Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

Face art of Pulastya Rishi (Ella)

ඒ අමනා කි‍්‍රයාවෙන් තැන් තැන් හි විසිරුණු…

Posted by

පිහිටීම

ඇල්ල නගරය පසු කරමින් වැල්ලවාය දෙසට කිලෝ මීටර 2ක පමණ දුරක් ගිය තැන්හි ඔබට 16කණුව මං සන්ධිය නැතිනම් රාවණා ගුහාවේ පිවිසුම් මාර්ගය මුණ ගැසේ. (රාවණා ගුහාව පිළිබඳව බොහෝමයක් කරුණු පසු ගිය ලිපියක මා ඔබ හට ගෙන හැර පෑ අතර තවත් ආනාවරණ රාශියක් නුදුරු දිනයකදී බලාපොරොත්තුවන්න). එතැන් සිට කිලෝමීටර එක හමාරක් පමණ දුරින් ඇල්ල - වැල්ලවාය මාර්ගයෙහි ඇති ප්‍රධාන S වංගුව පිහිටා ඇත. එම වංගුවෙහි දකුණු පසින් වනුයේ විසල් ගල් ගුලකි. වම් පසින් ඇල්ල කපොල්ලය. අවාසනාවට ඊට යාබදව නාමික බස් නැවතුම්පලක් නොමැත. නමුත් ප‍්‍රදේශ වාසීන්ගෙන් හෝ බස් රථ සේවකයින්ගෙන් 'බහිරව රූපය නැතිනම් මූණක් කොටල තියෙන කන්ද, ගල' කොතනදැයි විමසීමෙන් පහසුවෙන්ම එම ස්ථානය සොයාගත හැකිවනු ඇත.

එම S වංගුවෙහි පළවෙනි නැම්මත් සමඟ මාර්ගයෙන් දකුණු පස, භූමි තලයට ලම්භකව පාහේ පිහිටා ඇති ගල් කුලෙහි දකුණු පසට වන්නට භූමි මට්ටමේ සිට අඩි 20කට අධික උසක මෙම කැටයම දක්නට ලැබේ. ප‍්‍රථම වතාවට නිරීක්ෂණය කරන්නෙකු හට එක් වරම එය හඳුනා ගැනීමට තරමක් අපහසු වුවද මිනිස් හිසෙහි ඇති ඔටුන්නක හැඩය ගත් හිස් වැසුම, ඊට මදක් පහලින් ඇති ඇහි බැම සහිත නෙත් යුගල සහ ඝන, පළල් උඩු රැවුල නිරීක්ෂණය කිරීම එය හඳුනා ගැනීමට රුකුලක් වනු ඇත.

ස්වභාවය

උස අඩි 2කට ආසන්න සහ පළල අඩියකට අධික ප‍්‍රමාණයකින් යුත් මෙම රූපය වර්ණ දෙකකින් හෙබි වන නමුදු එය මුළුමනින්ම ගල් කුලෙහි ඇඳි චිත‍්‍රයක් නොවන බැව් මා හට වැටහිණි. මන්ද යත් කැටයමට අඩි දහයකට පමණ මෙපිටින් හිඳ බැලූ කල්හි දක්නට ලැබුණු, රූපයෙහි වූ කැටයම් සලකුණු නිසාවෙනි. තවද නිරන්තර පාරිසරීය විපර්යාසයන් හේතු කොට ගෙන මෙම කැටයම් සලකුණු බොහෝ දුරට ක්ෂය වී ගොස් ඇති බවටද මා නිගමනය කරනුයේ ඒවායේ දක්නට ලැබුණු අධික සුමට භාවය නිසාවෙනි.

