Artwork for Brew-at-Hatch-Top Banner 2 A
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for PMF Ifatr Sidebar banner 1

සංචාරකයො නැති කොරෝනා කාලේ.. ත්‍රිකුණාමලේ!

හැම නරක දේක ම හොඳ පොඩ්ඩකුත් තියනව!

Posted by

ටුවරිසම් කියන්නෙ මේ දවස්වල කතා කරන්න දුක හිතෙන මාතෘකාවක්. කොරෝනා නිසා ලංකාවේ සංචාරක කර්මාන්තය කවදාවත් නොවුණු තරම් පහළට කඩාගෙන වැටුණා. ඉතින් සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන අය මේ පහු කරමින් ඉන්නෙ ඉතාම නරක කාලයක්.

හැබැයි හැම නරක දේක ම හොඳ පොඩ්ඩකුත් තියනව කියනව නෙ. ඉතින්, විදේශීය සංචාරකයො නැති නිසා මේ කාලේ පෙර නුවූ විරූ විදිහට දේශීය සංචාරකයන්ට වාසි සැලසිලා තියනවා. ඒ කියන්නෙ, තරු පන්තියේ හෝටල්, ගෙස්ට් හවුස්, නිවාඩු නිකේතන වගේ සංචාරකයන්ට නවාතැන් පහසුකම් සපයන තැන් බොහොමයක් මේ වෙද්දි ලෝකල් අයට දොරවල් ඇරලා තියනවා. ඒ විතරක් නෙවෙයි, ඒ තැන්වලින් පුදුම හිතෙන වට්ටම් එහෙමත් මේ දවස්වල ලැබෙනවා. මේ තියෙන්නේ ඒ වගේ අපි හොයාගත්ත කපල් එකකට ඩේ අවුට් එකක් ගෙවන්න යන්න හොඳ තැන් ලිස්ට් එකකුයි, ලොකු පිරිසකට ඩේ අවුට් එකක් ගෙවන්න යන්න හොඳ තැන් ලිස්ට් එකකුයි.

ලංකාව කියන්නෙ පිහිටීමේ සුන්දරත්වය සහ ඓතිහාසික වටිනාකම් නිසා සංචාරක ආකර්ෂණය නොඅඩුව ලැබුණ, ඒ නිසා ම සංචාරක කර්මාන්තයෙන් විශාල ආදායමක් ලැබුව රටක්. ඒත් දැනට අවුරුද්දක ඉඳන් විදේශිකයො නැති නිසා, මේ වෙලාවේ ලංකාවේ සංචාරක කර්මාන්තය ටික ටික නැවත ගොඩ නඟන්න වෙන්නෙ අපටමයි. කොහොම වුණත් කොරෝනා කාලේ ගමන් බිමන් යන එකේ අනතුරක් තියනව තමයි. ඒ නිසා ඔබ නිවාඩුවක් ගත කරන්න කොහේ හරි යනව නං, වසංගතය පැතිරීම වළක්වන්න සහ ඉන් ආරක්ෂා වෙන්න අවශ්‍ය සියලු පියවර අනුගමනය කරන්න අවශ්‍ය බව තදින් හිතට ගන්න.

ඉතින් මේ අබුද්දස්ස කාලේ හදිසියේ ආපු ඩිස්කවුන්ට් තොගේ ගැනත් සලකලා, පහුගිය දවස් කීපයක් අල්ලලා අපි ත්‍රිකුණාමලේ පැත්තේ රවුමක් දැම්මා. මේ කියන්න යන්නෙ ඒ ගැන.

