Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for NYE 2020 at the Paradise Beach Mount - sidebar Artwork for Coffee post sidebar 1

සිංහල හෝඩිය ගැන හැංගුණු කතාවක්..

සිංහල හෝඩියේ තියන, වැඩිය අවධානයට ලක් නොවෙන,…

Posted by

ඒ බී සී ඩී ඊ එෆ් ජී.. එච් අයි ජේ කේ එලොමෙනොපී..

හෝව් පොඩ්ඩක්.. තාලෙට නේද කියවුණේ? පොඩි කාලෙ මේ සින්දුව කියපු නැති මනුස්සයෙක් නෑනෙ. ඉංග්‍රීසි හෝඩියෙ අකුරු 26 ඕන වෙලාවක කියන්න පුළුවන් විදිහට අපිට කටපාඩම් වෙන්නෙ පොඩි කාලේ උගන්නපු මේ සින්දුව නිසා.

හැබැයි අපේ මව්බස වෙන සිංහල හෝඩියෙ අකුරු ටික ඔක්කොම එහෙම අහපු ගමන් කියන්න පුළුවන් විදිහට අපිට කටපාඩම් ද? ඒ තියා සිංහල හෝඩියෙ අකුරු කීයක් තියනවද කියලවත් අපි හරියට දන්නවද?

කොහොම වුණත් වැඩි විස්තර දන්නේ නැතත් නොදැනුවත්වම අපි නිතර දෙවේලේම හෝඩිය පාවිච්චි කරනව නෙ. ඒ හින්ද මේ කියන්න හදන්නෙ හෝඩිය ගැන පොඩි කතාවක්. ඇත්තටම මේක සිංහල හෝඩියේ තියන, වැඩිය කාගෙවත් අවධානයට ලක් නොවෙන පොඩි පොඩි අවුල් කීපයක් ගැන කතාවක්.

හෝඩියක් කියන්නේ?

භාෂාවක් කියන්නේ මිනිස්සු සන්නිවේදනයට යොදාගන්න ප්‍රධානම මෙවලම. භාෂාවක් භාෂණය සහ ලේඛනය විදිහට මූලික කොටස් දෙකකට බෙදෙනවා. භාෂණයේ තියන විවිධ භාෂාත්මක ශබ්ද ලියා දක්වන්න පාවිච්චි කරන සංකේතවලට තමයි අකුරු කියල කියන්නේ. හෝඩිය හෙවත් වර්ණ මාලාව කියන්නේ මෙන්න මේ අකුරුවල එකතුවට.

සිංහල හෝඩි

පැරණිම සිංහල හෝඩිය ගැන සාක්ෂි හම්බෙන්නේ දඹදෙණි යුගයේ ලියැවුණු සිදත් සඟරාවෙන්. ඒක හඳුන්වන්නේ ශුද්ධ සිංහල හෝඩිය කියලයි. ඉන් පස්සේ කාලයත් සමග වෙනස්කම්වලට බඳුන් වෙමින්, භාවිත ශුද්ධ සිංහල හෝඩිය, මිශ්‍ර සිංහල හෝඩිය ආදී නම්වලින් යුක්තව සිංහල හෝඩිය දිගටම විකාශනය වුණා. අද අපි නිල වශයෙන් පාවිච්චි කරන්නේ සමකාලීන සිංහල හෝඩිය. මේ හෝඩියේ අකුරු 60යි.

පොඩි පොඩි අවුල්

1. ඏ, ඐ මොකටද?

පයනු දෙකක් වගේ තියන මේ අකුරු දෙක උච්චාරණේ කරන්නෙ ‘ඉලු’ සහ ‘ඉලූ’ කියලයි. දැන් හිතන්නකො බලන්න අපි මේ අකුරු දෙක කොහෙදි හරි කවද හරි පාවිච්චි කරල තියනවද කියල? ඉතිං ඏ, ඐ කියන ස්වර දෙක කවදාවත් ලේඛනයට පාවිච්චි කරන්නෙත් නැත්තං, හෝඩියේ තියාගෙන ඉඳීමේ තේරුම මොකක්ද කියල ඇතැම් භාෂාවේදීන් ප්‍රශ්න කරනවා.

2. 'ඥ' කෝ?

‘ඥ’ කියන්නේ නීතිඥ, විශේෂඥ, ඥාති, ඥාන වගේ අපි නිතර දෙවේලේ පාවිච්චි කරන වචන ලියන්න, නැතුව බැරි අකුරක්. හැබැයි ‘ඥ’ අකුර සිංහල හෝඩියේ තියනවා දැකල තියනවද? භාවිත නොකරන අකුරු පවා හෝඩියේ තියෙද්දි, හැම වෙලේම ඕන වෙන ‘ඥ’ අකුර හෝඩියේ නැත්තේ ඇයි කියන එක ප්‍රශ්නයක්.

මේ අකුර හෝඩියට එකතු කරන්න ඉදිරිපත් වෙලා තියන යෝජනාවලදි කියවෙන දේ තමයි, හෝඩියේ තියන තවත් පාවිච්චි නොවෙන අකුරක් වෙන ‘ඦ’ (සඤ්ඤක ජ) අකුර ඉවත් කරලා, එතන ‘ඥ’ අකුරට දිය යුතුයි කියන එක. ‘ඦ’ අකුර භාවිත වෙන්නේ ‘ඉඦු’ කියල ලියන්න විතරයි ලු!

