Artwork for Brew-at-Hatch-Top Banner 2 A
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for PMF Ifatr Sidebar banner 1

පරණ පුරුද්දට සමරන අලුත් අවුරුද්ද..

අපි ඇත්තටම සාමයෙන් ද? සතුටින් ද? සෞභාග්‍යය උදා…

Posted by

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යන එක පැත්තකින් තිබ්බොත්, ඇත්තටම අලුත් අවුරුද්ද කියන්නෙ අනෙක් වැඩ ඔක්කොම පොඩ්ඩකට පැත්තකින් තියල මිනිස්සු ඔක්කොම ‘එකට එකතු වීමේ සතුට’ සමරන උත්සවයක්. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යන එක අපිට පේන්න මහ පොළොව උඩ සිද්ද වෙන දෙයක් නෙමේ නෙ. ඒත් හැමෝම එකට එක්කහු වෙලා විනෝද වෙන එක ඇත්තට ම ලෝකෙ අපිට පේන්න සිද්ද වෙන්න පුළුවන් දෙයක්. ඒ හින්ද මං හිතන්නෙ ඇත්ත සෙලිබ්‍රේෂන් එක වෙන්න ඕන මිනිස්සු එකමුතු වෙන එක මිසක් අර ජ්‍යෝතිෂ කාරණාව නෙමේ.

කාලාන්තරේකට කලින් ලංකාවෙ මිනිස්සු, ඒ කියපු ජ්‍යෝතිෂ කාරණාව පදනම් කරගෙන වුණත්, අලුත් අවුරුදු කියල අර කියපු හැමෝම ඒකරාශී වීමෙන් ලැබෙන සතුට සැමරුවා. ඒ එක්කම බක් මාසෙ අලුත් අස්වනු ගෙට ගන්න එක, අතට මුදල්හදල් ලැබෙන එක වගේ ප්‍රායෝගික කාරණාත් එක්ක බක් මාසෙ ජීවිතේ අලුත් වීම සමරන්න ඒ අයට හේතු තිබුණා. ඒ අය කැවිලි පෙවිලි හැදුවෙ, රබන් ගැහුවෙ, අලුත් ඇඳුම් ඇන්දෙ, නෑගම් ගියේ, ජනක්‍රීඩා කළේ.. චාරිත්‍රයක් විදිහටත් වඩා, අර කියපු අස්වනු කපලා අතට යහමින් මිලමුදල් ලැබිලා ජීවිතේ අලුත් වීමේ ඇත්ත සතුට සමරන්න.

ඒත් දැන් අපිට එහෙම ඇත්ත සතුටක් තියනවද? අපි ලෝකෙ තියන අන්තිම රෙද්ද ගන්න වගේ තෙරපි තෙරපි ෂොපිං යන්නෙ සතුටට ද? ටෙලිවිෂන් අවුරුදු උත්සවවල ගෑනු අය රබන් ගහන්නෙ සතුටට ද? අපි ඇත්තට ම අලුත් අවුරුදු කියල එකක් සමරන්නෙ කැලැන්ඩරේ එහෙම දවස් දෙකක් මාක් වෙලා තියන නිසා පුරුද්දට වගේ. දැන් අපි කරන ගොවිතැනකුත් නෑ. ගෙට ගන්න අස්වැන්නකුත් නෑ. හාල් ටික ගේන්නෙත් පිටරටින්. කැවිලි පෙවිලි ගෙදර හැදිල්ලකුත් නෑ. ඇති එකමුතුකමකුත් නෑ. නෑගම් යන්නෙත් යුතුකමට මිසක් කැමැත්තෙන් නෙමේ.

ඡායාරූපය: www.sundayobserver.lk

මාර්තු මැද විතර වෙද්දි අලුත් අවුරුදු මතක් කරන්නෙ මීඩියා. අවුරුදු මතක් කරනවම නෙමේ. බලහත්කාරෙන් මිනිස්සුන්ට ෆෙස්ටිව් මූඩ් එක ආරෝපණය කරනවා.

මේ අලුත් අවුරුද්දෙ අහවල් පිටි කළ පොල්කිරිවලින් කිරිබත් හදන්න..

අවුරුදු කෑම මේසෙට අහවල් බේකරියෙන් කස්ටමයිස්ඩ් අවුරුදු කේක් එකක්..

අවුරුදු කෑමට හරි යන්න අවුරුදු බීම..

සීයට පනහක් දක්වා අවුරුදු දීමනා..

කොටින් ම අවුරුදු කාලෙට සාමාන්‍යයෙන් පේමන්ට් එකෙන් ගන්න පුළුවන් කොකිස් අච්චුවක් විකුණන්න පවා දැන් ටීවී කමර්ෂල් කරනවා. ඉතින් මුළු රට ම කඩිගුලක් වගේ ඇවිස්සෙනවා.

