Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

Evolution of Sinhala, Tamil New Year

''හිරු දෙවියන්ගේ නෑයෝ සඳ දෙවියන්ගේ …

Posted by

''හිරු දෙවියන්ගේ           නෑයෝ

  සඳ දෙවියන්ගේ            නෑයෝ

  ආදි අපේ මුතු             මිත්තෝ

  ඉරෙන් හඳෙන් වැඩ     ගත්තෝ''

ජන කවි අපට කියාවි. අපද එය අසාවි. නමුදු සැබවින්ම එය එසේද? කිසිවෙකු නොසොයාවි.

පෘථිවි ජීවය හටගත්තේද, පවතින්නේද, වියැකෙන්නේද සූර්යයා නිසා යන්න ඔබ අප හොඳින් දන්නා කරුණකි. නමුදු අවාසනාවකට මෙන් අද පෘථිවි වාසීන්ගේ‍ මතකයෙන් එය ගිලිහී ගොස් ඇත. මිත්‍යා දෘෂ්ඨික වන්දනාවන්හි නියැළෙමින් බොහෝමයක් පෘතුවි වාසීහු තම විභවය අමතක කොට ඇති මෙවන් යුගයක ලක්වාසීන් වන අප දැන හෝ නොදැන නිසි කල සූර්ය උළෙලක යෙදීම නම් සැබවින්ම අරුමයකි.

අළුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍රයන්, සිරිත් විරිත් ඉටු කිරීමට මත්තෙන් මෙම උළෙල කුමක්ද යන්න ඔබ මදක් සිතුවාද ? එසේ නම් ඉරෙන් හඳෙන් වැඩ ගත් හෙළ මුතුන් මිත්තන්ගෙන් අපට දායාද වූ බක් මහ උළෙල පිළිබඳ තතු බිඳක් පවසන්ට YAMU අපට අවසර !

නූතන ශිෂ්ඨාචාරයන්හි වසර පන්දහසකටත් පෙර වූ ඉතිහාසයක පවා සූර්ය වන්දනාව සිදුව ඇති බවට සාක්ෂි සාධකයන් ගෙන එනුයේ මොහොන්දෝජාරෝ හරප්පාවයි. තම පැවැත්මට උපකාර වන බොහෝ දෑ දේවත්වයෙන් සලකපු මෙගලිතික වාසීන්ගෙන් එලෙස පැවත ආ ස්වභාවික වස්තු වන්දනාමාන කිරීම් අතුරින් සූර්ය වන්දනාව මුල් තැන ගන්නා බවට සැක නැත. සමකාසන්න ජනාවාසයන්හි මෙලෙසින් බිහි වූ සූර්ය වන්දනාව බුද්ධ පූර්ව යුගයනට පවා නෑකම් කියන බැව් පැරණි පුස්කොල පොත් කිහිපයකින්ද හෙළිදරව්වේ.

යක්ෂ, නාග, දේව, ගන්ධබ්බ ආදී වශයෙන් වූ සිව් මහා හෙළයින්, සූර්යය වන්දනාවෙහි ආභාෂය ලබනුයේ එවකට ලංකාපුරයෙහි විසූ ප්‍රබලතම මුනිවරයකු වූ 'පුලස්ති මුනි' විසින් ප්‍රත්‍යක්ෂයෙන් පවසනන ලද සූර්යයා මීන රාශියෙහි සිට මේෂ රාශියට සංක්‍රමණය වන උච්ච අවස්ථාව හේතුකොට ගෙන බැව් 'සූර්ය නමස්කාර' පුස්කොළ ග්‍රන්ථයෙහි සඳහන් වේ. ඒ ආභාෂයෙන් විත් 'විභීෂණ රජ' සමය තුල ලක්දිව දකුණු දිග වෙරළ තීරයේ 'කතළු ග්‍රාමයේදී කතළු කුමරුගේ' ප්‍රධානත්වයෙන් සිව් හෙළයින් එක්ව පැවත් වූ සූර්ය සංක්‍රාන්ති උළෙලක් පිළිබඳවත් 'පොර පොල්' ගැසීමේ චාරිත්‍රයක් පිළිබඳවත් 'රචුක නිඝණ්ඩු' නම් පුස්කොළ ග්‍රන්ථය තව දුරටත් කියාපායි.

රාවණ රජ සමයේදී, එවකට පුලතිසි පුර නමින් හැඳින්වූ වර්තමාන පොළොන්නරුවට ආසන්න ප්‍රදේශයක් වන 'දෝල පබ්බතයෙහි' පැවති සූර්ය සංක්‍රාන්ති උළෙලක් පිළිබඳ තොරතුරුත් වසර හාරදහස් පන්සියයක ඉතිහාසයක් කියාපාන ඊජිප්තුවරුන්ගේ 'රා' ‍හෙවත් සූර්ය දෙවියන් පිදීමේ චාරිත්‍රයෙන් රාවණ රජුගේ බල පරාක්‍රම විහිදුම පිළිබඳ තොරතුරුත් ඉතිහාසඥ 'නීල් කිරිඇල්ල' මහතා 'ලංකා' වෙබ් අඩවියට ලියූ 'Sinhala and Tamil New Year in Sri Lanka' ලිපියෙහි සඳහන්ව ඇත.

