Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

අංකල්.. වරකා මල්ලක්ම රු. 100යි! ගන්නකෝ.. පුච්චපු ඉරිඟුත් තියෙනවා..

“මාත්තයා.. මාත්තයාලා කොළඹ ඉඳන්නෙ එන්නෙ. මෙතන නැවැත්තුවෙත්…

Posted by

හසලක, උඩගල්දෙබොක්ක ඉස්කෝලෙට පෑන් පැන්සල් ටිකක් අරගෙන මායි යාලුවො දෙන්නෙකුයි..

කදමලු තර කරගෙන දොර දෙකේ ජීප් එකේ..

ඇත්ත කියන්න එපැයි, ඒ ගමනෙ නම් පාන්දර පිටත් වෙලා, නිදිවරාගෙන කට්ටකන කතාවක් තිබ්බෙ නෑ. හැබැයි කලින්දා පොඩ්ඩක් මහන්සිවුනා මොකද කොල්ලො, කෙල්ලො සෙට් එකම එකතු කරලා දුන්න පාසල් උපකරණ ලස්සනට පැක් කරන්න වුන නිසා.

ම්.. ඊටත්, ඒවා බැක්පැක් වලට ගහන්න වුනානෙ දශමයක් ඉඩ නොතියෙන්න. ඇයි අප්පේ 15, 20 දෙනෙක් එකතු කරලා දුන්න බඩු, 3දෙනෙක් කරේ ගෙනියන්න ඔ්න ගමට යනකම්. ඒකත් එසේ මෙසේ නෙවෙයි, දඹ කන්දෙ කිලෝමීටර ගාණක්..

උදේ 7ට විතර පිටත්වෙලා ඉතින් අපි හෙමින් සැරේ..

නුවරත් පහුකරලා ඔන්න දහඅට වංගුව බැහැලා හිටං මතුවුනා විතරයි ගුරුලුපොතට. වැඩේ වුනේ ඒ වෙද්දි අපි හොඳ බත් වේලක් එහෙමත් බඩට දාගෙන හිටියෙ. ඉතින්.. ඒකෙන්ම කට්ටියට නිදිමතකුත් ලයින් වෙලා. ගමනත් හෙමින්.

“ඒහ්.. ප්ලේන්ටියක් ගහල විටක් කන්න තැනකට ලයින් කරාංකො” පිටිපස්සෙ සීට් එකේ ඉඳපු මාජිගෙන් වාහන හිමිකරුට ඔ්ඩරයක්.

“මාත් මේ බල බල ආවෙ බං. පහළට බැස්සත් හරි එහෙම තැනක්…”

“ඒ.. ඔ්ං ඔ්ං පොඩි එව්වො වගයක්. බලාං මොනවද තියෙන්නෙ කියලා. අච්චාරු පාරක් වුනත් අවුලක් නෑ. නිදමත කැපෙන්නනෙ”

හෙමින් ආපු නිසා වාහනේ ඒ හැටි දුරක් පහු කරන්නෙ නැතුවම ඉස්සරහ ඉඩ තියෙන තැනකින් නැවැත්තුවා. නවත්තල මෙන්න බහින්න හදද්දිම පොඩ්ඩෙක් දොර ලඟ!

“අංකල්, අංකල්.. වරකා මල්ලක්ම රු. 100යි! ගන්නකෝ.. පුච්චපු ඉරිඟුත් තියෙනවා..”

“හා.. වරකාද පුතේ. හ්ම්..

ඒහ් මොකෝ කියන්නෙ දෙසලා දාමුද වරකා පාරක්. අතන අර ආච්චම්මා ගාව ඇතිනෙ ලුණු ගම්මිරිස් ටිකක් එහෙමත් ඉල්ලගන්න”

“දෙයියෙක් නෙවෙයි බං. දේවාලයක් උඹ නං. බැහැං බැහැං. වරකා නං ඉතින් දෙසන්න බැරියැ ගස් පිටිං උනත්”

තුන්දෙනා බැස්සෙ නිකම් ‘ඩූම් මචාලේ’ වගේ.

