Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

ලංකාවේ අලුතෙන් පැනවුණු කොරෝනා නීතිරීති ගැන දැනුවත් ද?

අවදානම දවසින් දවස වැඩි වෙමින්.

Posted by

මේ වෙද්දි ලංකාව තුළ දිනකට වාර්තා වෙන කොවිඩ් 19 රෝගීන් ගණන 1500ක් විතර වෙලා. ඒකෙන් කියවෙන්නෙ රෝගය තවමත් වේගයෙන් පැතිරෙමින් තියනවා වගේ ම, අවදානමත් දවසින් දවස වැඩි වෙමින් තියනවා කියන එක. මේ නිසා ම රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් අලුත් නීතිරීති, නැත්නම් මාර්ගෝපදේශ මාලාවක් පනවන්න සෞඛ්‍ය අමාත්‍යාංශය පහුගිය දවසක කටයුතු කළා. මේ මාර්ගෝපදේශ 2021 මැයි 01 දා ඉඳන් ක්‍රියාත්මක බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

මේ තියෙන්නේ ඒ ගැන තොරතුරු.

රැස්වීම්

නව මාර්ගෝපදේශ මාලාව යටතේ සියලු ම ආකාරයේ රැස්වීම්, සමුළු, සම්මන්ත්‍රණ, මහජන ඒකරාශී වීම්, සන්නාම දිවා භෝජන ආදිය 2021 මැයි 21 දක්වා තහනම්. 21 වෙනිදායින් පස්සේ පවතින තත්ත්වයට අනුකූලව මේ නීතිය යාවත්කාලීන කෙරෙනවා.

උත්සව

අලුත් කොවිඩ් 19 තත්ත්වය යටතේ පනවපු නීතියට අනුව සංවෘත හෝ විවෘත අවකාශවල පවත්වන සාද, උත්සව ආදිය තහනම් කෙරුණා. ඒ කියන්නේ කිසිම එළිමහන් හෝ ගෘහස්ථ උත්සවයක් පැවැත්වීමේ හැකියාවක් නෑ. විශේෂයෙන් මැයි 04 සිට මැයි 20 දක්වා මංගල උත්සව පැවැත්වීම තහනම් කරලා තියනවා. ඒ වගේ ම කානිවල්, සංගීත සංදර්ශන, බීච් පාටි වගේ දේවල්වලටත් අවසර නෑ.

කොවිඩ් 19  ආසාදිත මරණ හැර සෙසු මරණවලදී අවමංගල උත්සවයට එක් අවස්ථාවකදී සහභාගි විය හැක්කේ 25 දෙනෙකුට පමණයි. අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු කළ යුතුයි.

වෙළෙඳසල්

සුපර් මාකට්, ෂොපින් මෝල්, මූල්‍ය ආයතන, රෙදිපිළි සහ සිල්ලර වෙළෙඳසල්, විවෘත වෙළෙඳසල්, පොළවල් සහ බේකරි ක්‍රියාත්මක වෙන්න ඕනේ මුළු පාරිභෝගික ධාරිතාවෙන් 25%ක සීමාවකට යටත් වෙලා. ඒ කියන්නෙ ඇතුළේ සෙනඟ පුරවගන්න මේ අයට පුළුවන්කමක් නෑ. රෙස්ටොරන්ට්වලටත් මේ නීතිය අදාළයි. ඔවුන්ටත් වරකට ඇතුළු කරගන්න පුළුවන් වෙන්නේ මුළු ආසන පහසුකම්වලින් 25%ක සෙනඟ ප්‍රමාණයක් පමණයි.

විනෝද කටයුතු

සිනමා ශාලා, රංග ශාලා, ළමා උද්‍යාන, පිහිනුම් තටාක, තැබෑරුම්, පබ්, බාර්, කැසිනෝ, ක්ලබ් නැත්නම් රාත්‍රී සමාජ ශාලා, ඔට්ටු ස්ථාන සහ සම්බාහන සේවා සියල්ල වසා තැබිය යුතුයි. මත්පැන් අලෙවිසල් නියමිත කාල සීමාව තුළ පමණක් විවෘතව තැබිය හැකියි. හෝටල්, තානායම්, ගෙස්ට් හවුස්වල මුළු ධාරිතාවෙන් 50%ක පිරිසක් රඳවාගන්න පුළුවන්. හැබැයි රාත්‍රී 10න් පස්සේ ක්‍රියාත්මක වෙන්න තහනම්.

වෙනත්

මීට අමතරව ආගමික ස්ථානවල ජනතාව එක්රැස් වී සිදු කරන ක්‍රියාකාරකම් තහනම් කරලා තියනවා. ඒ වගේ ම බන්ධනාගාරවල රැඳවියන් බලන්නත් අවසර නෑ. උසාවිවල කටයුතුවලදී මුළු ධාරිතාවෙන් 25%ක ප්‍රමාණයකට පැමිණිය හැකියි. පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල සහ සියලු ම උසස් අධ්‍යාපන ආයතනත්, ටියුෂන් පන්තිත් නැවත දැනුම් දෙන තුරු පැවැත්වීමට අවසර නෑ. දිවා සුරැකුම් මධ්‍යස්ථානත් වසා තැබිය යුතුයි. අපනයනය මූලික කරගත් ඇඟලුම් කම්හල් වැනි ආයතනවල කටයුතුවලදී, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ, ජෛව විද්‍යාත්මක ආරක්‍ෂිත බුබුළක් තුළ ඒ කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබා දීල තියනවා.

පොදු ප්‍රවාහනය

දුම්රිය සහ බස් රථවල මඟීන්ට ගමන් කළ හැක්කේ ආසනවල ප්‍රමාණයට පමණයි. හිටගෙන යන්න කාටවත් අවසර නෑ. ඒ වගේ ම, ටැක්සි පාවිච්චි කරනකොට ත්‍රිරෝද රථ සහ කාර්වල වරකට ගමන් කරන්න පුළුවන් දෙන්නෙකුට විතරයි. වෙනත් කුලී වාහනවල ආසන ප්‍රමාණයට මඟීන් ගෙනියන්න අවසර තියනවා.

Leave a comment