Artwork for Coffe top banner 1
Artwork for Coffe top banner 2

කටට සැරට රස පදමට, පෝර්ක් එක්ක පරාටා..!; රු. 300ට හිතේ හැටියට කරි පෝර්ක් රස බලන්න කියාපු කඩ 5ක්

පෝර්කුයි පරාටයි කිව්වාම ඉතින් අපේ අයට… ඉබේට…

Posted by

පෝර්කුයි පරාටයි කිව්වාම ඉතින් අපේ අයට… ඉබේට තොල කට ලෙවකැවෙන සීන් එකක්නෙ තියෙන්නෙ. අනේ මන්ද ඇයි ඒ කියල, පෝර්ක්වලත් මාරම රහක් තමයි තියෙන්නෙ. හැරත් කටට සැරට කන අයට ලෙසටම සෙට් වෙන්න පාන්, රොටි වගේ දේවල් එක්කත් හරි හරියට පෑහෙනවනෙ.

මේ පෝර්ක්, පරාටා කතාව මගෙ ඔළුවට ආවෙ පහුගිය දවසක අපේ හංදිය කිට්ටුව කඩේකින් කාපු පෝර්ක් කරිය මතක් වෙලා. හප්පේ… එදා නම් යාළුවයි මායි වැල කාපු කිඹුල්ලු වගේ. මතකෙ හැටියට කාලා ඉවරවෙලා අත හෝදන්න ගියෙත් විනාඩි 10ක් විතර ඉඳල. ආයෙ, නැගිටින්න තියා හිතාගන්නවත් බැරුව හිටියෙ. බැරිම තැන ප්ලේන්ටියක් බඩට දාගෙන තමයි ඔළුව කෙළින් කළේ.

ඉතින් මට හිතුණා මේ වීක්එන්ඩ් එකේ අපේ පෝර්ක් ෆෑන්ස්ලටත්, ඒ විදියට පෝර්ක් කන්න කියාපු තැන් ටිකක් කියන්න. මහ ගොඩක් නම් නෑ. ඒත් බලන්නකො මේ කඩ ටික කොහොමද කියල.

1. Jadi Samaga Game Kema (Nugegoda)

හැන්දෑවට යන්න. නිකම් 6 කිට්ටු කරල වගේ. ගිහින් ගන්න නෙළුම් කොලේ පෝර්ක් කරියක්. අරගෙන පරටා 5, 6කුත් අරගෙනම වාඩි වුණා නම් තමයි ලේසි. මොකද සැරින් සැරේට නැගිටල යන්න ඕන වෙන්නෙ නෑනෙ. ආ… මතක ඇතුව වතුර වීදුරුවකුත් ළංකරගන්න. ඊට පස්සෙ ඉතින් අපි කියන්න ඕන නෑනෙ.

මෙයාලගෙ පෝර්ක් එකේ රස ටිකක් බ්ලැක් පෝර්ක් පැත්තට බර නිසා සැර චුට්ටක් විතර අඩුයි. අනික හොද්දෙත් බොර ගතියත් වැඩියි. කොහොම වුණත් පොඩියට කපපු පෝර්ක් කෑලි අතරෙ තෙල් කෑලිවලට වඩා මස් කෑලි තියෙන එක ගැන නම් සෑහෙන්න සන්තෝසයි.

2. B-Leaf (Boralesgamuwa)

දන්නෝ දනිති. නොදන්නෝ අහල ඇති. බොරලැස්ගමුවෙ කෙහෙල් කොලේ කිව්වාම අමුතුවෙන් කියන්න කාරණා නැති. මගෙ හිතේ, කොළඹ පැත්තෙ තියෙන පෝර්ක් කරි අතරින් ලිස්ට් එකේ උඩින්ම තියෙන පෝර්ක් කරියක් තමයි, බී ලීෆ් පෝර්ක්.

