Artwork for New PickMe Flash banner 8 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

කොරෝනා කාලේ ගාලු කොටුව!

පාළුවට ගිය ගාලු කොටුව..

Posted by

ලංකාවේ පිහිටලා තියන ලස්සන ම තැන්වලින් එකක් කියල දෙපාරක් නොහිත කියන්න පුළුවන් තැනක් ගාලු කොටුව. ඒ වගේ ම ඓතිහාසික වැදගත්කමකින් යුතු තැනක්. ඒ නිසා ම මේක සංචාරක පාරාදීසයක්. සාමාන්‍යයෙන් දේශීය සංචාරකයන්ටත් වඩා විදෙස් සංචාරකයෝ තමයි ගාලු කොටුව ආශ්‍රිතව දකින්න ලැබෙන්නේ. හැබැයි පහුගිය කොරෝනා ව්‍යාප්ති කාලේ ගුවන් ගමන් නැවතීමත් එක්ක සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් කඩාගෙන වැටුණ බව හැමෝම දන්නව නේ. ඒ නිසා ම සංචාරක පාරාදීසයක් වුණ ගාලු කොටුවට මොකද වුණේ කියල බලන්න අපි පහුගිය දවසක ගාලු ගියා.

මේ තියෙන්නේ ඒ පැත්තේ තතු විත්ති!

වර්ෂ 1588 දී පෘතුගීසීන් විසින් ඉස්ඉස්සෙල්ලා ම ගොඩනැඟුව ගාලු බළකොටුව වැඩි දියුණු වුණේ 17 වෙනි සියවසේ ලන්දේසි පාලනය යටතේ. ඉන් පස්සේ බ්‍රිතාන්‍ය පාලන සමයේ දී ගාලු කොටුව බ්‍රිතාන්‍යයන් යටතට පත් වුණා.

ඓතිහාසික, පුරාවිද්‍යාත්මක සහ වාස්තු විද්‍යාත්මක අතින් ගාලු කොටුවේ වටිනාකම ඉතා ඉහළයි. ඒ නිසා ම යුනෙස්කෝව විසින් ගාලු කොටුව ලෝක උරුමයක් වශයෙන් නම් කරලත් තියනවා.

ගාලු කොටුව නිරන්තරයෙන් ලංකාවට එන විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණයට බඳුන් වෙනවා. ඒකෙ අමුතු පිහිටීම, කොටුව ඇතුළේ තියන නිදහස් ස්වභාවය, කොටුවේ ගොඩනැඟිලිවල විවිධත්වය, කොටුවේ ජීවත් වෙන විවිධ ජාතීන්වල සහ ආගම්වල මිනිසුන්ගේ ජීවිත.. මේ ඔක්කොම එකතු වෙලා තමයි ගාලු කොටුව ලස්සන වෙන්නේ. ඒ ඔක්කොම අතරින් පතර දකින්න ලැබෙන විදේශික සංචාරක මුහුණු ඒ ලස්සන තවත් වැඩි කරනවා.

කොහොම වුණත් ඉතින් මේ තරම් විචිත්‍ර ගාලු කොටුවක් මේ පාර අපි යද්දි දකින්න ලැබුණේ නෑ. ඒ වෙනුවට අපි මීට කලින් ජීවිතේට දැකල නැති පාළුවක්, හිස්කමක් ගාලු කොටුව වෙළාගෙන හිටියා. කොටින් ම ගාලු කොටුව වහලා!

මොනවා වුණත් කොටුව ලස්සන වෙන්නෙ මිනිස්සු පිරිල ඉද්දි කියල හිතෙන්නෙ මෙහෙම පාළුවට ගිහින් තියනව දැක්කමයි.

කොටුව ඇතුළේ වෙනදා සෙනඟ පිරිලා ඉන්න කඩසාප්පු බොහොමයක් වහලා. ඇරලා තිබුණ ඒවගෙත් කස්ටමර්ස්ලා දෙතුන් දෙනෙකුට වඩා හිටියෙ නෑ. කොටුවේ කෞතුකාගාරෙත් වහල තිබුණා. ගාලු කොටුව රහ කෑම තියන අවන්හල්වලට ප්‍රසිද්ධයි නේ. ඒවටත් වෙලා තිබුණෙ ඒ සන්තෑසිය ම තමයි. මේ තියෙන්නේ ටැප්හවුස් එක. කවුරුත් ම නැත!

