Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

පිදුරුතලාගලින් එහා මන්දාරම සොයා…

හැබැයි ඉතින් ලං වුනා ලං වුනාම…

Posted by

පිටිපස්ස සීට් එකේ නිදාගෙන ආවට මොකද එළි වෙද්දිම, ඇස් දෙකට ඉර එළියක් වැටුන යාළු.. එතනින් එහාට ඉතින් නෝ නින්ද. කරන්න දෙයක් නැතිම තැන තමයි හොඳ හැටි ඇස්දෙක ඇරල වටපිට බලල, වතුර බෝතලේ අරගෙන කටත් හෝදල, වතුර බිව්වෙ බඩ පිරෙන්න.

බීලා..

“ඒ කොහෙද බං මේ අපි ඉන්නෙ? ලොස්ට් වර්ල්ඩ්ද?”

“ඉදකින් තෝ නැගිට්ටද? ආ.. මෙන්න මේක කාපං” අතට ආවා තඩි සොසේජ් බන් එකක්.

“කියාංකො. බොලා උදේට කන්නත් නැවැත්තුවද. ඇයි යකෝ මට කතා කලේ නැත්තෙ?

ම්.. මෙහ්, ඒක නෙවෙයි. ඇත්තටම මේ අපි දැං මන්දාරම්නුවරට ලං වෙලාද බං?”

“ඔව් ඔව් යකෝ. ලංවෙලා. ලංවෙලා නෙවෙයි ඇවිල්ල ඉන්නෙ. නුවර එළියෙ නවත්තල බොට කතා කලාට, බෝ ‘හරි හරි හරි..’ ගාලා අනික් පැත්ත හැරිල නිදාගත්තෙ. දැං එනව මෙතන වැළලෙන්න”

ඉන් එහාට ඉතින් සද්ද නෑ මම. මොකටද නිකං අඩු ගාණට වැඩි කතන්දර ප්‍රමාණයක්. හෙමින් සැරේ දැම්ම ඇස් දෙක වීදුරුවෙන් එළියට. ‘හප්පේ.. මුලු හතර දිග්බාගෙම කඳුවලින් වට වෙලා. ඒ විතරක් නම් බැරියැ, මීදුම! ඇඟපතේ ගෑවි නොගෑවි යන ගාණයි. සීතලක් ඒ හැටි නොවුනට.. වටපිටාවෙ කඳු හෙල් සිසාරා යන හෙල්මලු වගාවෙ තියෙන ලස්සනත් එක්ක..

සිත් යාය මත මල් යාය පිපේ කිව්වලු’

ඔය විදියට ඉතින් අපි ලොකු දුරක් ගියෙත් නෑ. මොකද ඒ වෙද්දිමත් මන්දාරම්නුවර ටවුමට කිට්ටු කරලනෙ තිබ්බෙ. කොහොමහරී.. ටවුමත් පහුකරගෙන අපි මහා දැවැන්ත කොඩිගලයි ඊට එපිට පිදුරුතලාගලයි දිහා බලාගෙන ගියා ඒ පාරෙ කෙලවරටම. යද්දිනෙ.. ඔය ඉන්නෙ, අපේ කෑම්පින්ග් වැඩේ බාරගත්ත අජිත් අයිය. ලස්සන හිනාවක් එහෙම දාලා.. ෂැහ්, බලන්න එපැයි පිළිගැනීම.

“ඉතින් මල්ලි, මොකෝ වෙන්නෙ. අමාරුවුනේ නෑනෙ හොයාගන්න?”

“නෑ නෑ අයියෙ. පරණ මතකයත් ලාවට තිබ්බනෙ.”

“එහෙනම්.. වාහනේ පාර්කින්ග් එකට දාලා කෙලින්ම යමු නේ කන්දට. මොකද එතන කෑම්පින්ග් එක ගහල තමයි බලන්න ඕන ඊලඟට ඔයාලගෙ ෂෙඩියුල් එක කොහොමද කියල.

“අනිවා අනිවා අයියෙ”

වචනයයි දෙකයි, අපේ සෙට් එකම තඩි බැක්පැක් ටිකත් එක්ක හෙමින් හෙමින් ගාටයි. ඒ අතරට ඉතින්.. මද විරාම එහෙමත් නොතිබ්බාම නෙවෙයි. ඊටත් වැඩේ කියන්නෙ ඒ විරාම වලදි අපි අත්විඳපු, රසවිඳපු සොබා සෞන්දර්යය.. කියල වැඩක් නෑ යාළු. හැරත් ඒවා එහෙම්ම විස්තර කරන්නත් බැරි ගානයි. බොරුනම් ඔන්න පහළින් තියෙනව ෆොටෝ ටිකක් ඔයාලම බලන්නකො!

කොහොමහරී.. උපරිමය පැයකින් වගේ අපි ලංවුනා කෑම්ප් සයිට් එකට.

හැබැයි ඉතින් ලං වුනා ලං වුනාම තමයි. සොඳුරු වටපිටාවම හද බැඳගෙන, කොටින්ම කියතොත් කට්ටිය බැක්පැක් ටික පැත්තකින් තිබ්බා.. ගෙනාපු පෝචිචියෙන් තේ ටිකකුත් දාගත්තා.. ‘මීක්’ නෑ අයිනට වෙලා, ඈත බලාගෙන, නිසොල්මනේම!

වෙලාවට ඒ අතරට ගයිඩ් මල්ලි ටෙන්ට් ටික ගහල, මෙට්ට දාලා, ගිණිමැලෙත් අටවල වැඩ කටයුතු ටික අවසන් කලේ.