ඡායාරූපය: Pradeep Dambarage

අපි අවුරුදු සිරිත් විරිත් කරන්නෙත් ටීවී එක දිහා බලාගෙන. නැකත් මතක් කරන්නෙත් ඒගොල්ලො. ඒගොල්ලො රට වටේ අවුරුදු උත්සව කියල ජාතියක් තියතිය යනවා. අමාරුවෙන් රෙදි හැට්ට, සරං බැනියං ඇඳගෙන, අතීතේ මිනිස්සු හැසිරුණ විදිහ මවා පාන්න අමාරුවෙන් උත්සාහ කරනවා. අවුරුදු කාලෙට විතරක් බිස්නස් සරු වෙන ජන ගී කණ්ඩායම් හැම චැනල් එකේ ම එක ම නැටුම් ටික නටනට තෙල් ඉහිරෙන හිනා පානවා. ඒ අහළ ගං හතක මිනිස්සුත් තමතමන්ගෙ ගෙවල්වල අවුරුදු සමරන එක පැත්තක තියල, ටෙලිවිෂන් එකෙන් ඇවිත් කරන නාඩගම බලන්න ක්‍රීඩාංගණේට පෙළ ගැහෙනවා. කොටින් ම අලුත් අවුරුදු වැඩසටහන් කරන ටීවී නිවේදක නිවේදිකාවෝ කතා කරන්නෙ හැසිරෙන්නෙ ඇවිදින්නෙ අතපය හොලවන්නෙ පවා දේශීය ක්‍රමේට. ඒ අස්සෙ ‘අපේකම’ සම්බන්ධ විශාරදයො ටිකක් පාට පාට හෑන්ඩ්ලූම් සරම් කමිස එහෙම ඇඳගෙන ටීවී එකට ඇවිත් හැම අවුරුද්දෙ ම කියන නොස්‌ටැල්ජික් කතා ටික බරසාර විදිහට කියලා, මොකද්ද එකක් ‘රැකගන්න’ උපදෙස් දෙනවා.

සුපර්මාකට්වල අවුරුද්දට ම හදපු ආටිෆිෂල් වී බිස්සවල් අස්සෙ විකුණන්න තියපු, පැකට් කරපු කැවුම් කොකිස් ගෙවල්වල අවුරුදු මේස උඩට එනවා. සාමය සතුට සෞභාග්‍යය පිරි.. එක ම එස්එම්එස් ටික ෆෝන් එකෙන් ෆෝන් එකට මාරු වෙනවා. ගිය අවුරුද්දෙ ඉඳන් ඔය සුපුරුදු සුබපැතුමට ‘නිරෝගිකම’ත් එකතු වෙලා තිබුණා. ඒ අස්සෙ ගමෙන් ඇවිත් කොළඹ පදිංචි වෙලා ඉන්න ගැමියො ටික ඔක්කොම අවුරුද්දට ගමේ යනවා. කොළඹ පාළු වෙනවා. ‘මෙහෙ ගිහින් අරෙහෙ නොගියොත් ඒගොල්ලො තරහ වෙයි’ කියල හිතහිත අමාරුවෙන් වුණත් හැම නෑදෑ ගෙදරට ම ගොඩ වෙනවා. හැමෝටම යුතුකම් ඉෂ්ට කරන්න රෙදිපිළියි හැම ගෙදරට ම බඩුමුට්ටුයි ගත්තම අප්‍රේල් මාසෙ පඩියයි යන්තම් හම්බුණ බෝනස් එකයි දෙක ම ඉවර වෙන හැටි දැකල යටිහිතෙන් අඬනවා. හදිස්සියෙවත් එක ගෙදරකට හරි නොගියොත් එහෙම, පරණ තරහ මරහ අමතක කරලා අලුත් තරහ මරහ ඇති කරගන්න තැනට වැඩ සිද්ද වෙනවා.

ඡායාරූපය: Pinterest

හැම අවුරුද්දෙ ම එක ම සින්දු ටික ආයෙ ආයෙ ඇහෙනවා. එක ම ටීවී ප්‍රෝග්‍රෑම්ස් ටික ආයෙ ආයෙ යනවා. එක ම ඇක්ටිවිටීස් ටිකක් පුරුද්දට වගේ ඔහේ සිද්ද වෙනවා. අපි නං ඔය මනස්ගාත පිළිගන්නෙ නෑ කියල ජ්‍යෝතිෂඥයන්ට හිනා වෙන ඈයෝ, දාර්ශනිකයෝ, මාක්ස්වාදියෝ, නූතනවාදියෝ, වාමාංශිකයෝ සේරම එකතු වෙලා වේලාව නොවරදවා නැකතට නූලට වැඩ අල්ලනවා. ආහාර අනුභව කරනවා. අවුරුදු කෑම මේසේ ළඟ ඉඳන් සෙල්ෆි ගහල ෆේස්බුක් දානවා.

මේ ඔක්කොම එක ලොකු නාට්‍යයක් වගේ. කරන්නෙ ඇයි, හේතුව මොකද්ද, තේරුම මොකද්ද.. කිසිවක් නොදැන ඔක්කොමලා එක රැල්ලක ගහගෙන යනවා. අපිට ඇත්තට ම සතුටු ද? අපි ඇත්තට ම සාමයෙන් ද? සමගියෙන් ද? අපිට සෞභාග්‍යය උදා වෙලා ද? කවුරුත් ඒ ගැන නැවතිලා හිතනවද?

‘සම්ප්‍රදාය කියන්නෙ ගින්නෙන් දැවිලා ඉතිරි වුණ අළුවලට වන්දනාමාන කරකර ඉන්න එක නෙමෙයි, ගින්න ආරක්ෂා කරගන්න එක’ කියල කිව්වෙ 19 වැනි සියවසේ ජීවත් වුණ ගුස්ටාව් මාහ්ලර් කියන ඔස්ට්‍රියානු සංගීතඥයා. දැන් 21 වෙනි සියවසේ ඉන්න අපි, කාලෙකට කලින් ගින්න නිවිලා ගියාට පස්සෙ, අළු ගොඩට සැරසිලි කරකර අළු ගොඩ නඩත්තු කරකර ඉන්නවා.

See 1 Comment