මෙයාලගෙ පෝර්ක් එකත් බ්ලැක් පෝර්ක් පැත්තට බර වුණාට, සැර නම් මදි නොකියන්න තියෙනව. අනික හොද්දෙ තුනපහ රසත් රොටි, පාන් කන්න කියාපු ගානටනෙ. හැබැයි ඉතින් පාන් කනව නම් ගෙදර ගිහින් තමයි කන්න වෙන්නෙ. මොකද මෙයාල ළඟ පාන් නෑනෙ. ඒත් හැන්දෑවෙ 5 පන්නල ගියා නම් හිතේ හැටියට ආප්ප, පරාටා එක්ක හිතේ හැටියට පෝර්ක් කන්න පුළුවන්.

3. Gihan’s (Kohuwala)

කිව්වට අවුලක් ගන්න එපා යාළු මෙතන නම් පෝර්ක් ටිකක් ගණන්. රු. 300ක් වගේ වෙනව. එතකොට පරාටා එක්ක ගනිද්දි රු. 400ක් වගේ වෙයි. හැබැයි රස හොඳයි. පොඩි චයිනීස් ගතියක් එහෙමත් එකතු වෙච්ච රසක් තියෙන්නෙ. දන්නවනෙ, අර සෝස් වලින් එන ලා.. පැණි රස ගතිය. එහෙමයි කියල මිරිස්, තුනපහ රසේ අඩුවක් නෑ. කොහොම වුණත් පරටා, ගෝදම්බ රොටිවලට නම් ටොප් එකට ගැළපෙනව. හ්ම්ම්… රෝස් පාන් වලට එහෙමත් නරකක් නැති වෙයි මගෙ හිතේ.

4. Ambul Thiyal (Nugegoda)

මේ වීක් එන්ඩ් එක පෝ..ඩ්ඩක් ඉවසල ඉන්නකො. ලබන සඳුදා ඉඳන් ගමේම රහට හැදෙන සුපිරි පෝර්ක් කරියක් එක්ක රොටි කන්න පුළුවන්, නුගේගොඩ ඇඹුල්තියල් එකට ගියානම්.

සැර ඒ හැටි නැති වුණාට පාන් කන්න නම් කියාපු පෝර්ක් හොද්ද. ඊටත් වඩා රසයි මෙයාලගෙ පෝර්ක් කෑලි. ඒත් අවාසනාවට ‘ඇඹුල් තියල්’ පෝර්ක් කරියට තෙල් කෑලි මස් කෑලි සම සමව වගේ තමයි බෙදෙන්නෙ. කොහොම වුණත් උණුඋණු පරාටා එක්ක නම් මේ පෝර්ක් කරිය සුපිරියට නැගල යයි කියල තමයි මට නම් හිතෙන්නෙ.

5. Praneetha (Gangaramaya)

අන්න පෝර්ක් කරි. ෂප්පේ… අපිටම කියාපු ගානට. හොඳ සැරට, තුනපහ රසත් මදි නොකියන්ට, එතකොට උණු උණුවෙම රස බලන්නත්. හැන්දැ වෙලා ගංගාරාමෙ පැත්තෙ ගියා නම් හෙමින් සැරේට ගොඩ වෙන්න තියෙන්නෙ ප්‍රණීත එකට. සෙනඟ ටිකක් ඉඳයි. ඒත් පෝර්ක් ඉවර වෙන්නෙ නෑ. බය නැතුව ඕඩරේ දාන්න පෝර්කුයි, පරාටයි. ආ.. ඒක නෙවෙයි මෙයාල ළඟ පෝර්ක් කොත්තු එහෙමත් තියෙනව. පංකාදු පහයි ඈ.

එහෙනම් හරිනෙ. ඔන්න අපි තැන් ටික කිව්ව. හදිස්සිම කට්ටිය ඉන්නව නම් ඉතින් අද හෙටම ගොඩ වුණත් අවුලක් නෑ නේ…!

See 2 Comments