ලංකාවේ තියෙන රස ම සෙට් යෝගට් එක මොකද්ද?; මේ අපේ අදහස

මේ තියෙන්නේ සෙට් යෝගට් ගැන අපි කරපු ටේස්ට් ටෙස්ට්…

Posted by

කාලෙන් කාලෙට එක ම ජාතියේ කෑම තොගයක් වෙන වෙන බ්‍රෑන්ඩ් වලින් ගෙනල්ලා කාලා බලන එක YAMU එකේ ඈයන්ගේ පුරුද්දක්නේ. ඉතින් මෙදා සැරේ අපි ඒ වැඩේට තෝරගත්තේ නෝමල්, ෆ්ලේවර්ඩ් නොකරපු සෙට් යෝගට්.

ඉතින් අපි මුලින් ම කළේ කීල්ස්, කාර්ගිල්ස් ෆුඩ්සිටි සහ ආපිකෝ වගේ සුපර් මාකට්වලට ගියාම අපට සුලභ ව ම ගන්න ලැබෙන ලෝකල් යෝගට් බ්‍රෑන්ඩ් ටික නෝට් ඩවුන් කරගන්න එක. ඊටපස්සේ අපි ඔය ලැයිස්තුවත් අරගෙන සුපර්මාර්කට් තුන හතරකට ම ගියා.

කොහොමින් කොහොමහරි බ්‍රෑන්ඩ් දෙකක් හැරෙන්න, ඉතුරු සේරම යෝගට් වර්ග ටික ගන්න අපට පුළුවන්කම ලැබුණා. ඔන්න ඔය පහළ වගුවේ තියෙන්නේ ඒ යෝගට් වර්ගයි, ඒවායේ ප්‍රමාණයන් සහ මිල ගණන්.

යෝගට් වර්ගය බර/ප්‍රමාණය මිල (රු.)
Highland 90g 35
Rich Life 80ml 35
Kotmale 80ml 35
Ambewela 80ml 35
Newdale 80g 35
Creamoo 80g 35

 

විශේෂයෙන් ම කියන්න ඕනේ, Lucky සහ Pelawatta යෝගට් බ්‍රෑන්ඩ් මෙතනට ඇතුළත් කරලා නැත්තේ, අපි ගියපු කිසිම සුපර් මාර්කට් එකක ඒ ජාති දෙකේ කිසිම යෝගර්ට් එකක් නොතිබුණු නිසා කියන එක.

එතකොට ලංකාවේ තියෙන රසම සෙට් යෝගට් එක මොකද්ද? කාල ම බලමුකෝ!

Creamoo

අපි කට්ටිය අඩුවෙන් ම ආස වුණේ මේකට. මොකද අනිත් ඒවාට වඩා මේකේ සීනි රස හුඟක් ම වැඩියි. අර සාමාන්‍ය හොඳ යෝගට් එකක එන්න ඕනේ විදියේ ඇඹුල් රසක් මේකේ නොතිබුණු තරම්. අනික ක්‍රීමි ගතියත් ටිකක් මදි. කොහොම වුණත්, ඔය ස්වීට් ගතියට යෝගට් කන්න ආස කෙනෙක්ට නම් මේක අවුලක් නැතිවෙයි.

Newdale

ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ, Newdale කියන්නේ අවුරුදු ගාණක ඉඳලා ලංකාවේ තියෙන ප්‍රසිද්ධ ම යෝගට් බ්‍රෑන්ඩ් අතරින් එකක්. කාලයත් එක්ක තවමත් ඒ කට්ටිය අනිත් යෝගට් වර්ග එක්ක කරටකර තරග වදින විදිය ඇත්තට ම අගය කරන්න ඕනේ. ඒත් අපට තේරුණු විදියට නම්, මේකෙත් පැණිරස අනිත් යෝගට් වලට වඩා තරමක් වැඩියි. හැබැයි Creamoo එකට වඩා වැඩි ඇඹුල් ගතියක් වගේ ම, ක්‍රීමි ගතියක් මේ යෝගට් එකේ තිබුණා. අනිත් කාරණය තමයි අනිත්වට වඩා මේකේ ජෙලි ගතිය වැඩි එක. ජෙලටින් හුඟක් එකතු කරන නිසා තමයි ඒක වෙන්නේ.

Ambewela

Ambewela යෝගට් එකේ ක්‍රීමි ගතිය හොඳයි. අනික අනිත් දෙකට වඩා පැණිරසත් හුඟක් අඩුයි. කටට හොඳින් දැනෙන විදියේ ඇඹුල් රසකුත් තිබුණා. සාමාන්‍යයෙන් අපි දකින සෙට් යෝගට් එකකට වඩා පාට පැත්තෙන් ගත්තොත් මේකේ තිබුණේ සුදු පාටට ගොඩක් කිට්ටු පැහැයක්. කලරින් ජාති නොදාපු නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ.

Kotmale

Kotmale යෝගට් එකත් ගොඩක් හොඳයි. ක්‍රීමි ගතිය නියමෙට ම තිබුණා. අනික පැණි රසත් සෑහෙන්න අඩුයි.

Richlife

ගත්ත යෝගට් සෙට් එකෙන් අපට හොඳට ම අල්ලලා ගිය තවත් යෝගට් එකක් තමයි මේ Richlife එක. පැණිරසයි, ඇඹුල් රසයි නියම ගානට බැලන්ස් වෙලා. අනික මේක කිරි ගතියෙනුත් අනූනයි.

හොඳම යෝගට් එක; Highland

ඔන්න ඉතින් මේ යෝගට් සේරම අතරින් අපේ ඡන්දය වැඩිපුර ම ලැබුණේ අපි කවුරුත් හොඳ හැටි දන්නා Highland යෝගට් එකට. පුදුමයකුත් නෑ ඉතින්, දැන් දශක ගාණක් තිස්සේ අපට හුරුපුරුදු ඔරිජිනල් යෝගට් රස තවමත් අඩුවක් නැතුව දෙන්න ඒ කට්ටිය සමත් වෙලා තියෙනවනේ. මේකේ කිරි රස හොඳට ම තියෙනවා. ඒ වගේ ම ඒකෙන් එන්න ඕනේ ඇඹුල් රසත් හරි ම ගාන. පැණි රසක් ඇත්තේ ම නැති තරම්. නියම යෝගට් එකක තියෙන්න ඕනේ රස ගුණවල් සේරගෙන් ම මේ යෝගට් එක සමන්විතයි.

See 2 Comments
Last 7 Days

Trending Today