Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Bread Teaser Top Banner -temporary
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

පොරක් වගේ කඳුළු ගෑස් ප්‍රහාරෙකට මුහුණ දෙන්නේ මෙහෙමයි

කොච්චර අයියලා වගේ උද්ඝෝෂණයට ආවත් කඳුළු…

Posted by

මේ දවස්වල උද්ඝෝෂණ තියන එකේ කෙලවරක් පේන්න නෑ. කොහොමත් සතියකට එකක් දෙකක් තියෙන සීන් එකක් තමයි තියෙන්නේ. ලංකාවේ උද්ඝෝෂණ කිව්වම ඒකත් එක්ක එකටම යන අනිත් දේ තමයි කඳුළු ගෑස්. කොච්චර අයියලා වගේ උද්ඝෝෂණයට ආවත් කඳුළු ගෑස් ගහපු ගමන් බයියලා වගේ අනිත් පැත්ත හැරිලා දුවන්න මේ අයියලාට සිද්ධ වෙනවා.

ලංකාවේ වගේම අනිත් ගොඩක් රටවල් වල කඳුළු ගෑස් කියලා පාවිච්චි කරන්නේ 2-chlorobenzalmalononitrile. මේවා එන්නේ කෑන් වල පොලීසිය ගාව තියෙන විශේෂ ගන් එකකින් තමයි උද්ඝෝෂණේට විදින්නේ. ඒකෙන් එන දුම තෙතමනයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒක නිසා ඇස් සහ පපුවේ දැවිල්ල, කැස්ස, හුස්මගන්න අපහසු බව ඒ වගේම සමේ දැවිල්ල ඇතිවෙනවා. විශේෂයෙන්ම ඇදුම සහ වෙනත් ශ්වසන රෝග තියෙන අයට මේක ටිකක් දරුණුවට බලපාන්න පුළුවන්.

කොහොමහරි මෙතනදී අපි කියන්න හදන්නේ ප්‍රොටෙස්ට් එකකට ගිහින් බය නැතිව පොරක් වගේ කඳුළු ගෑස් ප්‍රහාරෙකට මුහුන දෙන්නේ කොහොමද කියලා.

අනිත් හැම දේකදිම වගේ මේකෙදිත් පෙර සූදානම තමයි වැදගත්ම දේ.

මුහුණ

මුහුණ තමයි කඳුළු ගෑස් වල ප්‍රධාන ඉලක්කේ වෙන්නේ. ඇස්, නහය ඒවගේම මුහුණේ හම කඳුළු ගෑස් වලට ගොඩක් සංවේදියි. ගෑස් මාස්ක් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම විසඳුම. මේවා ගන්න තියෙනවා ආමර් වීදිය පැත්තට ගියාම. ටිකක් ගණන් නම් තමයි. අපිට කොහෙද ඉතින් බූල් බල්ලෝ කිව්වා වගේ අපිට කොහොද ඉතින් ගෑස් මාස්ක් නේද?

එහෙම කියලා අධෛර්යය වෙන්න එපා, ඒවට තියෙනවා විසඳුම්. දෙවැනියට හොඳම විසඳුම තමයි රෙස්පරේටර් එකක් පාවිච්චි කරන එක. මේවත් ගන්න තියෙනවා ආමර් වීදිය පැත්තේ. ඒ වගේම ලොකු හාඩිවෙයාර් වලත් තියෙනවා.

ඉතින් ඒකත් හොයාගන්න බැරිනම් ඉතින් කරන්න තියෙන්නේ හොඳ ඝන ලොකු ලේන්සුවක් (අර අපි පොඩි කාලේ කෑම පෙට්ටිය ඔතාගෙන ගියපු සර්වියට් මේ වැඩේට නියමයි) ගෙනියන එක. මේ සර්වියට් එක මූණේ බැඳගන්න කලින් විශේෂ කඳුලු ගෑස් නාශක මිශ්‍රණයෙන් පොඟවන්න අමතක කරන්න එපා. (මේක හදාගන්නේ බේකිං සෝඩා වතුරත් එක්ක මිශ්‍රකරලා.)

ගෑස් මාස්ක් එකේ ඇස් දෙකත් වැහුණට රෙස්පරේටර් එකෙන්වත් ලේන්සුවෙන් වත් ඇස් වැහෙන්නේ නැහැ. ඒක නිසා ඇස් දෙක වැහෙන්න එක්කෝ ස්විමින්ග් ගොගල්ස් දෙකක් එහෙම නැත්නම් සේෆ්ටි ගොගල්ස් දෙකක් පාවිච්චි කරන්න වෙනවා. මේ ගොගල්ස් හොඳට ඇස් දෙකට සීල් වෙන ඒවා වීම අනිවාර්යයි.

අනිත් වැදගත්ම දේ තමයි අව්වට පිච්චිලා කළුවෙයි කියලා හිතලා ලෝෂන් ක්‍රීම් වර්ග මූණේ  ගාගෙන යන්න නම් එපා. තෙල් ගතියත් එක්ක ඒ අංශු මූණේ තැන්පත් වෙලා වැඩිපුර දන්න ගන්න පුළුවන්. අව්වට කළුවෙනවට බය නම් ගෙදර ඉන්න එක තමා හොඳ.

මේකේ වැදගත්ම දේ තමයි මේ දේවල් ටික දාගන්න එක අඩුමගානේ දෙතුන් සැරයක්වත් ප්‍රැක්ටිස් වෙලා යන එක. බඩු ඔක්කොම අරන් ගිහින් වෙලාවට දාගන්න බැරි වුණොත් තේරුමක් නෑනේ.