ඔටුන්න, ඇහි බැම සහ පළල් උඩු රැවුල තද කාල වර්ණයෙන්ද මුහුණෙහි අනෙක් ප‍්‍රදේශ ලා අළු - දුඹුරු වර්ණයන්ගෙන්ද යුක්ත වන අයුරින් නිමවා ඇති මෙම රූපයෙහි වර්ණනය පිළිබඳ මා සතු නිගමන දෙකකි. කැටයමෙන් පසුව නිර්මාණකරුවා විසින් නොයෙක විද ස්වභාවික වර්ණ උපයෝගී කර ගනිමින් ඊට ජීවය දුන්නා විය හැකිය. නමුදු මාගේ ප‍්‍රධාන නිගමනය වනුයේ විවිධ වර්ණයන්ගෙන් යුත් ශෛල ස්තරයන්ගෙන් හෙබි ගල් කුලෙහි කැටයම් කරුවා විසින් රූපයෙහි ඒ ඒ ස්ථාන සඳහා තමන්ට අවශ්‍ය වන වර්ණයන් මතු කර ගැනීමට කැටයමෙහි ගැඹුර සීරු මාරු කරන්නට ඇති බවය.

ඉතිහාසය

පුරා වෘත්තය දිග හැරෙනුයේ මෙතැන් සිටය. මාගේ ප‍්‍රධාන නිගමනයට පාදක වූ හේතුන් කිහිපයකි. ජනප‍්‍රවාදයෙහි සඳහන් වන සහ නොයෙක් විධ විද්වතුන්ගේ මතය පරිදි මෙම රූපය පුලස්ති මුණි නම් වූ සෘෂිවරයාගේ වෙයි. පුලස්ති මුණි නම් වූ කලී මහා බ‍්‍රහ්මයාගේ ශ්‍රේෂ්ඨ පුත‍්‍ර රත්නය බැව් ඉන්දීය ලේඛක වාල්මිකි විසින් රචිත රාමායනයෙහි පවා සඳහන්ව ඇත.

ප‍්‍රථමයෙන් මා හෙළ වෙදකම පිළිබඳව යමක් පවසන්නෙමි. ආයුර්වේද වෙදකම යනු හෙළ වෙද කම නොවේ. එය හෙළ වෙදකමෙන් ඛණ්ඩනය වූවකි. ආයුර්වේද වෙදකම ලංකාවට පැමිණෙනුයේ විජයගේ ආගමනයෙනුත් පසුවය. ගෞතම බුදුන් වහන්සේට පවා ප‍්‍රතිකාර කළ ජීවක වෛද්‍ය තෙමේ ශ්‍රේෂ්ඨ ආයුර්වේද වරයෙකි. නමුදු මිට වසර 6000කටත් පෙර සිට පැවත ආ ඉතා දියුණු වෛද්‍ය ක‍්‍රමයක් ලංකා පුරයෙහි තිබී ඇත. හෙළ වෙදකම වනුයේ එයයි.

ඡායාරූපය: වත්සලා කරුණානායක

ඒ ඒ කාරණාවන් ඔස්සේ සොයා බැලූ කල්හි ගෞතම බුදු සමිඳුන්ගේ පා පහස ලැබීමටත් පෙර සිටම සිරිලක තුල පැවත ආ හෙළ සංස්කෘතියෙහි භාවිතා වූ දියුණු තාක්ෂණික ක‍්‍රම වේදයන් පිළිබඳව තතු හෙළි කරන පෞරාණික සෙල් ලිපි සහ පොත් පත්, අපගේ හෙළ වෙදකම පිළිබඳවද මේ වන විට බොහෝමයක් තතු හෙළි කර හමාරය. තවද පරාක‍්‍රමබාහු රජතුමාගේ යැයි වැරදි ලෙස හඳුන්වමින් පැවති, පුස්කොළ පොතක් දෑතින් ගත් උස් තොප්පියක් පැළඳි පොළොන්නරුවේ පොත් ගුල් විහාරයෙහි ඇති ශෛල ප‍්‍රතිමාව පුලතිසි සෘෂිවරයාගේ බවට අද පුරා විද්‍යාඥයින් පවා පිළිගෙන ඇත.

මීට වසර 4000කට පමණ පෙරවූ ඉතිහාසයක ලිය වුණා යැයි සැලකෙන අර්ක ප‍්‍රකාශ ග‍්‍රන්ථය හෙළ වෙදකමෙහි ඉතිහාසයට සාක්ෂි දරයි. මෙම ග්‍රන්ථය හරහා හෙළ වෛද්‍ය ඉතිහාසය පිරික්සීමට අපට හැකි වනුයේ විද්වතුන්ගේ මතය පරිදි 'අර්ක ප‍්‍රකාශ' ලියවීම හෝ ප‍්‍රතිසංස්කරණය වීම රාවණා රජු අතින් සිදුවණ බැවිනි. ශිල්ප දහයක් මැනවින් ප‍්‍රගුණ කළ මහා රාවණ රජු පිය පාර්ශවයෙන් උරුම ලත් හෙළ වෙදකමද ප‍්‍රගුණ කරන්නට ඇති බවට සැකයක් නොමැත.