වෙනදා වගේ සෙනඟ නැති හින්ද ම කොටුවේ පැය පහක විතර කාලයක් නිදහසේ ඇවිද ඇවිද කරක් ගහන්න අපිට පුළුවන් වුණා. පොඩ්ඩක් හරි සෙනඟකට හිටියේ ප්‍රී ෂූට් කරන්න ආපු කපල්ස් හත අටකුයි, එයාලගෙ කැමරා කෲස් ටිකයි තමයි. ඔන්න ගාලු කොටුවෙ ෆොටෝ ෂූට් කරන්න හිතන් ඉන්නව නං මේක තමයි හොඳ ම කාලේ. සෙනඟ නැති නිසා නිවාඩු පාඩුවේ කාලය අරං ෂූට් කරන්න පුළුවන්.

ෂූටිං කට්ටිය ඇර තව ගාල්ලට ට්‍රිප්ස් ආපු ලෝකල් අය හතර පස් දෙනෙක් හිටියා. වෙන විශේෂ කවුරුත් ම අපිට හම්බුණේ නෑ. කොටින් ම වෙනදා කොටුවේ මුදුනෙ ඉඳන් ජබොග් ගාල වතුරට පනින එක ඩයිවිං බෝයි කෙනෙක්වත් දැක්කෙත් නෑ. කඩසාප්පුවල, අවන්හල්වල වැඩ කරන අයත් කිව්වේ ‘දැන් නං දුවන්නෙ රිම් එකෙන්’ කියලයි.

මේ පාළුව තියෙන්නේ දවල් කාලෙ විතරක් නෙමෙයි. ගාලු කොටුව සාමාන්‍යයෙන් රෑට සෑහෙන හැපනින් ප්ලේස් එකක් නේ. ඒත් දැන් රෑටත් කොටුවේ හිස් ගතිය එහෙමමයි. වෙනදා රෑ වේගෙන එද්දි බල්බ් වැල් එල්ලෙන පාරවල්, මියුසික් දාලා සද්දෙට නැඟල යන පුංචි පුංචි කැෆේස් එහෙම බකන්නිලා ගත්ත ගමන්. රෑට සමහර වීදිවල මිනිස් පුළුටක්වත් නෑ. එක දවසින් යන්න ආපු අපිට ගාලු කොටුව මෙච්චර පාළු නං, කොටුවේ පදිංචිකාරයෝ මේ පාළුව ඉවසන්නෙ කොහොමද දන්නෙ නෑ කියල අපි කතා වුණා.

කොහොම වුණත් කළුවරට ඔන්න මෙන්න තියෙද්දි ලයිට් හවුස් පැත්තෙ ඉඳන් ඇවිදන් ඇවිත් අපි අපේ හුරුපුරුදු ‘සන්සෙට් ස්පොට්’ එක පැත්තට ඇදුණේ ගාලු කොටුවේ හැන්දෑ වරුවක් ගෙවද්දි ඉර බහින දර්ශනේ මිස් කරගෙන බැරි නිසා.

පේනව නෙ ලස්සන. කවුරු හිටියත් නැතත් ඉර විතරක් තාම හැන්දෑවට ගාලු කොටුවයි ගාලු මුහුදයි ලස්සන කරනවා.

කොරෝනා කවදා පහ වෙයි ද දන්නෙ නෑ. ඒ නිසා පුළුවන් නං, සතිඅන්තයක් එහෙම අල්ලලා ආරක්ෂාකාරී ව ගාලු කොටුව පැත්තෙ ගිහින් නිවාඩුවක් ගත කරලා එන්න. ඒ පැත්තෙ කඩසාප්පු, අවන්හල් හිමියන්ටත් ඒක අත්වැලක් වෙයි. විදේශිකයො නැති මේ වෙලාවේ ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ගොඩ දාන්න අපිත් පුළුපුළුවන් හැටියකට අතහිත දෙමු..

Leave a comment