ඇඳුම්

ටිකක් ඝන ඇඳුම් අඳින එක තමා වැඩිය හොඳ. පුළුවන් නම් ෂර්ට් එකකුයි ඊට යටින් ටීෂර්ට් එකක් දෙකක් ඇන්දත් කමක් නැහැ. හැම වෙලේම අත් දිගට අඳින එක තමයි හොඳ. කලිසම විදියට ඩෙනිමක් අඳින එක ඇඟට හොඳයි. ෆැෂන් එකට හිල්වෙච්ච ඉරිච්ච ඩෙනිම් ඇන්දට වැඩේ හරියන්නේ නෑ. ෆුල් වැහිලා තියෙන්න ඕන.

සපත්තු

ප්‍රොටෙස්ට් එකකට යනවනම් සපත්තු දාලා මේස් දාලා යන්න. සපත්තු සෙරෙප්පු ගැන ඔය කැම්පස් වල එහෙම නීති තියෙන එක ඇත්ත. හැබැයි එහෙම කියලා ඉල්ලං කන්න ඕන නෑනේ. එහෙම බැරිනම් සින්නොන්ට ප්‍රොටෙස්ට් එක කරන්න කියන්න. කඳුළු ගෑස් ඇඟේ අඩුවෙන් වැදුණු තරමට ප්‍රොටෙස්ට් එක ඉවර වෙලා ආපහු පිරිසිදු වෙන්න ලේසියි. ඇඳගෙන ඉන්න ඩෙනිම මේස් දෙකට යට කරන්න එහෙම කළාම මේසුයි ඩෙනිමයි අතරින් කඳුළු ගෑස් අංශු යන එක නවතිනවා.

ග්ලවුස්

ෂර්ට් එකෙන් වැහෙන්නේ නැති ටික වැහෙන්න ග්ලවුස් දෙකක් පාවිච්චි කරන්න පුවන් නම් හොඳයි. අත්වල කඳුළු ගෑස් ගෑවෙනවා කියන්නේ ආපහු මූණ වහගෙන ඉන්න ඒවා ගළවනකොට ඒවා මූණේ ඇඟ පුරා ගෑවෙනවා කියන එක.

ඒ වගේම තවත් දෙයක් තියෙනවා.

කට්ටිය දැකලා ඇති ප්‍රොටෙස් වලදී සමහරු මාර පොරවල් වගේ තමුන්ගේ පැත්තට ආපු කඳුළු ගෑස් කෑන් එක අල්ලා ආපහු අනිත් පැත්තට විසි කරලා ගහනවා. රැවටෙන්න එපා. එහෙම ගහන ඈයෝ ගෙදර ගිහින් දවස් ගානක් පිච්චුණාට පත්තු බඳිනවා. කාට හරි එහෙම විසික් කරලා පොර වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම රස්නෙට ඔරොත්තු දෙන ග්ලවුස් දෙකක් පාවිච්චි කරන්න.

ඔය කිව්වේ කලින් වෙන්න ඕන පෙර සූදානම ගැන.

කඳුළු ගෑස් ගැහුවයින් පස්සේ මොකද කරන්නේ

සාමාන්‍යයෙන් කඳුළු ගෑස් වාතයට වඩා බරයි. ඒක නිසා හැම වෙලාවෙම උස තැනකට යන එක නුවණට හුරැයි. ඒ වගේම කඳුළු ගෑස් වලාකුළුවලින් ඈත් වෙන තරමට හොඳයි. ඒ වගේම හුළඟ හමන පැත්තට ගැන අවධානෙන් ඉන්න. හැම වෙලේම ඊට විරුද්ධ පැත්තට යන්න.

ගාල කඩාගත්ත හරකා වගේ දුවන්න එපා ඒකෙන් වෙන්නේ වටේ ඉන්න අනිත් අයත් කලබල වෙලා දුවන්න ගන්න එක. තමුන්ට යන්න ඕන තැනට වේගෙන් ඇවිදගෙන යන්න.

වහලා තියෙන තැනකට යන්න පුළුවන් නම් හොඳයි හැබැයි වැරදිලා හරි එතැනට කඳුළු ගෑස් කෑන් එකක් වැටුණොත් පුළුවන් තරම් ඉක්මනින් එතැනින් අයින් වෙන්න.

ගෙදර ගියාම

කොහොමහරි ප්‍රොටෙස්ට් එකටත් ගිහින් කඳුළු ගෑස් වලටත් මූණ දීලා ගෙදර ආවා කියමුකෝ. තාම වැඩේ ඉවර නෑ. කඳුලු ගෑස් වැදිච්ච ඇඳුම් ඔක්කොම පැත්තකට කරන්න. (ඒවා අනිත් ඇඳුම් එක්ක සෝදන්න එපා)

අර කලින් කියපු විශේෂ කඳුළු ගෑස් නාෂක මිශ්‍රණයයි උණු වතුරයි පාවිච්චි කරලා  මුලින් ඇඟ හෝද ගන්න. ඇස් සෝදනකොට දෙලුම් කොළ, පිච්ච මල් පොඟවපු වතුර එහෙම නැත්නම් කිරි පාවිච්චි කරන්න පුළුවන්. අන්තිමට සබන් පාවිච්චි කරලා සීතල වතුරෙන් හොඳට නාගන්න.

සාමාන්‍යයෙන් කඳුළු ගෑස් වලට ලොකු ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒත් ඇස්පේ න්නේ නැතිව ගියොත් හරි, පපුව රිදෙන්න ගත්තොත් හරි එහෙමත් නැත්නම් හුස්මගන්න ගොඩක් අමාරු වුණොත් හරි දොස්තර කෙනෙක් හම්බුවෙන එක තමයි හොඳ.

Leave a comment