Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

ගෙදර ම පොඩි ලයිබ්‍රරි එකක් හදාගන්න, පියවර 6ක්

සාහිත්‍ය මාසේ ඉවරයි. දැන් කියවීමේ මාසේ.

Posted by

සාහිත්‍ය මාසේ ඉවර වේගෙන එනවා. ඊළඟට එළඹෙන්නේ කියවීමේ මාසේ. දැන් ඉතින් බුක් ෆෙයා එහෙම ගිහින් පොත් මිටි ගණන් අරං ආපු කට්ටියට, ඊළඟ අවුරුද්දේ සැප්තැම්බර් වෙනකන් පොත් ටික තිබ්බ තැන ම ගොඩ ගහල තියන් ඉන්නේ නැතුව කියවන්න පටන්ගන්න කාලේ හරි. ඒ නිසා ම අපි හිතුව ගෙදර තැන් තැන්වල විසිරිලා තියන පොත්පත් එක තැනකට එකතු කරලා පුංචි පුස්තකාලයක් හදාගන්න විදිහ ඕගොල්ලොත් එක්ක බෙදාගන්න ඕන කියල. මේ තියෙන්නේ ඒ වැඩේට පියවර 7ක්..

1 සුදුසු තැනක්

මුලින්ම කරන්න ඕන ලයිබ්‍රරි එක හදාගන්න සුදුසු තැනක් හොයාගන්න එක. නිදන කාමරේ, කාර්යාල කාමරේ, සාලේ, කුස්සියේ, කෑම කාමරේ හෝ වෙනත් තැනක.. මේ කොහේ වුණත් කමක් නෑ, වැඩි කලබලයක් නැති, සද්දබද්ද ඇහෙනවා අඩු, හොඳට ආලෝකය වැටෙන තැනක් තමයි මේකට සුදුසු.

2 රාක්ක කීපයක්

පොත් ගබඩා කරන්න බෑග් හෝ පෙට්ටි වගේ දේවල්වල දැමීම සුදුසු නෑ. මොකද කාවෝ, වේයෝ එහෙම රිංගලා පොත් විනාශ වෙන්න ඉඩ තියනවා. ඉතින් පොත් අඩුක් කරන්න නං රාක්ක කීපයක් මිලට ගන්න අවශ්‍යයි. රාක්ක කීයක් ඕන ද කියන එක තීරණය වෙන්නේ ඔබ ළඟ දැනට කොච්චර පොත් තියනවද, ඉස්සරහටත් පොත් එකතු කරන්න හිතාගෙන ඉන්නවද කියන කාරණා මත. රාක්ක මිල දී ගන්නකොට ඒවයේ ප්‍රමාණය, දිග, උස ගැන සැලකිලිමත් වෙන්න. ඔබ තෝරගත්ත ස්ථානයේ ඒ රාක්ක ස්ථානගත කරන්න පුළුවන් ද, ඉඩකඩ කොහොමද කියල ගන්න කලින් හිතන්න ඕනේ. උස රාක්ක තෝරගන්නවා නම් හුඟක් ඉඩ ඉතුරු කරගන්න පුළුවන්.

3 පොත් අඩුක් කරන පිළිවෙළ

පොත් වෙන් කරන්න ක්‍රම කීපයක් තියනවා. එකක් තමයි කර්තෘගේ නමින් පොත් වෙන් වෙන් ගොඩවල්වලට බෙදලා රාක්කවල අහුරන එක. එක කතුවරයෙකුගේ පොත් කීපය ගාණේ තියනවා නම් ඒ ක්‍රමය ලේසියි. එහෙම නැත්නම් නවකතා, කෙටිකතා, කවි, චරිතාපදාන, ශාස්ත්‍රීය පොත්, වෙනත් පොත් ආදී වශයෙන් වුණත් වෙන් කරන්න පුළුවන්. භාෂා කීපයක පොත් තියනවා නම් සිංහල, ඉංග්‍රීසි, දෙමළ ආදී වශයෙන් බෙදාගන්නත් පුළුවනි.

4 කියවන්න මුල්ලක්

රාක්කවල පොත් ඇහිරුවා කියමුකෝ. ඊළඟට කරන්න ඕන වැඩේ තමයි මේ පුංචි ලයිබ්‍රරි එකේ ම කොහෙහරි සැපපහසු මුල්ලක්, රීඩිං ස්පොට් එක විදිහට හදාගන්න එක. සැප පුටුවක් තියල හරි, බිම කුෂන් එකක් දෙකක් දාල හරි මේ මුල්ල කියවන්න පහසු තැනක් විදිහට සකස් කරගන්න. එතන හොඳට එළිය වැටෙන තැනක් බවටත් වග බලාගන්න එක වැදගත්. අඳුරු තැනක් නම් ලෑම්ප් ෂේඩ් එකක් එහෙම පාවිච්චි කරන්න පුළුවන්. 

5 පෙනුම

ලයිබ්‍රරි එක දුටු පමණින් පොත් කියවන්න ආස හිතෙන හැඟීමක් ආවෙ නැත්තං වැඩක් නෑනේ. ඒ නිසා ඔබේ පුංචි පුස්තකාලේ පෙනුම හරි වැදගත්. එතන අඳුරු මළානික පාටයි නං පැත්ත පළාතේ යන්න හිතෙන එකක් නෑ. ඒ වෙනුවට එතන උණුසුම් සැපපහසු තැනක් බවට පත් කරගන්න ඕනේ. ඒ වගේ ම පොඩි මල් පෝච්චියක්, රාමු කරපු ෆොටෝ එකක් දෙකක්, පොඩි බිත්ති සැරසිල්ලක් එහෙම පාවිච්චි කරලා ලයිබ්‍රරි එක ලස්සන කරගන්න අමතක කරන්න එපා.

6  පිරිසිදුකම

ලයිබ්‍රරි එකක් හැදුවට විතරක් වැඩක් නෑ, මේන්ටේන් කරන්නත් ඕන. පොත් කියන්නේ කඩදාසි. ඒ කියන්නේ ඉක්මනින් විනාශ වෙන්න පුළුවන් දෙයක් නේ. අර කලින් කිව්වා වගේ සත්තු විදලා වගේ ම, වතුරට තෙමිලා, දූවිලි වැදිලා එහෙමත් පොත් විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ගෙදර හදාගන්න පුස්තකාලේ හොඳින් නඩත්තු කරන්න අවශ්‍යයි. නිතර පොත්වල දූවිලි ගසන්න. රාක්ක පිහදාන්න. වේයෝ, කාවෝ, ගුල්ලෝ, කූඹි වගේ සත්තුන්ට රාක්ක අතරට යන්න ඉඩ දෙන්න එපා.

ඒ වගේ ම බිත්තිවලට දිය සීරාව අල්ලනවා නම් ඒ වගේ තැන්වලින් පොත් ඉවත් කරන්න. මොනාහරි කන බොන ගමන් පොත් කියවනවා නම්, එතන ආහාරපාන වැටෙන්නේ ඉහිරෙන්නේ නැති තරමට හොඳයි. නිතර අතුගාලා එහෙම පිරිසිදුවට තියාගන්නවා නම් හුඟ කාලයක් පවතින ලස්සන පුස්තකාලයක හිමිකාරයෙක් වෙන්න හැමෝටම පුළුවන්.

Leave a comment