Artwork for Playtrix Top banner 1 - boxing match only
Artwork for Coke with food - top banner 1
Artwork for TEMP_sidebar Artwork for TSING TAO sidebar banner 2

තමන් ගැනම කලකිරිල ද? අලුතෙන් තමන් ගැන හිතන්න පටන්ගන්න පියවර 7ක්.

අනුන්ට ආදරේ කරන විදිහට අපිටම ආදරේ කරන්නෙ කොහොම…

Posted by

“මං කරන මෙලෝ දෙයක් හරි යන්නෑ.”

“මේ ඔක්කොම වුණේ මගේ වැරැද්දෙන්.”

“මං පුවක් ගහකට නැග්ගොත් ඒකෙත් දෙබලක්.”

“මොන මගුලක් ද මට වෙලා තියෙන්නෙ?”

අපි හැමෝට ම ජීවිතේ දි එක පාරකට වඩා මෙහෙම හිතිල තියනවා කියන එක රහසක් නෙමෙයි නේ. මෙහෙම හිතෙන එක අපි වැඩිය ගණන් නොගත්තට, ටිකක් කල්පනා කළොත් ඕගොල්ලන්ට ම තේරෙයි එදිනෙදා ජීවිතේ දි අපි අපි ගැන ම කොච්චර නෙගටිව් දේවල් හිතනව ද කියල.

ඉතිං කාලයක් තිස්සෙ මේ සිතිවිලි හිතේ මුල් බැහැගත්තම නොදැනීම තමන් ගැන තමන් තුළ තියන ප්‍රතිරූපය බිඳවැටිලා කලකිරීම්, සිත් බිඳීම් සහ ආතතීන් වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. තවත් දුරදිග ගියොත් මේක විශාද තත්ත්වය දක්වා යන්න හේතු වෙන්නත් පුළුවන්.

අපි කොහොම ද අපි ගැන කලකිරෙන්නෙ නැතුව ඉන්නෙ? කොහොම ද අනුන්ට ආදරේ කරන විදිහට අපිට ම ආදරේ කරන්නෙ? මේකට ඉංග්‍රීසියෙන් කියන්නෙ ‘සෙල්ෆ් ලව්’. ඔයත් ඉන්නෙ ඔයා ගැන ම කලකිරීමෙන් නම්, ආයෙත් අලුතෙන් ඔයා ගැන ධනාත්මකව හිතන්න පටන්ගන්න එක අත්‍යවශ්‍යයි. අපි මේ කියන්න යන්නෙ ඒ සඳහා අනුගමනය කරන්න පියවර 7ක් ගැන.

1 ඔයාට ඇහුම්කන් දෙන්න

මෙච්චර කල් ඔයා ඔයාගෙ ඔළුව ඇතුළෙ කෑගහන කටහඬ නොතකා හැරිය නං, නැත්තං බලෙන් නිශ්ශබ්ද කළා නං, විනාඩියක් සන්සුන් වෙලා එයා කියන්නෙ මොකද්ද කියල අහන් ඉන්න. ඔයාට ඔයාව තේරුම් ගන්න ඒක පහසුවක් වෙයි. ඔයා නොදන්නව වුණාට සමහර විට ඒ කටහඬ කෑගහන්නෙ උදව් ඉල්ලලා වෙන්න පුළුවන්.

2 ඔයාට සමාව දෙන්න

ඔයාගෙ වැරදි, අඩුපාඩු ගැන ඔයාට ම අවබෝධයක් තියන එක වැදගත්. හැබැයි ඒවා හඳුනගත්තම මානසිකව හෝ කායිකව ඔයාගෙන් පළිගන්න වත්, ඔයාට දඬුවම් කරගන්න වත් එපා. පර්ෆෙක්ට් දේවල් හෝ පර්ෆෙක්ට් මිනිස්සු මේ ලෝකෙ නෑ. ඒ නිසා ඔයාගෙ වැරදි අඩුපාඩු දිහා කරුණාවෙන් බලන්න. ඒවා හෙමීට නිවැරදි කරගන්න පුළුවන් බව හිතන්න.

