2020 පටන්ගන්නකොට, මේ අවුරුද්දෙ ඉඳල නං සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට පුරුදු වෙනව / ඩයට් කරනව වගේ දේවල් හුඟක් අය හිතන්න ඇති, නිව් ඉයර්ස් රිසොලූෂන්ස් විදිහට. ඇත්තට ම ඒක එහෙම වුණා ද? දැන් මාර්තු මාසෙත් එළඹිලා ඔන්න. හැම අවුරුද්දෙ ම කරනව වගේ 2020ත් බාලගිරිදෝෂෙ ද?
ඇත්තට ම ලංකාවෙ අපිට සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට පුරුදු වෙන්න මෙච්චර අමාරු ඇයි? ඒකට හේතු කීපයක් ම තියනවා. මේ ලිපියෙන් අපි කියන්න හදන්නෙ ඒ ගැන.
දෙමාපියො
ඔයා තාමත් ජීවත් වෙන්නෙ දෙමාපියො එක්ක නං, ඔය ඩයට් කරනව කියන කන්සෙප්ට් එක දෙමාපියන්ට ඒත්තු ගන්නන්න සෑහෙන කට්ටක් කන්න වෙනවා. ආදරේ වැඩිකමට ඒගොල්ලො කරන්නෙ පුළුවන් තරං අපේ බඩ පුරවන්න හදන එක. උයල තියන කෑම ටික අපි දෙතුන් පාරක්වත් බෙදාගෙන කන එක තමයි අම්මලගෙ හීනෙ. ඉතිං ඒ නිසා අම්මලා එක්ක ජීවත් වෙනව නං, ඩයට් කරන්න තියා අඩුවෙන් කන්නවත් ඉඩක් ලැබෙන්නෙ කලාතුරකින්.
පෙරදිග ධාන්‍යාගාරය
ලංකාවෙ අපිට ඉතිං බත් ඇරෙන්න මොනව කෑවත් බඩ පිරෙන්නෙ නෑනේ. සමහරුන්ට තුන් වේලට ම කොත ගහපු තඩි බත් පිඟානකට වග කිව්වෙ නැත්තං නින්ද යන්නෙත් නෑ. ඒ මදිවට බත් එකට එකතු වෙන අමතර කාබෝහයිඩ්‍රේට්? උදාහරණයක් විදිහට අල කරියක්? පුරුද්දට කෑවට මෙච්චර බත් ගොඩක් දවසකට ඇඟට දාගන්න එක සෞඛ්‍යයට හිතකර නෑ. බත් අඩුවෙන් බෙදාගෙන, විවිධ පෝෂක සහිත එළවළු ගොඩක් සහ ප්‍රෝටීන් අඩංගු කෑමක් බෙදාගෙන සමබල ආහාර වේලක් ගන්න එකයි හරි විදිහට නං කරන්න ඕන.
කාබෝහයිඩ්‍රේට්
බත් නොකන කෑම වේල්වල අපි කන්නෙ මොනවද? ඉඳිආප්ප, කොත්තු, පරාටා, රොටී, ෂෝටීට්ස්… මේ ඔක්කොම ජාතිත් කාබෝහයිඩ්‍රේට්වලින් පරිපූර්ණ කෑම ජාති. ‘බඩ පිරෙන්න කන්න ඕන’ කියන කන්සෙප්ට් එකට පුරුදු වෙලා ඉන්න අපිට, මේ වගේ බර කෑම නොකෑවොත් හිතට අමාරුයි. හැබැයි ඉතිං හිතාගෙන හිතාගෙන ගියාම හිතෙනව බඩ පිරෙන්න නෙමෙයි, බඩගිනි නිවෙන්න කෑවම ඇති නේ කියල. ඒකට ඉතිං පිටි ගුලි ගිලින්න ම ඕන නෑ!
තෙල්
ඊළඟ කාරණේ තමයි තෙල්. අපි උත්සව කාලෙට හදන කෑමවල වගේ ම එදිනෙදා හදන කෑම වේලෙත් තෙල් සහිත දෙයක් ඇතුළත් වෙනවමයි. උදාහරණයක් විදිහට පපඩමක් හරි හාල්මැස්සෝ බැදුමක් හරි මොකක් හරි තෙල් රහක් නැතුව කෑවත් නොකෑව වගේ නෙ? කඩෙන් කන අයට නං මේක තවත් අවදානම්. මොකද එක පාරක් පාවිච්චි කරපු තෙල් නැවත නැවත පාවිච්චි කරල විවිධ දේවල් බදින්න කඩ කෑම හදන සමහරු පුරුදු වෙලා ඉන්න නිසා.
ගණන්
සෞඛ්‍ය සම්පන්න ආහාර හොයාගෙන රෙස්ටොරන්ට් එකකට ගියොත්, විකිණිලා තමයි එළියට එන්න වෙන්නෙ. මොකද ඒ ජාතියෙ රෙස්ටොරන්ට්වලින් සර්ව් කරන ස්මූදි බෝල්ස් වගේ ජාති සෑහෙන ගණන්. ඉතිං මේකත් අපිට සෞඛ්‍යයට අහිතකර, අඩු වියදම් කෑමවලට සීමා වෙන්න හේතුවක් කියල නම් කරන්න පුළුවන්.
දිවිල්ල
මේ කාලේ අපි හැමෝම පුදුම විදිහට බිසී නේ. අහන අහන කෙනා කොයි වෙලේ බැලුවත් කාර්යබහුලයි. කිසි දේකට ‘වෙලාවක් නෑ’. බිසී වැඩි වෙනකොට ඉබේ ම අපේ මානසික ආතතියත් වැඩි වෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අපිට ගුණ කෑම වෙනුවට දිව පිනවන රස කෑම, ක්ෂණික කෑම වගේ දේවල් ඕන වෙනවා. එතකොට ඉතිං නිවීසැනසිල්ලේ ඇඟට ගුණ කෑමක් කන්නත් ‘වෙලාවක් නැතුව’ යනවා.
හැබැයි ඉතින් මේකත් මතක් කරන්න ඕන. මොන බාධක තිබුණත් ඇත්තට ම උනන්දුවයි කැපවීමයි තියනව නං, ඕන අරමුණකට යන්න පුළුවන් කියල ඔප්පු කරලම පෙන්නුව අයත් අපි අතරෙ ම ඉන්නවා!
කොහොම වුණත් මේ වැඩේ දි මීට අමතරව ඕගොල්ලො මූණ දෙන තවත් බාධක සීමා තියනවද? කමෙන්ට්ස්වලින් අපිට කියන්න…