කොරෝනා කාලේ ට්‍රින්කො ගිය අපේ මුල් ම නැවතුම වුණේ කෝනේෂ්වරම්. මෙතන සාමාන්‍යයෙන් ඕන දවසක බැතිමතුන් විශාල වශයෙන් ගැවසෙන තැනක් නේ. ඒත් බලාපොරොත්තු වුණ විදිහට ම මේ සැරේ කෝනේෂ්වරම් පුදබිම පාළුවට ගිහින් තිබුණා. අපිට දකින්න ලැබුණේ ලාංකික පිරිස් ඉතාම සීමිත ප්‍රමාණයක් විතරයි. ඒ නිසා ම සෑහෙන වෙලාවක් උඩ ඉඳන් නිදහසේ මුහුද දිහා බලන් ඉන්න අපිට පුළුවන් වුණා. වෙනදා නං එහෙම එක තැන නැවතිලා ඉන්න බෑනෙ. තෙරපි තෙරපි පෝලිමේ සෙනඟ එනව නෙ. ඒ හින්ද ම එක අතකට මෙහෙම තැනක සෙනඟ අඩු වෙන එක ලොකු දෙයක් කියලත් අපිට හිතුණා.

දරුවන් නැති අය කෝනේෂ්වරම් ඇවිත් පුදපූජා පවත්වල බාරහාර වුණාම දරුවන් ලැබෙනවා කියල විශ්වාසයක් ලාංකිකයන් අතරෙ තියනවා. මේ තියෙන්නේ ඒ වගේ දරුවන් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන අය පූජා කරපු තොටිලි. මෙතනත් වෙන දවස්වල සෑහෙන සෙනඟ ඉන්නවා. හැබැයි මෙදා පාර කෝවිල ඇතුළෙවත් එළියෙවත් වැඩිය කවුරුත් හිටියෙ නෑ.

අපේ නවාතැන නිලාවැලි මූදට මූණ දාපු එකක්. මිදුලට බැස්ස ගමන් නිලාවැලි බීච් එක. රෑ කොච්චර මහන්සි වෙලා නිදාගත්තත් නිලාවැලි මුහුදෙන් අහසට ඉර නඟිනවා බලන්න අපි උදේ පාන්දර ඇහැරුණා. පාන්දර සීතලට ලුණු හුළඟ එකතු වෙලා වටපිටාව හොඳට ම සිසිල් වෙලා. මූදේ රැලි ගහන සද්දෙ ඇරුණම වෙන කිසි ම සද්දයක් නෑ. ඒ විතරක් යැ, බීච් එකේ වෙන කවුරුත් ම නෑ. හරිම සාමකාමී වගේ ම පුදුම ලස්සනයි.

ඊළඟ දවසේ අපේ ගමනාන්තය වුණේ පරෙවි දූපත. පරෙවි දූපතට යන්නෙ බෝට්ටුවක. ගියාම නෙ දැක්කෙ, එතන පුදුමෙකට වගේ අපි නොහිතුව තරං සෙනඟක් හිටියා. ඔක්කොම ලෝකල් අය. පරෙවි දූපත කියන්නෙ සමුද්‍ර ජාතික උද්‍යානයක්. 1963 දි අභයභූමියක් විදිහට නම් කරපු පරෙවි දූපත, සාමාන්‍ය ජනතාවට යන්න එන්න පුළුවන් විදිහේ උද්‍යානයක් වශයෙන් නම් කළේ 2003 දි. දැනට මේක වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තමයි පාලනය වෙන්නෙ.

මෙතන තියන ලොකු ම විශේෂත්වය වෙන්නෙ, මේ උද්‍යානය ඇතුළේ කොරල් විශේෂ 100ක් විතර සහ මත්ස්‍ය විශේෂ 180ක් විතර වාර්තා වෙන එක. හොඳ ම දේ මොකද්ද දන්නවද? දිය යට කිමිදිලා ඒ කොරල් සහ මාළු බලන්න යන්න ඕන ම කෙනෙකුට පුළුවන්. මේකට ඉංග්‍රීසියෙන් කියන්නෙ ස්නෝක්ලිං කියල නේ. පීනන්න, කිමිදෙන්න නොදන්න කෙනෙකුට වුණත්, ගයිඩ් කෙනෙක් එක්ක දිය යට කොරල් සහ මාළු බලන්න යන්න පරෙවි දූපතේ දි අවස්ථාව තියනවා. මේක හැම කෙනෙක් ම ජීවිතේ බකට් ලිස්ට් එකට දාගන්න ඕන තරමට වටින ගමනක්. මොකද, හැම කෙනෙක් ම මුහුද යට තියන ඒ වචනයෙන් විස්තර කරන්න බැරි පුදුමාකාර ලෝකය, ජීවිතේ එක පාරක්වත් දකින්න ම ඕන!