3 සසඳන්න එපා 

මේ ලෝකෙ ඉන්න කිසිම මිනිස්සු දෙන්නෙක් එක වගේ නෑ. ඒ නිසා ඔයාව තව අයට කම්පෙයා කරන එක කිසිම තේරුමක් නැති වැඩක්. ඔයාට අනික් අය බවට පත් වෙන්න බෑ වගේ ම, අනික් අයට ඔයා බවට පත් වෙන්නත් බෑ. ඔයාව තව කෙනෙක් එක්ක සසඳන්න හිතෙනකොට, එකිනෙකාට ආවේණික ගතිගුණ, දක්ෂතා සහ දුර්වලතා හැමෝම ළඟ තියන බව මතක් කරන්න.

4 ඔයාව ඔයා විදිහට පිළිගන්න

කලින් කිව්ව වගේ පරිපූර්ණ මිනිස්සු කොහෙවත් නෑ. හැමෝම අසම්පූර්ණ නම් ඔයා විතරක් කොහොමද පර්ෆෙක්ට් වෙන්නේ! ඉතිං ඔයාගෙ දුර්වලකම් පිළිගන්න. ඒව මඟ හරවගන්න උත්සාහ කරනව මිසක්, ඒ ගැන විස්සෝප වෙන්න එපා. අපි පර්ෆෙක්ට් කියල අනික් අයට ඔප්පු කරන්න ඕනෑකමක් මේ ලෝකෙ නෑ.

5 ඉවසන්න

ඔයාට ඔයා ගැන දැනෙන සෘණාත්මක සිතිවිලිවලින් ගැලවෙන්න කල් යනවා නම් ඒ ගැන ඉවසිලිවන්ත වෙන්න. ඒකත් ඔයාට ආදරේ කරන්න පුළුවන් එක විදිහක්. මානසිකව වැටුණාම දවසෙන් දෙකෙන් ගොඩ එන්න ඕන කියල නීතියක් නෑ. ඔයාට පහසු විදිහට කාලය ගන්න. වැදගත් දේ ගත වෙන කාලය නෙමෙයි, ඔයා ඇත්තට ම උත්සාහ කරනවද කියන එකයි.

6 සතුට දැනෙන්න ඉඩ දෙන්න

ඔයාට සතුට ගේන දේවල්වල නිරත වෙන්න. ඒකට දවසේ පුංචි වෙලාවක් වෙන ම වෙන් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒක කාලය නාස්ති කිරීමක් හෝ අපරාදයක් විදිහට ගණන් ගන්න එපා. The time you enjoy wasting is not wasted time කියල කියමනකුත් තියනවා නේ. ඉතිං මතක ඇතුව ඔයාගෙ සතුටට ප්‍රමුඛතාව දෙන්න.

7 ඔයාට මූලිකත්වය දෙන්න

ඔයා අකැමැති දේවල් කරන්න වුණාම බෑ කියන්න පසුබට වෙන්න එපා. අනික් අයව සතුටු කරන එකට තරමට ම ඔයාගෙ කැමැත්තටත් මූලිකත්වය දෙන්න. එහෙම කරන එක ආත්මාර්ථකාමී කියල වරදවා වටහාගන්න එපා. ඔයා ඔයාට ම ආදරේ කළොත් විතරයි අනික් අයට ආදරේ කරන්න පුළුවන් වෙන්නේ. තමන් වෙනුවෙන් පෙනී නොහිටින මනුස්සයෙක් කිසිම කෙනෙක් වෙනුවෙන් පෙනී නොහිටින කෙනෙක් බවට පත් වෙනවා.

මේ පුංචි පියවර හත හෙමින් හෙමින් අනුගමනය කරන්න පටන්ගන්න. ඔයාගෙ මානසිකත්වය  ටික ටික ඉහළට නංවගන්න ඒක උදව් වෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා.

Leave a comment
Last 7 Days

Trending Today