ලෙබනනයේ බේරූට් නගරයේ ඊයේ (අගෝස්තු 4 දා) හදිසියේ ම අතිවිශාල පිපිරීමක් සිදු වුණ බව ඔබ කවුරුත් මේ වන විට දන්නවා ඇති. මේ පිපිරීමෙන් 100කට අධික පිරිසක් මිය ගොස් 4000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව නවතම ප්‍රවෘත්ති වාර්තාවල දැක්වෙනවා. මේ අතරේ ශ්‍රී ලාංකිකයනුත් සිටින බවයි ප්‍රවෘත්ති වාර්තා පවසන්නේ.
කෙසේ නමුත් වැඩි විස්තර තවමත් ප්‍රකාශයට පත් වී නැහැ. ඒ ගැන තවදුරටත් තොරතුරු සොයා බලමින් සිටින බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන ශානි කරුණාරත්න ප්‍රකාශ කරලා තියනවා. දැනට ශ්‍රී ලාංකිකයින් 25000ක් පමණ ලෙබනනයේ රැකියාවල නිරත වෙනවා. ඉන් වැඩි දෙනෙකු ගෘහ සේවිකාවන්.
බේරූට් කියන්නේ ලෙබනනයේ අගනුවර වගේ ම එරට විශාලතම නගරය. වර්ග කිලෝමීටර 19.8ක භූමි ප්‍රමාණයකින් යුතු බේරූට් නගරයේ මිලියන දෙකකට අධික ජනගහනයක් වෙසෙනවා. වසර 5000ක පමණ ඉතිහාසයකින් යුතු මේ නගරය ලෝකයේ පැරණිතම නගරවලින් එකක් ලෙසයි සැලකෙන්නේ. 1975 වසරේ පටන් 1990 දක්වා පැවති ලෙබනන් සිවිල් යුද්ධයෙන් දරුණු ලෙස බැට කෑ බේරූට්, ඉන් අනතුරුව විශාල වශයෙන් ප්‍රතිසංස්කරණවලට ලක් වෙලා නැවත හිස එසවූවා.
ඊයේ දිනයේ සිදු වුණු පිපිරීම බේරූට් නගරය ආශ්‍රිතව සිටි බොහෝ දෙනෙකුගේ ජංගම දුරකතන කැමරාවල සටහන් වෙලා තිබුණු නිසා ඒවා අන්තර්ජාලයට එක් වී තිබුණා. ඒ දර්ශන දුටු විට පිපිරීමේ විශාලත්වය කෙතරම් දැයි හිතාගන්නට පුළුවන්.
වාර්තා වන ආකාරයට මේ පිපිරීම සිදු වුණේ පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තිබූ ගබඩා සංකීර්ණයක. එහි අපරික්ෂාකාරී ලෙස ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් මෙට්‍රික් ටොන් 2750ක් මේ පිපිරීමට හේතු වෙලා තියන බව ලෙබනන අගමැති හසන් ඩයබ් ප්‍රකාශ කළා. ඔහු පවසන පරිදි ඇමෝනියම් නයිට්‍රේට් සාමාන්‍යයෙන් එරට කෘෂිකාර්මික කටයුතු සඳහා පොහොර වශයෙන් භාවිත වෙනවා. එසේ ගෙන ආ පුපුරන ද්‍රව්‍ය තොගය මෙම ස්ථානයේ වසර හයක කාලයක් තිස්සේ ගබඩා කර තිබී ඇති බවයි වැඩිදුරටත් ඔහු පැවසුවේ.
දැනට වාර්තා වන පරිදි සිදු ව ඇති ජීවිත හානි සහ දේපළ හානි ප්‍රමාණය අතිවිශාලයි. සිය දෙනෙකුට ආසන්නව මිය ගොස් ඇති බව ගණන් බලා තිබුණත් තවත් සිය ගණනක් අතුරුදන්ව සිටින බව ඔවුන්ගේ පවුල්වලින් ප්‍රකාශ කර ඇතැයි ලෙබනන් සෞඛ්‍ය අමාත්‍ය හමාඩ් හසන් කියා සිටියා. එමෙන් ම පිපිරීම සිදු වූ ස්ථානයෙන් කිලෝමීටර 10ක සීමාව ඇතුළත පිහිටි සියලු ම ගොඩනැඟිලි බිමට සමතලා වුණා. මින් සිදු වූ සමස්ත හානිය ඩොලර් බිලියන 3 - 5 අතර ප්‍රමාණයක පමණ වනු ඇතැයි දැනට දළ වශයෙන් ගණන් බලා තිබෙන බව බේරූට් ආණ්ඩුකාර මාවන් අබ්බූඩ් පැවසුවා.