රාවණා රජුගේ පියාණන් විශ්‍රවස් මුණි නම් සෘෂිවරයාය. පුලස්ති මුණි, විශ්‍රවශ් මුණි සෘෂිවරයාගේද පියාණන්ය. එනම් පුලතිසි සෘෂිවරයා, මහා රාවණ රජුගේ මුත්තණුවන් වේ. එබැවින් පුලස්ති සෘෂි වරයා හෙළ වෙදකමෙහි පියාණන් ලෙසින් හැඳින්වීම වරදක් නැතැයි මා සිතමි. අවාසනාවට රාම, රාවණ යුද්ධයෙන් පසුව ලංකා පුරයෙහි අභිශේක ලත් විභීෂණ තම පරම්පරා ගත උරුමයන් ප‍්‍රගුණ කිරීමක් හෝ අභිවර්ධනය තකා කටයුතු කිරීමක් සාර්ථකව සිදු නොකරන බැවින් කාලයාගේ ඇවෑමෙන් ඒවා හෙළ සංස්කෘතිය තුල වැළලී යයි.

හෙළ විශ්වාසයනට අනුව ලෞකික ධ්‍යාන ලබමින් විශ්වීය ඥාණනයක් සතු වූවන් මරණින් පසුව ද ආත්මීය වශයෙන් තම ඇල්මෙහි ගැල්මෙහි ලා සිටිති. ඒ අනුව ඔවුන්ගේ ස්වරූප සලකුණක් යම් තැනක පිහිටු වන්නේ ද එහි දෙනෙත් යුග එක එල්ලේ බැල්ම හෙලන ස්ථානයක ඔවුන්ගේ ශේෂයන් නිධන් කිරීමට හෙළයන් පුරුදුව සිටියහ.

තත්වය

අපි යලිත් පුලස්ති මුණි කැටයම වෙත හැරෙමු. චිත‍්‍රයෙහි දෙනෙත් එක එල්ලේ බැලුම් හෙලන, ඇල්ල කපොල්ලෙන් එපිට කඳු පන්තියෙහි වන යම් ස්ථානයක් වෙයි. බැලූ බැල්මට එම ස්ථානයෙහි යමක් සවි කොට හෝ පිහිටා තිබූ ද පසුව එය කඩා වැටී එම සවිවර බිත්තිය පමණක් ඉතිරිව ඇති බැව් ද හොඳින් දැක ගත හැකිය. ඒ පිළිබඳව සොයා බලන විට, එම ස්ථානයෙහි මීට වසර ගණනකට පෙර ගල් පෙට්ටියක් ලෙසින් දිස්වුණු යමක් පෙනෙන්නට තිබූ බවට සාක්ෂි දරණ වැඩිහිටි ගම්වාසීන් කිහිප දෙනෙකුම මා හට මුණ ගැසිණි. ඔවුන් පැවසූ පරිදි එම ගල් පෙටිට්යෙහි නිධන්ව තිබූ පුලතිසි සෘෂිවරයාගේ ධනයත් හෙළ වෙදකම පිළිබඳව ලියැවුණු වටිනා රන් පත්තිරු සහ පුස්කොළ පොතුත් අද එතැන නොමැති කරවීමේ ස්තූතිය මුළුමනින්ම නිධන් හොරුනට හිමිවේ.

ඒ අමනා කි‍්‍රයාවෙන් තැන් තැන් හි විසිරුණු බොහෝ වටිනා කියන පෞරාණික දෑ අදටත් ඇල්ල කපොල්ල පාමුල සුනානව තිබිය හැකි බව ඇල්ල ගම් වාසීන් පවසනුයේ හදෙහි බුර බරා නැගෙන කෝපය කඳුළු ලෙසින් නෙතු අග සඟවා ගනිමිනි.

Leave a comment
Last 7 Days

Trending Today