Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

ඔයාගෙ අලුත් අවුරුද්දත් පරණයිද?

අලුත් අවුරුද්දත් එක්ක අලුත් වෙනවා වෙනුවට…

Posted by

ලංකාවෙ අපට අවුරුද්දකට ‘අවුරුදු’ දෙකක් තියෙනවා: ජනවාරි පළවෙනදා අවුරුද්දයි, අප්‍රේල් මාසේ අවුරුද්දයි ( මුස්ලිම් අයට නම් මුස්ලිම් තව වෙනම අවුරුද්දකුත් තියෙනවා). ජනවාරි අවුරුද්ද නම් ගොඩක් දෙනෙක් පටන්ගන්නෙ (පෙබරවාරි වෙන්නත් කලින් අමතක වෙන) අලුත් සැලසුම්, අලුත් බලාපොරොත්තු වගේ දේවල් එක්ක. ඒත් ලංකාවේ අපි ගොඩක් දෙනෙක් ඉහළින් සමරන්නෙ අප්‍රේල් මාසෙ එන සිංහල අවුරුද්දනේ. හැබැයි අලුත් අවුරුද්දත් එක්ක අලුත් වෙනවා වෙනුවට සිංහල අවුරුද්දට ගොඩක් දෙනෙක් ට්‍රයි කරන්නෙ පුළුවන් තරම් පරණ වෙන්න.

ටෙලිවිෂන් අවුරුද්ද

අලුත් අවුරුද්දත් එක්ක (අනිත් හැමදාමත් වගේ ම) ලංකාවේ ටෙලිවිෂන් චැනල් ටික තරගෙට වගේ එකම දේ කරන්න පටන්ගන්නවා; ඒ තමයි පුළුවන් තරම් පරණ වෙන එක. වෙනදට සාමාන්‍ය විදියට කතාකරන නිවේදකයෝ අවුරුදු කිට්ටු වෙද්දි රඟපාන්න පටන්ගන්නවා. (ඉස්සර පරණ හෙළ ගැමියෝ කළා කියල එයාලා හිතන විදියට) ඔළුව කරකවලා, කට ඇදකරලා, ඇස් ලොකුකරගෙන, ඉස්සර මිනිස්සු කතාකළා කියල එයාලා හිතන අමුතු ටෝන් එකකින් කතාකරන්න ගන්නවා; ඉස්සර තිබ්බා කියලා එයාලා හිතන/ අහලා තියෙන උරහිසෙන් ගැටගහන කමිස, බෝරිච්චි ගවුම් වගේ ඇඳුම් ඇඳගෙන.

පරණයි කියන්නෙ කොච්චර පරණයිද?

දැන් ඔය අපි අප්‍රේල් මාසෙ අවුරුද්ද සමරන කැලැන්ඩරේ හැදුවා කියලා කියන්නෙ ශාලිවාහක රජ්ජුරුවොනේ. ඒ කියන්නෙ දැනට අවුරුදු 1939කට විතර කලින්. එතකොට දැන් අපි අවුරුද්ද සමරන්න ඕන ඒ කාලෙ ශාලිවාහක රජ්ජුරුවෝ අවුරුද්ද සමරපු විදියටමද? කැලැන්ඩරයක අදහස වෙන්නෙම කාලය ගලායාම ගැන අදහසනේ. කාලයත් එක්ක දේවල් වෙනස්වෙනවා. ඒ විදියට එකඑක කාලවල දි එකඑක විදියට එකතුවුණු කෑමබීම, සිරිත්විරිත් එක්ක තමයි අපි අද අවුරුද්ද සමරන්නෙ. ඒ වගේ ම ඉස්සරහටත් අපේ අවුරුද්දට (ජීවිතේ අනිත් දේවල්වලට වගේම) අලුත් අලුත් දේවල් එකතුවෙයි; සමහර පරණ දේවල් හැලිලා යයි. මෙහෙම හැලිලා යන පරණ දේවල් ගැන පොතපත ලියවෙන එක, පරේයේෂණ කෙරෙන එක, කෞතුකාගාර හැදෙන එක හොඳ දෙයක්, මේ දේවල් ගැන පස්සෙ කාලෙක හදාරන අයට දැනගන්න. ඒත් අලුත් අවුරුද්ද කියලා දැනට අවුරුදු 50-60කට විතර කලින් තිබුණ විදියේ ඇඳුම් විලාසිතා අඳින එකෙයි, ඉංග්‍රීසීන් ඒ කාලේ ඒ ගොල්ලන්ගෙ පරිපාලන වැඩවලට පත්කරපු ගම්මුලාදෑනිලා, මුදලිලා වගේ චරිතවල ඇඳගෙන නටන එකෙයි තේරුම මොකක්ද? අලුත් අවුරුද්ද කියන්නෙ ජීවිතේ අලුත් කරගන්න, අලුතින් හිතන්න තියෙන අවස්ථාවක්. පරණ දේවල් ඉගෙනගන්න තියෙන කෞතුකාගරයක් නෙවෙයි.

