා කරන චිත්‍රපට බොහොමයක් තිබුණත්, මධ්‍ය පාන්තික නාගරිකයන්ගේ ගැටලු ගැන කියවෙන කිසිම නිර්මාණයක් ඒ වෙද්දී බිහිවෙලා තිබුණේ නැහැ. ඒ නිසා ම ධර්මසේනයන්ගේ අහස් ගව්ව සිනමාපටය සමාජය ඇතුළේ ලොකු කැරැල්ලක් ඇති කරන්න සමත් වුණා. ඒ ජවයෙන් ඔහු ලද පන්නරය, ‘එයා දැන් ලොකු ළමයෙක්’, ‘බඹරු ඇවිත්’, ‘පාර දිගේ, ‘සොල්දාදු උන්නැහේ’ වගේ සාර්ථක නිර්මාණවලටත් හේතු වුණු බව නොරහසක්.

බඹරු ඇවිත් සිනමාපටය ගැන මෙතැනදී විශේෂ සටහනක් තැබිය යුතුමයි. ධීවර ගම්මානයක සිද්ධ වෙන සිදුවීම් සමූදායක් ඔස්සේ අපේ එක් එක් සමාජ තලවල ඉන්න මිනිස්සුන්ගේ සිතුම් පැතුම්, ඔවුන් මුහුණ දෙන අභියෝග සහ දේශපාලනමය කාරණා ඒ සමාජ මට්ටම්වලට බලාපාන විදිය මනාව පෙන්නුම් කරපු චිත්‍රපටයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම, සිරිල් වික්‍රමගේ වගේ නළු නිළියන්ගේ රංගනය සහ, ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයෙන් හැඩ වුණු බඹරු ඇවිත් සිනමාපටය, එදා මෙදා තුර ධර්මසේනයන් බිහි කරපු විශිෂ්ට ම නිර්මාණය විදියටත් සැලකෙනවා.

පාර දිගේ චිත්‍රපටයෙන් කියැවෙන්නේ නාගරික සමාජයෙන් කොන්වුණු, ඒ නිසා අසම්මත හැසිරීම් පෙන්නුම් කරපු තරුණ පරම්පරාවේ කතාවයි. දේශපාලන සංකල්ප සහ මිනිස්සුන්ගේ උවමනා එපාකම් අතරේ තියෙන දුරස්ථ බව සහ ගැටුම සොල්දාදු උන්නැහේ සිනමාපටයෙන් කියවුණා. සීනිබෝල ෆැන්ටසි කතා වෙනුවට, කාලීන වශයෙන් මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්න සහ අභියෝග ගැන කතා කරන්න ධර්මසේනයන්ගේ නිර්මාණවලට තිබුණේ අරුම පුදුම හැකියාවක්. ඒ ගති ලක්ෂණය 2000න් පස්සේ ඔහු බිහි කරපු ‘මතුයම් දවස’, ‘සක්කාරං’, ‘ස්වරූප’ වගේ සිනමාපටවලිනුත් අපට දැකගන්න ලැබුණා.

ඒ වගේ අග්‍රගණ්‍ය සිනමා ගොන්නකට එකතු වෙන්න හැකියාව තිබුණු ‘සිර කඳවුර’ චිත්‍රපටය ගැනත් මෙතැනදී සිහිපත් කළ යුතුයි. 80 දශකයේදී නිර්මාණය වුණු මේ සිනමා කෘතියේ බොහොමයක් දර්ශන රූපගත වුණේ පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේදීයි. ඉන්පස්සේ ඒකෙ වැඩ ඉවර කිරීමේ බලාපොරොත්තුවෙන් විජය චිත්‍රාගාරයට අරගෙන ගියා. 1983දී ඇති වුණු කළු ජූලියේ කලබලවල ප්‍රතිඵලයක් විදියට මේ චිත්‍රාගාරය ගිනි තබනු ලැබුවේ සිංහල අන්තවාදීන් විසින්. විජය චිත්‍රාගාරය ද්‍රවිඩ පුද්ගලයෙක්ට අයත් වුණු දේපළක් වීම ඒකට හේතුවයි.

Image Source : rivira.lk

දමිළ පුද්ගලයෙක් ට අයිති වුණත්, මේ චිත්‍රාගාරයේ පටිගත වුණේ සිංහල චිත්‍රපට විතරයි. ප්‍රේමසිරි කේමදාස මහත්මයාගේ සංගීතයෙන්, ජෝ අබේවික්‍රම, ගීතා කුමාරසිංහ, යූ. ආරියවිමල්, උපාලි අත්තනායක වගේ නළු නිළියන්ගේ රංගනයෙන් හැඩ වුණු, අවුරුදු දෙකක් තිස්සේ රූපගත කළ සිර කඳවුර සිනමාපටය වෙනුවෙන් වූ මහන්සිය එක ගිනි කූරකින් පුලුස්සලා දාන්න තරම් කළු ජූලිය කුරිරු වුණා. කාලයක් තිස්සේ අප‍ට රස විඳින්න පුළුවන් විදියේ ධර්මසේනයන්ගේ නිර්මාණයක් අපට අහිමි වුණේ ඒ විදියට.

ධර්මසේන පතිරාජ නම් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයා

ධර්මසේන පතිරාජ මහත්මයාගේ කලා හැකියාවන් සිනමාවට විතරක් සීමා වුණේ නැහැ. ඔහු අධ්‍යක්ෂණය කරපු ‘කඩුල්ල’, ‘ගඟුලෙන් එගොඩට’, ‘මායා මන්දිර’, ‘ඇල්ල ළඟ වලව්ව’, ‘සුබ අනාගතයක්’, ‘නාඳුනන පුත්තු’, ‘දුර්ගාන්තය’ වගේ ටෙලිනාට්‍ය, ලාංකීය පුංචි තිරයට නව ආරක් දෙන්න සමත් වුණා. ඒ හැරුණා ම වාර්තා චිත්‍රපටි, රූපවාහිනී වාර්තා වැඩසටහන් කීපයකිනුත් ඔහුගේ දස්කම් අපට දැකගන්න ලැබුණා.

තමන්ගේ අවුරුදු 74ක ජීවන කාලයෙන්, අවුරුදු 50කට කිට්ටු කාලයක් සිනමාව සහ පුංචි තිරයට කැප කරපු ඔහු, ඔහුට ම ආවේණික ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කරගන්න තරම් සමත් වුණා. සොල්දාදුවා, විජේ, කුණු ට්‍රැක්ටරේ මහතුන්, කාර් පන්නන චන්දරේ, ඇන්ටනි මුදලාලි, හෙලන්, සහ විලී මහත්තයා වගේ චරිත ඔස්සේ අපේ මතකයට අමරණීය සැමරුම් ගොන්නක් එකතු කළ අද්විතීය සිනමා නිර්මාපකයාණනි, ඔබට සුබ ගමන්!

කවරයේ පින්තූරය : newsfirst.lk
Leave a comment
Last 7 Days

Trending Today