බැහැලා ඔන්න කිට්ටු කලා පොඩි පොල් අතු මඩුව ලඟට. යනකොට ආච්චි කෙනෙක් ඉන්නවා ගලක් උඩ වාඩිවෙලා ලොකු හැලියකට ගින්දර දදා.. ඊට එපිටින් කැන්දකොල එලපු පන් වට්ටියක තම්බපු ඉරිඟුයි, පුච්චපු කිරි ඉරිඟු. මෙහා පැත්තෙ තඩි වරකා පලුවක්. ලොකු කොල්ලා ඒකෙන් හෙමින් සැරේ මදුලු ගලව ගලව බෑග් වලට දානවා.

“ආච්චම්මා..

අපි මේ මල්ලි කියපු නිසාම වරකයක් කන්න කියලා. ලුණු, ගම්මිරිස් චුට්ටක් නැතිවෙයිද ගන්න”

මූණ දිහා බලලා, විට කාලා රතුම රතුපාට වුනු කටින් ලස්සන ලොකු හිනාවක්! හැබැයි උත්තරයක් නෑ, ලොකු කොල්ලට තට්ටු කරලා අතින් මොකක්ද කිව්වා.

“මාත්තය එන්න වාඩිවෙන්න. පැල ඇතුලට වෙන්න ගහල තිබ්බ පුංචි ලී බංකුව අපිට පෙන්නපු කොල්ලා, පොඩි ලී කොට කෑල්ලක් ගෙනැල්ලා ඒ බංකුව ඉස්සරහින් තිබ්බා. තියලා අටුව යට තිබ්බ රෙදි මල්ලකින් ගත්තා පුංචි බෝතල් 2ක්. අපිත් ඉතින් සද්දයක් නෑ, වැඩේ බලාගෙන ඉන්නවා. 

බෝතල් දෙක අරගෙන අර වට්ටියෙන් ලොකු කැන්ද කොලයක් එලලා ඔන්න..

ඇති හැටියට ලුණුයි ගම්මිරිසුයි. ඊට පස්සේ.. මේං තව කාලෙ බෝතලයකුත්.

“ෂැහ් මරුනෙ. මල්ලි අපිට.. දෙන්නකො ඔය අලුත් වරකා බෑයෙන් මදුලු 20ක් 30ක් ගලවලා. ඒක නෙවෙයි මේ වීදුරු බෝතලේ මොනවද මල්ලි.”

“ආ, මාත්තයා ඔ්කෙ මී පැණි.

මේං.. මං දැන් මේ ගලව ගලව හිටිය ටිකෙන්. මාත්තයලා කන්නකො. මං ගලවලා දෙන්නං”

තුන්දෙනාට නිකම් පිස්සු වගේ. වරකායි, ලුණු ගම්මිරිස් එක්ක මී පැණියි. ඒ විතරක් නම් බැරියැ, මෙන්න ආච්චම්මා අර පුච්චපු ඉරිඟු ටිකකුත් ගෙනැල්ලා කිට්ටුවෙන්ම තිබ්බා. තියලා ආයෙත් අතින් මොනවදෝ කිව්වා.

“පුච්චපුවට මී පැණි දාගෙන කන්න ඔං මහත්තයා” ආච්චි අතින් කියපු එකේ තේරුම ලොකු මල්ලිගෙන් වචන වලට.