ඒ කාලෙ තමයි කාලේ

නොස්තැල්ජියාව හෙවත් අතීතකාමය කියන්නෙ අපි කාටත් වගේ තියෙන දෙයක්. ඉස්සර මරුවට තිබුණු දේවල් දැන් එන්න එන්න සවුත්තු වෙනව කියන එක වයසට යන කොයි කවුරුත් වගේ කියන කතාවක්. “අපි පොඩි කාලේ නම් මේ වගේ නෑ, විස්කෝතුවක් වුණත් තියෙනවා අත පිරෙන්න, දැන් මේ තියෙන චූටි චූටි ඒව වගේ නෙවෙයි.” වගේ කතා මම නම් සෑහෙන්න අහල තියෙනවා. ඒ කාලේ විතරක් නෙවෙයි, අපි පොඩි කාලෙත් එහෙම තමයි. මොකද ඒ කාලෙ අපේ අත් දැන් තියෙනවට වඩා පොඩියිනේ. ;) මේ වගේ පොඩි පොඩි රොමැන්ටික් මතක එක්ක අපිට පොඩි පොඩි පුද්ගලික නොස්තැල්ජියා තිබුණට රටක් හෝ සංස්කෘතියක් හැටියට සම්පූර්ණ නොස්තැල්ජියාවකට යන එක නම් එච්චර හොඳ දෙයක් කියල මම හිතන්නෙ නෑ. අපි ඉස්සර ඉඳන් පුරුද්දක් විදියට කරගෙන ආපු දේවල්, සිරිත් විරිත් අතාරින්න කියලා නෙවෙයි මේ කියන්නෙ. ඒව අමුතුවෙන් වෙනස්කරන්න උත්සාහ කරන්න ඕනත් නෑ, කාලෙත් එක්ක ඒව වෙනස්වෙලා යයි. ඒත් ඉස්සර තිබුණු විදිය මොකක්ද, ඊටත් ඉස්සරින් තිබුණු විදිය මොකක්ද, අපේ මුත්තලාගේ කාලෙ ඕක කළේ කොහොමද, ඕක කරන ‘හරිම’ විදිය මොකක්ද කියල හොයහොයා ඒ දේවල් ඒ විදියට කරන්න ට්‍රයිකරන එක නම් ටිකක් මෝඩ වැඩක්.