ඊට පස්සෙ ඉතින්.. හැමෝම වගේ දවල් කෑම ටික කෑවා. කාලා…

ඇත්තටම මම හිතුවෙ ඇවිදින්න යයි කියල. කොහෙද, මෙන්න ගමනෙ විඩා හරින්න.. හරි හරියට ටෙන්ට් ඇතුලට.

මදෑ වෙච්ච දේ කියල, අන්තිමට ඉතුරු වෙච්ච යාළුවයි මායි බූට් කාරියත් දාගෙන ගියා පොඩි රවුමක් ගහන්න. නිකම්මත් නෙවෙයි, සද්ද නැතුවම දවල් කෑම වෙලාවෙ චියර්ස් වෙච්ච බෝතලෙන් ෂොටකුත් දාගනෙ. ඊටත්, රෑ වෙන්නත් තව සෑහෙන්න වෙලා තිබුනනෙ.

කොඩිගල, බෙරගහන ඇල්ල, මහලෙන, කොළපතන ඇල්ලෙ මුදුන, පිදුරුතලාගල වෙනකම්ම දිවෙන පුංචි පුංචි අඩි පාරවල් දිගේ.. ඉස්සරහට යන්නම හිත වුනත්, නොගිහින් හිටියෙ සත්තකින්ම ආපහු එන්න වෙලා මදි නිසා. ඇත්තටම හරිම දුකයි. ඒත්.. පහුවෙනිද උදෙන්ම කැළේට ආයෙත් රිංගනව කියල මතක් වෙද්දි.. සතුට හද පුරා යයි!

ගොම්මනෙත් අවසානයටම වගේ.. අපි ආපහු කෑම්ප් සයිට් එකට එනකොට.

බාග වෙලාවට කළුවර වැටිල කිව්වත් හරියටම හරි. ඊටත් අපේවුන් ටික.. ගිණි මැලේ පත්තු කරලනෙ ඒ වෙද්දි. ගයිඩ් මල්ලිත් බාබකියු එකට අඟුරු අවුලවනව.

ආයෙ යාළු.. අපි බකන් නිලම් ඉන්න?

හැරෙන තැපෑලෙන් අතපය හෝදගෙන ලං කලා සනික ගිණිමැලේට. ලං කරලා හරි හරියට දාගත්ත සීතල යන්න කියල ෂොට් එකක් සැන්ඩි අඩුවෙන්. දාලා.. උණු උණුවෙ දුම් දදා පිඟානට වැටෙන චිකන් කෑල්ලකුත් කටට හැපුවා.. හප්පේ.. හක්කත් එක්ක රස නහර පිනාගියේ, ඕං..

වැඩේ වුනේ සියල්ලම, එක පාරටම, පදමටම ගැලපිච්ච එකනෙ. ඉතින්.. එතනින් එහාට අඩුම කුඩුම ඔක්කොම වගේ කලවමේ ගියේ. අන්තිමට මහ පොදයක් වගෙත් ආවා ගාණක් නෑ කාටවත්. රෑ මැදියමට වෙන්න වගේ මතකයි එකෙක් කෑ ගැහුවා, “අහස පෑදිලා තරු පේනෝ” කියල. කට්ටියත් නැගිටල ගියාද කොහෙද..

මං නං...!

පහුවෙනිදා හිමිදිරියෙ,

අමාරුවෙන් ඇස් දෙක ඇරියට මොකද.. හිරු කිරණයි, පිනි බිඳුයි, මිහිදුමයි.. කතාවෙලාද මන්දා මුලු නුවරම, සත්තයි.. මනස්කාන්තම මන්දාරමයි.. ඒකෙ අත්දැකීම විඳගන්න නම් මං හිතන්නෙ ලංකාවෙ වෙන පළාතක් නැති ගානයි යාළු. වැඩිය ඕන නෑ, ඔය අපේවුන් ටික කලින් දවසෙ හැන්දෑවෙ වගේම.. ‘මීක් නෑ’, ගයිඩ් මල්ලි උදෙන්ම ගෙනාපු තේ වලින් ටික ටික දාගෙන කඳු ගැටේ අයිනට ගිහිල්ල ඈත නිම්නය දිහා බලාගෙන ඉන්නෙ.

හ්ම්..

එහෙම ඉඳල ඉඳල තමයි ලට්ට ලොට්ට සියල්ල අකුලගෙන පල්ලෙහාට බහිද්දි වෙලාව 10ත් පහුවුනේ. ඉතින් ඒ ගැම්මට ගිහින් කොලපතන ඇල්ලත් බලල ඇවිල්ලා.. අජිත් අයියගෙ බංගලාවෙ සුවපහසුව ටිකක් වැතිර ඉඳලා.. ඉතිරිව තිබ්බ කෑම බීම, අනං මනං ටිකත් අහවර කරල තමයි..

සුන්දර මන්දාරම් පුරවරයට සමුදෙන්න තීරණය කලේ.

ඒකත්.. කට්ටියගෙ පැය ගාණක ෆොටෝ ගැහිල්ලකටත් පස්සෙ.

මගෙ නම් ඒ පැත්තට, ඒ හැටි ආසාවක් නැතිවුනාට.. ආපහු යන ගමනෙ,

කොඩිගල දිහා බැලුවෙ,

සමාවෙන්න මේ පාර පය තියන්න බැරි වුනාට..

ආයෙත් දවසක එන්නම්.. ටික වෙලාවකට හරි ආදරය කරල යන්න!

Leave a comment
Last 7 Days

Trending Today