දැනටමත් ලෙබනන් රතු කුරුස සංවිධානය ආපදාවට පත් පවුල් දහසක් වෙනුවෙන් තාවකාලික නවාතැන් පහසුකම් පිළිසකර කරලා දීලා. එරට ප්‍රකට ගමන් පහසුකම් සලසන ඇප් එකක්, ලේ දන් දීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පුද්ගලයින් ප්‍රවාහනය සඳහා පහසුකම් සලසලා තියෙනවා.
රුසියානු රජය බේරූට් හි ක්ෂේත්‍ර රෝහල් ස්ථාපනය කිරීම සඳහා වෛද්‍ය උපකරණ සහ සෞඛ්‍ය සේවකයින් ලෙබනනයට පිටත් කර හැරියා. වාර්තා වන අන්දමට කටාර් රාජ්‍යය, කුවේට්, ඉරානය, ඕමානය, ජෝර්දානය යන රටවලින් සෞඛ්‍ය සේවකයන් ලෙබනනයට වහා පැමිණීමට නියමිතයි. මීට අමතරව හමුදා ගුවන් යානා දෙකක් සහ තවත් අත්‍යවශ්‍ය උපකරණ ටොන් 15ක් බ්‍රහස්පතින්දා වන විට ලබා දීමට ප්‍රංශය ඉදිරිපත් වුණා.
පිපිරීමෙන් අනතුරුව ලෙබනන් ජනාධිපති මිචෙල් නයිම් ඔව්න් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළා. මෙම ව්‍යසනය වෙනුවෙන් දැනට ලෙබනන රජය පවුම් බිලියන සියයක ප්‍රතිපාදන වෙන් කොට ඇති බව සඳහන්. බේරූට් නගරය මුළුමනින් ම විනාශ වී ඇති බවත්, මෙය ජාතික ව්‍යසනයකටත් එහා ගිය විනාශයක් බවත් එරට ඇමරිකානු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ජැඩ් චාබන් පවසා තිබෙනවා. මේ ඔස්සේ රට ඉතා ම නුදුරේදී විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙනු ඇති බව විද්වත් මතයයි.
මේ අතර මෙය ගබඩා කරන ලද පුපුරන ද්‍රව්‍යවලින් සිදු වූවක් පමණක් ම දැයි සැකයකුත් මේ වන විට මතු වෙලා. මැද පෙරදිග කලාපයේ සේවය කළ අත්දැකීම් බහුල හිටපු CIA සාමාජිකයෙකු වන රොබට් බෙයා ප්‍රකාශයක් නිකුත් කර පවසා ඇත්තේ මෙම පිපිරීම හුදෙක් ඇමෝනියම් නයිට්‍රේට් නිසා පමණක් සිදු වූවක් නොවන බවයි.
‘මෙය පැහැදිලිව ම මිලිටරි ප්‍රහාරයක්. ඒ විශාල තැඹිලි පැහැති ගිනි ජාලාව දකින විට ඒ බව මට ස්ථිරව පැවසිය හැකියි. ඒත් ප්‍රහාරයක් බවට සැක කළ හැකි කිසිදු හෝඩුවාවක් තවමත් හොයාගෙන නෑ.’ ඔහු කියනවා. ‘මම බොහෝ කාලයක් ලෙබනනයේ සේවය කර තිබෙනවා. අපරික්ෂාකාරී ලෙස මෙවැනි තැනක පුපුරන ද්‍රව්‍ය ගබඩා කිරීමේ වගකීම භාරගන්නට කිසිවෙකු ඉදිරිපත් නොවන බව මම හොඳින් දන්නවා.’ ඒ රොබට් බෙයාගේ අදහස.
මේ සියල්ල අතරේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිපිරීම ගැන කනගාටුව පළ කරමින් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශයක් නිකුත් කළා. එහිදී ඔහු මේ සිදුවීම ‘ප්‍රහාරයක්’ (Attack) ලෙස හඳුන්වා තිබෙනවා. ඒ අනුව ඒකත් මේ සැකය වර්ධනය කරන්න හේතුවක් වෙලා.
කොහොම වුණත් පිපිරීම පසුපස ඇති කතාව අනාවරණය කරගෙන වරදකරුවන්ට දඬුවම් කිරීම සඳහා වූ විමර්ශන මේ වන විටත් දියත් කර ඇති බව ලෙබනන් රජය ප්‍රකාශ කරලා තියනවා.
Countries that let you in without a fuss with your Lankan passport
We tasted every locally brewed and available beer. In the name of science!
Beautifully designed comfortable restaurant in Delkanda, has delicious Sri Lankan Chinese, Thai and Western food as well as super taste juice and…
Arguably the best grill in CMB.
We love mojitos, and we love Coronas. So, we thought to bring the best of both worlds together with a refreshing Corona ...
Delete Comment