කොපි කිරීම කලාවක් නම්…

අපි දන්න ඉතිහාසය ඇතුලෙ සිංහල අවුරුද්ද කියන එක හැදිලා තියෙන්නෙ අස්වනු නෙලීම මූලික කරගෙන. ඒ කාලෙ හැමෝම වගේ ජීවත් වුණේ ගොවිතැනින් නිසා එයාලා තමන්ගේ අස්වැන්නේ සතුට අවුරුද්දත් එක්ක සමරන්න ඇති. අද අපි වැඩිදෙනෙක් ගොවිතැන් කරන්නෙ නෑ; ඒත් අපි තාමත් අවුරුදු සමරනවා. එහෙම තමයි; අපි මිනිස්සු විදියට දේවල් සමරන්න ආසා නිසා හේතුව වෙනස් වුණත් (සමහර විට හේතුවක් නැතුව වුණත්) දේවල් සෙලිබ්‍රේට් කරනවා. මොන හේතුවක් උඩ හරි ජීවිතේ සෙලිබ්‍රේට් කරන්න තියෙනව නම් ඒක කොච්චර දෙයක්ද? ඒත් ඒ කාලෙ මිනිස්සු අවුරුද්දට සරම්, නැත්නම් රෙද්ද හැට්ට ඇන්දේ අවුරුද්ද නිසා නෙවෙයි; කොහොමත් ඒ මිනිස්සු ඇන්දෙ ඒ ඇඳුම නිසා. ඔළිඳ කෙලින එක, චක්ගුඩු පනින එක වැඩිපුර අවුරුදු කාලෙට කළාට මොකද අවුරුදු නැති කාලෙටත් එයාලා කළේ ඔය වගේ සෙල්ලම් තමයි. දැන් අපි ‘ජන ගී’ කියල කියන්නෙ ඒ කාලෙ එයාලා එදිනෙදා වැඩකරනකොට, පාළුවට කියපු, අහපු කවි සිංදු. මේව ඒ මිනිස්සුන්ගේ ජීවිතවලට සම්බන්ධ දේවල්. ඒත් අවුරුද්දෙ ඉතිරි දවස් ටික ෂෝට හෝ ත්‍රීක්වාටර් එක ගහල ඉන්න අය අවුරුද්දට කියලා අමාරුවෙන් සරම් අඳින්න ට්‍රයි කරන එක, ප්ලේ ස්ටේෂන් ගහන පොඩි උන්ට බලෙන් ඔළිඳ කෙළවන්න හදන එක, පොත්වල ලියලා කටපාඩම් කරවලා ගිනි අවුවේ තියාගෙන පොඩි උන් ලවා ජනකවි ගායනා කරවන එක වගේ දේවල් නම් ටිකක් ගොන් වැඩක්. අවුරුදු සිරිත් විරිත් දිහා බැලුවම අපට පේන දෙයක් තමයි ඒවයේ අරමුණ පවුලේ කට්ටිය සහ නැදෑ හිතමිත්‍රයෝ එකතුවෙලා කාලා බීලා, සෙල්ලම් කරලා විනෝද වෙන එක, සම්බන්ධතා අලුත්කරගන්න එක වගේ දේවල් කියන එක. ඒ කාලෙ අය එයාලා පුරුදුවෙලා හිටපු විදියට ඒ දේවල් කළා. ඉතිං ඔයා එයාල කරපු දේවල් කොපිකරන්න ඕන නෑ; මේ කාලේ ඔයාට පුරුදු විදියට ඒ දේවල් කරන්න.

පරණ අවුරුද්දට යන්න කියන්න

ඔන්න දැන් අායෙත් අලුත් අවුරුද්දක් එනවා. වෙන මොනව නැතත් මැරෙන්නෙ නැතුව ඉර වටේ රවුමක් ගිහින් ආපු එකම මදිද සෙලිබ්‍රේට් කරන්න. ඉතිං මේ දවස් ටිකෙත් ටීවීවල ඉන්න පණ්ඩිතයො කියන කතායි, පත්තරවල, වෙබ්වල ඉන්න පණ්ඩිතයෝ ලියන මේ වගේ ආටිකලුයි කියවලා ඔළුව නරක්කරගන්නෙ නැතුව පවුලේ අය, නෑදෑයෝ යාළුවෝ එක්ක එකතුවෙලා කාලාබීලා සතුටු වෙන්න. තවත් කෙනෙක් එක්ක ඒ සතුට බෙදාගන්න. අවුරුද්ද කියන්නෙ ඒකටනේ.

Cover Photo: www.derana.lk
Leave a comment
Last 7 Days

Trending Today