ඔය අස්සෙ මං බැලුවා කෝ අර මුලින්ම වාහනේ ලඟට ආපු පොඩ්ඩා කියලා. බැලින්නං.. මෙන්න ටිකකින් ඒකා එනවා බරට බරේ ලීටර් 5 වතුර කෑන් එකකුත් පුරවගෙන කොහේදෝ පල්ලමක ඉඳන්. ගේගන්නත් බෑ ඒකාට ඒක. බිම තිය තිය, දෙපැත්තට වැනි වැනි…

ඔ්ය වගේ ඒවා ඉතින් අපි 3දෙනාටම බලාගෙන ඉන්න අමාරුයි. බංකුවෙ කෙලවරේම ඉඳපු යාලුවා සනික නැගිටල ගිහින් කෑන් එක, එක අතකින් අරගෙන, අනිත් අතින් කොල්ලවත් වඩාගෙන ආවා.

“කොහෙද පුතේ ගියේ වතුර ගේන්න”

“පල්ලෙහා අපේ ගෙදට්ට ගියේ අංකල්”

“ආ එහෙමද. කවුද ගෙදර ඉන්නෙ තව”

“ආ.. කවුරුත් නෑනෙ. ආච්චම්මයි මායි, අයියයිනෙ”

“ඈහ්.. එතකොට අම්මලා තාත්තලා?”

මං ඒ ප්‍රශ්නෙ ඇහුවා විතරයි ආච්චමයි, ලොකු කොල්ලයි දෙන්නම මගේ දිහා බැලුවා. ආච්චම්මගෙ නම් ඒ වෙලාවෙත් තිබුනෙ ලස්සන හිනාවක්. හැබැයි ඔලුව හොලවලා මොකක්දෝ කිව්වා. ඊට පස්සෙ නම් ඇත්තටම අපිට වරකා කනවට වඩා ලොකු වැඩක්!

එයාලගෙ කතාව අහන්න...

පොඩ්ඩන්ගෙ අම්ම ඊට අවුරුදු 6කට විතර කලින් බබෙක් හම්බුවෙන්න ගිහිල්ලා නැතිවෙලා. ඒ දුකත් එක්ක තාත්තා ඊට මාස ගාණකට පස්සෙ පපුවෙ අමාරුවකින් නැතිවෙලා. ඒ ඔක්කොටම කලින් තමයි ආච්චම්මට පිළිකාවක් ඇවිල්ලා දිවේ කොටසක් කපලා අයින් කරලා තියෙන්නෙ. දැන් ලොකු කොල්ලා වත්තෙ පොඩියට වගා කරනවා. ආච්චම්මා කඩේ කරගෙන යනවා. පොඩ්ඩා යක්ස පැටියා වගේ ලොක්කටයි, ආච්චිටයි දෙන්නටම සපෝට් කරනවා. ඉස්කෝලෙ මුල් කාලෙදි ගියාට, පස්සෙ පස්සෙ දුප්පත්කම නිසාම යාගන්න බැරි වෙලා.. 

අපී.. එතනින් එහාට එයාලට කරපු උදව් මෙතන කියන්න යන්නෙ නැහැ.

කොහොමහරි ජීවිතේ පළවෙනි පාරටයි.. අපි 3දෙනාම පුච්චපු බඩ ඉරිඟු, පංකාදුවට ඉදුණු වරකා.. ටොප් මී පැණියක් එක්ක රස බැලුවෙ. ඒත් අපි ඇහුවා ලොකු මල්ලිගෙන් මොකද මේ මී පැණි දෙන්නෙ, මේවා හරි ගණන්නෙ කියලා.

“මාත්තයා.. මාත්තයාලා කොළඹ ඉඳන්නෙ එන්නෙ. මෙතන නැවැත්තුවෙත් වරකා කන්නනෙ. අපි මේ මි පැණි ගෙදර කෑමට කියලා තියා ගත්තට අපිට හම්බෙන දෙයක් නෑනෙ. ඊට හොඳයි, ඔ්වා වැඩිය කන්න හම්බෙන්නෙ නැති මාත්තයලට දීලා.. අපිටත් සතුටුයි, මාත්තයලත් ආයෙ මෙහේ එන වෙලාවක මෙතන නවත්තයිනෙ”

වයස අවුරුදු 14ක විතර කොලුවෙක්ගෙ උත්තරේ…!

Leave a comment