මේෂ රාශියෙන් ඇරඹෙන සූර්ය සංචාරය වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර කුම්භ රාශි පසු කරමින් මීන රාශියට එළඹීමෙන් අනතුරුව යළිත් මේෂ රාශියට සංක්‍රමණය වීම ඇරඹෙන මාර්තු මස අග භාගයේදී සාරවත් කෙත් අස්වනු නෙළීම හමාර කළ ගොවි ජනයා ඒ ප්‍රීතිය නිමිත්තෙන් සූර්ය සංක්‍රාන්ති උළෙල වටා එක් රොක් වීමට හුරු වීම වර්තමාන බක් මහ උළෙල සැමරීමෙහි ආරම්භය ලෙස හැඳින්විය හැකිය. මෙලෙසින් ඇරඹි හෙළ බක් මහ උළෙල සිංහල, දෙමළ බක් මහ උළෙල බවට පරිවර්තනය වනුයේ කාලිංඝ, මාඝ ද්‍රවිඪ පාළන සමයන්හිදී ඉන්දියානු බක් මහ උළෙලෙහි සංස්කෘතිකාංග බලහත් කාරයෙන් හෙළ බක් මහ උළෙලට මුහුම් කල නිසාවෙන් බැව් මතයක්ද ජනතාව තුල පවතී.

ඒ කෙසේ වුවද බක් මහ උළෙල පැවැත්වූ දිනයන් පිළිබඳ ආන්දෝලනාත්මක කාරණාවක් ඉස්මතු වනුයේ නුවර යුගයේදී බක් මහ උළෙල පැවත්වූ දිනයන් පිළිබඳව 'රොබට් නොක්ස්' ගේ 'එදා හෙළදිව' කෘතිය හෙළිදරව් කරන තොරතුරු නිසාවෙනි. ඒ අනුව ගත් කල 'දෙවැනි රාජසිංහ' රජ සමයෙහි උඩරට රාජධානිය බක් මහ උළෙල පවත්වා ඇත්තේ මාර්තු මස 26, 28 හෝ 29 යන තෙදිනෙන් එක් දිනකදීය. මෙම කාරණාව මුල් කොට ගනිමින් වර්තමාන ලෝකයේ විවිධ රටවල් තුල සූර්යය සංක්‍රාන්ති උළෙල සමරනු ලබන දිනයන් පිළිබඳව තතු ගොනු කල හැක.

මෙරට සූර්ය සංක්‍රාන්ති උළෙලට ලඟින්ම නෑකම් කියන වෙනත් සූර්ය සංක්‍රාන්ති උළෙලක් පැවැත්වෙනුයේ නම් ඒ කාශ්මීරයේ පමණි. නමුදු එම උළෙල බක් මස මුල් සතියේ දිනයක පැවැත්වීමත් එය නුවර යුගයේ බක් මහ උළෙල පැවැත්වූ දිනයනට ආසන්න වීමත් වර්තමාන බක් මහ උළෙල පැවැත්වෙන දින පිළිබඳව සැක මතු කරන කරුණකි. කාශ්මීර සූර්ය සංක්‍රාන්ති උළෙල හැරණු කොට තායිලන්ත, බෙංගාලි, කාම්බෝජ, ලාඕස අළුත් අවුරුදු උත්සවයනුත් මියන්මාරයේ තිංග්යන් සහ ඉන්දියාවේ ඔරියා අළුත් අවුරුදු උත්සවත් ලාංකීය බක් මහ උළෙල සමඟ තරමක සමීප සබඳතා පවත්වනු ඇත.

වර්තමානයේදී මෙරට පැවැත්වෙන බක් මහ උළෙල නම් සැබවින්ම අළුත් අවුරුදු උත්සවයක් පමණක් බවට පරිවර්තනය වී ඇත. මන්ද යත් නූතන වාණිජමය සමාජ රටාව, කෘෂිකාර්මික සමාජ රටාව සමග මුහුම් වීම නිසාවෙන් සූර්ය වන්දනා චාරිත්‍ර වාරිත්‍ර, කෙළි සෙල්ලම්, ජය ස්ත්‍රෝත සහ නර්තනයන් වර්තමාන බක් මහ උළෙලෙන් බොහෝ දුරට බැහැරව ගොස් ඇති නිසාවෙනි. තවද එකල බක් මහ උළෙලෙහි තේමාවන් වූ තම අස්වැන්න මනාව කළමණාකරණය කර ගැනීමත්, ඉතිරිය අපතේ නොයවා නැති බැරි වුනට ලබා දීමත්, අස්වැන්න ලබාදීමේ ගරුත්වය සූර්යයා ඇතුළු ස්වභාවධර්මයට පුද කිරීමත් වෙනුවට වාණිජමය ආභාෂය නිසාවෙන් වර්තමාන අළුත් අවුරුදු උත්සවයට ලැබී ඇති තේමාව හමුවේ තමන් වසරක් පුරා ඉපයූ අස්වැන්න සති කිහිපයක් තුලදී අනර්ථවත් ක්‍රියා රාශියක් හමුවේ විනාශ කර දැමීම නම් සැබවින්ම සිනහ උපදවන කරුණකි.

සුද්දන් කළු වීමට උත්සාහ කරන, කළු මිනිසුන්ගේ සම්ප්‍රදායනට මුහුම් වීමට උත්සාහ කරන, කල්ලන්ගේ ශිෂ්ඨාචාරයනට නෑකම් කියන්න උත්සාහ කරන, මෙවන් යුගයක අප සතු පෞඪ උරුමය අමතක කොට දමා අප සුද්දන් වීමට උත්සාහ කිරීම කෙතරම් දුරට නුවණැතිද යන්න ලබන්නාවූ අළුත් අවුරුද්දෙහි හෝ මෙනෙහි කිරීම නම් අතිශයින්ම මැනවි.

See 1 Comment
Last 7 Days

Trending Today