නිල්ගල දවස් 3ක සෆාරියෙන් පස්සෙ..
පාර්ටිය දාන දවස!
උදෙන්ම නැගිටලා, ආම්පන්න සියල්ලමත් අස්පස් කරගෙන ඔන්න අපි ජීප් එකෙන්ම රතුගලට.
යනකොට.. කල්තියාම කතා කරලා ඉඳපු කළුබණ්ඩා හූරත් මහපාරට කිට්ටු කරලා.
අපි ඉස්සෙල්ලාම ගොඩවුනේ කළුබණ්ඩලැත්තන්ගෙ කඩ පොජ්ජට. ගොඩවෙලා හිතේ හැටියට දෙසා බෑවා වල් පත්තක්කා. ඒ කිව්වෙ පත්තක්කා හේන් කෙරුවට පස්සෙ ඒ ඇට වලින්ම අවාරෙට පීදෙන පොඩි ගෙඩි.
ෂැහ්! ගෙඩි පොඩි වුනාට ඒවයෙ රසනෙ..
කොහොම කොහොමින් හරි එදා ඔන්න අපේ ගමනෙ ඉතිරිය රතුගල, කොඩිගලට ගොඩවෙලා මාහා ලෙනේ රැය ගතකරන එන. ඒකට ඔ්න කරන හැම දෙයක්ම කළුබණ්ඩා ඇත්තො ගලපලයි තිබ්බෙ. ඉතින්.. අපිට තිබ්බෙ මද්දහනෙ ගිණියමට කලින් ගලට ගාටලා ලෙනට ගොඩවෙන එක.
“හොඳ වෙලාව.. තාම 9යි. උඩට යන්නත් පැය 3, 4ක් යන එකේ දැන්ම පිටත්වෙමු” කළුබණ්ඩා හොඳ හුරු සිංහලෙන්ම ඔන්න වචන පේළියක් ඉස්සර කලා. ඒ ගැම්මටම ඉතින් අපිත්..
විරාම 3, 4ක් ගත්තට මොකද අපි හරියටම දවල් 1 වෙද්දි ගලේ, ලෙනේ.
වැඩේ වුනේ.. ලෙනට ගොඩවෙලා මූණකට පොඩ්ඩක් හෝදගෙන කරගෙන ලෙන් මුදුනට ගියාමනෙ ඈත බලන්න කියලා. මේං අත ලඟ වැහි කළුව!
ආයෙ එක පිම්මට බැස්සෙ අපි ලෙනට. බැහැලා ලෙන් කටේ බාපු බඩු බාහිරාදිය ඔක්කොම ගත්තා ඇතුලට. අරගෙන වැහි වතුර එකතු වෙන්න වෙනමම බැරල් එකකුත් තියලා අනික් පැත්ත හැරුනා විතරයි..
හප්පේ.. ධාරාණිපාතෙ!
ඇල්ලුවා.. මුලු හතර වටේම කළුවර වෙලා යන්නම. කොටින්ම කියනව නම් අපිට ලෙන ඇතුලෙ ගිණිමැලයකුත් ගහන්න වුනා එළිය ගන්න. ඒකත් අවුලක් නෑ.. පැයයි, දෙකයි, තුනයි.. අඩුවක් වැඩියක් මිසක් පෑවිල්ලක් නම් පේන්නම තිබ්බෙ නෑ අප්පා.
බැරිම තැන කළුබණ්ඩා බැස්සා උයන වැඩේට. ඇයි අප්පා හවස 4ත් වෙලා දවල්ට කාලාත් නෑ..
“ම්.. මාත්තයා මෙතන වළ හාරන්න මට පොඩ්ඩක් උදව් කරන්නකො. මම හාරන්නං. මාත්තයා කවුරුහරි පස් ටික ගත්තනං ඇති”
“හා කළුබණ්ඩා” අපේ එකෙක් ගැම්මට කිට්ටු කලා වැඩේට.
“ඒත් මොකටද වළක්?”
“මාත්තයා දැං දර පොඩ්ඩනෙ තියෙන්නෙ. ඉතුරුවා ඔක්කොම තෙමිලනෙ. මං උරේට ගෙනාපු පොල්කටු ටික විතරයි ආයෙ. ඔය චුට්ටෙන් රොටියක් මාලුවක් උයනව නම් ඉතින් වළේ තමා.”
සිද්ධිය හරියට තේරුනේ නැති වුනාට අපි 3දෙනාම කළුබණ්ඩාට සපෝට් එකක් දීගෙන වැඩේ එල්ලිලාම හිටියා. වළේ කට අල්ලක් විතර සයිස්.. පොඩියට උමඟ වගේ අඩියක් දිගට. ඊට පස්සෙ අඩියෙ අඩියෙ විතර ලොකු කොටුවක්. කොටුවෙ තියෙනවා මහපට ඇඟිල්ලක විතර දාරයක්. ඒ දාරෙ උඩින් කළු බණ්ඩා රොටි තැටිය තිබ්බට පස්සෙ තමයි අපිට වැඩේ තේරුනේ.
ඇත්තටම ඒක එක උඩ එක තියෙන ඩබල් ලිපක්. යටින්ම ගින්දර. මැද්දෙ රොටි. උඩට එළවළු මාලු හදන දෙයක් තමා.
එහෙම තියලා අපිට ගිණි අවුලුවන්න දීලා කලු බණ්ඩා ගත්තා අතට පිටි මෝලියක්.
“අනලම අරගෙන ආවැයි”
“ඔව් මාත්තයා. දවල්ට කන්න කියලනෙ ගෙනාවෙ. ඒත් කොහෙද”
කයියෙන් කයිය.. තැටියෙන් එකයි රොටි 3ක් බිම එලපු කැන්ද කොළ ගොඩකින් තියපු කළු බණ්ඩා එකක් එලුවා තැටියෙ. එළලා ඒක උඩින් ලුණු වතුර ටිකකුත් අතගාලා වළේ කටෙන් තිබ්බා ලොකු මැටි ඇතිලිය. තියලා ඒකට පොල් තෙල් ටිකක් දාලා, තෙල්ටික රත්වීගෙන එනකොටම කෑලිමිරිස්, ලොකුලූණු, කොච්චි, කරපිංචා, සියඹලා දැම්මා අතින්ම පොඩි කරලා. දාලා සට පට ගාලා පුපුරනකොට..
පන් මල්ලෙන් මොනවදෝ අහුරු 2, 3ක් ඇතිලියට!
බැලින්නම්..
වේලපු මස්..
ආයෙ ඉතින් කියන්න ඔ්න නෑනෙ. යටිනුයි උඩිනුයි දෙකෙන්ම රස්නෙ දාලා පිපෙන්න උයපු රොටි එක්ක කොච්චි සැරට තෙලෙන් කර කරපු මස්..!
මුලදි නොකිව්වට සමාවෙන්න. ඒකත් එක්ක අපි ගෙනාපු ගල් බෝතලේ ගියේ රූං කියාගෙන.. හ්ම්...
A 100%, home-grown brunch spot in Borella, serving up some fantastic Continental and Lankan treats.
There's a new 1979 in Dehiwala now, with BYOB and Sri Lankanised Chinese food.
We tasted every locally brewed and available beer. In the name of science!
Countries that let you in without a fuss with your Lankan passport
The Station shows you how to make the classic Sri Lankan Hot Butter Cuttlefish.
Delete Comment