Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

නෙළුම් කොළේ බත් කන්න කියාපු කඩ 8ක්...

නෙළුම් කොළේකට බත් බෙදුවම අගය දෙගුණයකින්…

Posted by

ලංකාවෙ අපිට නැතුව ම බැරි කෑම මොකද්ද කියල ඇහුවොත් ඕන කෙනෙක් දෙපාරක් නොහිතා උත්තර දෙයි, ඒ තමයි බත්! වෙන විදිහකට කිව්වොත් රයිස් ඇන්ඩ් කරි. සුදු බත් එක්ක පොළොස් මාළුවයි මස් කරියයි පරිප්පුයි කොළ මැල්ලුමකුයි පපඩමයි සෙට් වුණාම ආයෙ තව මොන කතා ද? කියද්දිත් මැවිල පෙනුණ නෙ?

මේ බත් එකේ අගය වැඩි වෙන්න ක්‍රමයක් කියන්න බලන්න.

හරියට හරි! නෙළුම් කොළේකට බෙදුවම රයිස් ඇන්ඩ් කරිවල අගය දෙතුන් ගුණයකින් වැඩි වෙනවා. ඉතින් අපි මේ කියන්න හදන්නෙ, නෙළුම් කොළේට බෙදපු රස ම රස රයිස් ඇන්ඩ් කරි කන්න පුළුවන් කෑම කඩ කීපයක් ගැන. බලන්නකො ඔයා මේවට ගිහින් තියනවද කියල.

නෙළුම් කොළේ

බොරලැස්ගමුව

මෙතන නම ම නෙළුම් කොළේ. පන් වට්ටියකට අතුරපු නෙළුම් කොළයක් උඩට තමයි බත් මාළුපිනි බෙදල දෙන්නෙ. එක එක තාලෙට හදපු එළවළු ජාති කීපයක් එක්ක මාළු, චිකන් සහ පෝක් මෙතන තියනවා. රතු හෝ සුදු බත්වලට ගැළපෙන්න මස් හෝ මාළු කැමති කරියක් සහ එළවළු ජාති කීපයක් එක්ක රු. 200කට විතර රහ කෑම වේලක් මෙතන ඉඳන් ම කන්න හරි, ටේක් අවේ ගන්න හරි, ඔයාට පුළුවන්.

ලුණු මිරිස

බොරලැස්ගමුව

නමේ හැටියට ම හරි යන්න හොඳට කටට සැරට වගේ ම රසට හදපු කරීස් විවිධ ජාති එක්ක ලොකු බත් පංගුවක් මෙතනින් රු. 200කට ටිකක් වැඩි ගාණකට ගන්න පුළුවන්. එක පාරක් ගියොත් ආයෙත් යන්න හිතෙන, මතක හිටින රහක් තමයි ලුණු මිරිස.

කාල බලං - මහ ගෙදර

රත්මලාන

ලංකාවෙ විදිහට හදපු බත් මාළුපිනි, ලංකාවෙ ක්‍රමේට ම මැටි හට්ටිවල දාල ලස්සනට පිළිගන්වල තියන කාල බලං එකේ කෑමත් ඉස්තරම්. සුදු/ රතු බත්වලට මස් හරි මාළු හරි ඇතුළුව කරීස් පහක් තෝර ගන්න අපිට පුළුවන්. ඊට පස්සෙ තියෙන්නෙ පන් වට්ටියකට අතුරපු නෙළුම් කොළයක් උඩට බෙදපු බත් පංගුව හරි හරියට රස විඳින්න.

ජාඩි සමග ගමේ කෑම

නුගේගොඩ

බුෆේ ක්‍රමයට බත් බෙදාගන්න තියන මෙතනත් නෙළුම් කොළේ කෑම කන්න ප්‍රසිද්ධ තැනක්. බත්, මස්/ මාළු එක්ක කැමති ව්‍යංජන හතරක් ඔයාට බෙදාගන්න පුළුවන්. ඒ එක්ක ම බත් එකට බයිට් එකක් විදිහට අමතක කරන්න බැරි, පපඩම් සහ බැදපු මිරිස් ඕන තරම් බෙදාගන්න මේගොල්ලො ඉඩ දෙනවා. ඒ විතරක් ද, නමේ හැටියට ගමේ ක්‍රමයට හදපු ජාඩිත් තියනව මෙතන.

රන්බත්

තුම්මුල්ල

අපි ගිහින් තියන කෑම කඩ අතරින් පිළිවෙළ ම පිරිසිදු ම තැනක් වෙන මෙතනත් කෑම පිළිගන්වල තියෙන්නෙ ලොකු ම ලොකු මැටි හට්ටිවල. මැටි පිඟානකට අතුරපු නෙළුම් කොළයක් උඩට තමයි බත් බෙදන්නෙ. යස පෙනුම වගේ ම රස පදමත් තිතට!

හෙරලි රෙස්ටොරන්ට්

කොළඹ 03

පෙරහැර මාවතේ තියන හෙරලි රෙස්ටොරන්ට් එකත් නෙළුම් කොළේ බත්වලට නම ගිය තැනක්. සුදු බත්, රතු බත් නැත්තං ගී රයිස් වුණත් මෙතන තියනවා. තව චිකන්, පෝක්, මාළු, ඉස්සො, බිත්තර වගේ ජාතිත්. ඒවට ගළපලා එළවළු ජාති හතරක් ගන්න අපිට ඉඩ ලැබෙනවා.

1979 කොකෝ හට්

බොරලැස්ගමුව

1979 රෙස්ටොරන්ට් එකේ රයිස් ඇන්ඩ් කරිවලට වෙන් වුණ කොටස තමයි 1979 කොකෝ හට්. මේක තියෙන්නෙ 1979 රෙස්ටොරන්ට් එක එහා පැත්තෙ. ලස්සන ගැමි ගතියට හදපු මෙතන කෑමත් හරි ම රසයි. මේ පැත්තෙ ගියොත් ගෙවන මිලට සාධාරණ කෑම වේලක් රස විඳින්න ඔයාට පුළුවන්.

තවලම

පාමංකඩ

මැටි බිත්ති, පිදුරු සෙවිලි කරපු වහලක් එක්ක ලංකාවෙ අපේ ගතියට හදපු තවලම, දවල් කෑම වෙලාවට සෙනඟ පිරිල ඉතිරෙන බත් කඩයක්. කෑමවල රස හැම තැන ම පැතිරිලා, හොඳ බත් වේලකට කියාපු කඩයක් විදිහට තවලම ප්‍රසිද්ධ වෙලා තියන එක තමයි ඒකට හේතුව...

නෙළුම් කොළේ බත් කන්න ඔයා කැමති ම තැන මොකද්ද? කමෙන්ට්ස්වලින් අපිට කියන්න...

Leave a comment