එදා දවස ස්නෝක්ලිං කරලා, සැර අව්වට පිච්චිලා, මහන්සියෙන් හිටපු අපිට ඉක්මනින් නින්ද ගියා. ඊළඟ දවසේ කොළඹ එන ගමන් ත්‍රිකුණාමලේ බ්‍රිතාන්‍ය යුද ස්මාරක උද්‍යානයට ගොඩ වෙන්න අපිට පුළුවන් වුණා. මේ සුසාන භූමිය දෙවැනි ලෝක යුද සමයේ මරණයට පත් වුණ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් වෙනුවෙන් හදපු එකක්. බ්‍රිතාන්‍ය වගේ ම ලන්දේසි, ප්‍රංශ, ඉතාලි වැනි වෙනත් ජාතීන්වලට අයත් සොල්දාදුවන්ගේ ස්මාරකත් මේකේ තියනවා. 

විශේෂ දේ ඒක නෙවෙයි, හරියට ම මේ සුසාන භූමිය ඉස්සරහ තියනවා පුංචි කඩයක්. මේකෙ තියනවා ‘අයිස් තැඹිලි’ කියල ජාතියක්. ට්‍රින්කො යනව නං අනිවාර්යයෙන් අයිස් තැඹිලි රහ බලන්න කියල ඔත්තුව දුන්නෙත් ට්‍රින්කොවාසී අපේ යාළුවෙක්.

මේ තියෙන්නේ අයිස් තැඹිලි. ඇස් ගිනි කන වැටෙන, උගුර කට වේලෙන සැර අව්වට මාර ඖෂධයක්. තැඹිලි කපලා, ලොඳත් එක්ක තැඹිලි වතුරට දෙහි ඇඹුල්, ලුණු එහෙම දාලා, අයිස් කැටත් දාලා තමයි දෙන්නෙ. තැඹිලි කැපීමේ ඉඳන් වීදුරුවට එනකං ඒගොල්ලන්ගෙ කඩිමුඩි ක්‍රියාවලියත් බලන් ඉන්න ලස්සනයි. තව මොනාහරි අපි නොදන්න දේකුත් දානවද මන්දා, පුදුම රසක්!

කොහොමින් හරි ඔන්න ඔහොම කොළඹ එන්න පිටත් වුණ අපි කන්තලේ වැව් ඉස්මත්තෙත් ටිකක් නැවතිලා ගිමන් ඇරියා. කොහේ නැවතුණත් දිගට ම දැක්කෙ එක ම දර්ශනේ. සංචාරකයො නැතුව පාළුවට ගිය සංචාරක අඩවි.. සියල්ල ආයෙත් ඉක්මනින් යහපත් අතට හැරිලා ලංකාවේ සංචාරක කර්මාන්තයට හොඳ කලදසාවක් උදා වෙයි කියන බලාපොරොත්තුව විතරක් ඉතුරු කරගෙන අපි කොළඹ ආවා.

කොරෝනා එක්ක අපි හැමෝගෙම මූඩ් වෙනස් වෙලා නෙ. ඔෆිස් ගිය අයට ගෙදර ඉඳන් වැඩ කරන්න වෙලා. නැත්තං කොරෝනා අස්සෙ ම වැඩට යන්න වෙලා. තවත් සමහරුන්ට කරපු රස්සාව නැති වෙලා. එක එක අයට එක එක ප්‍රශ්න. ඔය කාලෙන් කාලෙට එන එක එක අවුල්වලින් පොඩ්ඩක් ඔළුව මුදවගන්න, එදිනෙදා ජීවිතෙන් බැහැර වෙලා, පරිස්සමට කොහෙ හරි ඈතක ගිහින් ඇවිදලා එන්න. ආයෙ ගෙදර එද්දි මූඩ් එක සෑහෙන හොඳ අතට හැරිල තියෙයි. අත්දැකීමෙන් කියන්නෙ!

Leave a comment