3. අඃ? අහ්?

අඃ කියන ස්වරයට දීල තියන නිවැරදි සිංහල නම තමයි විසර්ගය. මේක උච්චාරණේ වෙන්නෙ ‘අහ්’ කියල. ඉතිං ‘අහ්’ කියල ලේසියෙන් ලියන්න පුළුවන්කම තියෙද්දි විසර්ගය වගේ බරපතල ස්වරයක් පාවිච්චි කරන්න ඕන නෑ කියලයි සමහරුන්ගෙ අදහස. හැබැයි ඉතිං එතකොට මනඃකල්පිත, අන්තඃපුරය වගේ වචන ලියන්න වෙන්නෙ මනහ්කල්පිත, අන්තහ්පුරය කියල. පොඩ්ඩක් නුහුරුයි වගේ නෙ?

4. Z කෝ?

සිංහල භාෂාවෙ ‘ෆ’ කියල අකුරක් නොතිබ්බ කාලෙ අපි පයන්න ඇතුළට ඉංග්‍රීසි f අකුර රිංගවල ‘ෆ’ වෙනුවට අකුරක් හදාගෙන හිටියා මතක ද?

රූපය: https://nihalw.files.wordpress.com/2012/12/f.jpg

හැබැයි ඉතිං එක භාෂාවක අකුරක් ඇතුළට තව භාෂාවක අකුරක් රිංගෙව්වම පොඩ්ඩක් කැතයි නේ? ඒ හින්ද අපි f ශබ්දය එන අපේම සංකේතයක් හදාගත්තා ‘ෆ’ කියල.

ඒ වගේම, z ශබ්දය එන සිංහල අකුරක් නිල වශයෙන් අපිට තවම නෑ. ගොඩක් අය කරන්නෙ z වෙනුවට ‘ස’ අකුර පාවිච්චි කරන එක. නැත්තං ‘ස’ ලියල ඒ ළඟින් වරහන් ඇතුළේ z ලියන එක. කාලයක් තිස්සෙ භාෂා විද්වතුන් අතරෙ මේ ගැන තිබ්බ වාද විවාදවලදි මේකට විවිධ විසඳුම් යෝජනා වුණා. ඒ අතරින් z ශබ්දයට ගැළපෙන අලුත් අකුරක් තෝරලා දමිත් වැලිකල කියන සිංහල ෆොන්ට් නිර්මාණකරුවා මේ ඊයේ පෙරේදා දවසක හඳුන්වා දුන්නා. මේ තියෙන්නේ ඒ අකුර.

රූපය: දමිත් වැලිකල ෆේස්බුක් පිටුවෙනි.

5. විවෘත සංවෘත

සිංහල හෝඩියේ තියන අයන්න සහ ආයන්න විවෘත අකුරු දෙකක්. විවෘත අයන්න සහ ආයන්නට අමතරව අපේ භාෂණයේ සංවෘත අයන්නක් සහ ආයන්නකුත් තිබුණට ඒ ශබ්ද දෙක ලියන්න අපිට අකුරු දෙකක් නෑ. උදාහරණයක් විදිහට ‘මම’ කියන වචනෙ මයනු දෙක ශබ්ද වෙන්නෙ දෙවිදිහකට. ඒ අනුව පළවෙනි මයන්න විවෘත ‘අ’ සහ දෙවැනි මයන්න සංවෘත ‘අ’ විදිහට කියවෙනවා. හැබැයි අපිට ඒ ශබ්ද දෙකම ලියන්න තියෙන්නේ එක සංකේතයයි.

මේ නිසා සංවෘත ‘අ’ ශබ්දය එන ඉංග්‍රීසි වචන එහෙම සිංහලෙන් ලියද්දි අපි හැම වෙලේම කරන්නේ ඉංග්‍රීසියේ තියන සයිලන්ට් R අකුර සිංහලෙන් ‘ර්’ කියල ලියන එක. උදාහරණ විදිහට ‘තර්ස්ටන්’, ‘රිවර්ස්ටන්’, ‘බර්ත්ඩේ’ වගේ වචන පෙන්නල දෙන්න පුළුවන්. ඉතිං මේ හෝඩියට අඩුපාඩුවක් වුණ සංවෘත ‘අ’ ලිවීමට මෙන්න මේ විදිහෙ අකුරක් විද්වතුන් යෝජනා කරල තියනවා.

රූපය: දමිත් වැලිකල ෆේස්බුක් පිටුවෙනි.

6. න, ණ, ල, ළ, ශ, ෂ

සිංහලෙන් ලියන්න ගියාම හුඟක් අය පටලගන්න තැනක් තමයි මේ. සිංහල භාෂාවෙ තියන න, ණ, ල, ළ, ශ, ෂ වගේ සමාන ශබ්ද සහිත අකුරු එකම ශබ්දය වගේ දැනුණට, අකුර උපදින තැන වෙනස්. ඒ නිසා ම මේවා වචනවල යෙදිය යුතු පිළිවෙළක් තියනවා. මේකට බලපාන්නෙ සිංහලයේ තියන අකුරු සම්බන්ධ රීති. කෙටියෙන් කිව්වොත් අක්ෂර වින්‍යාසය.

මේ ව්‍යාකූල අකුරු අහෝසි කරලා එක නයන්නක්, එක ලයන්නක් සහ එක ශයන්නක් පාවිච්චි කරමු කියලත් සමහරු යෝජනා කරනවා. රීති කියන්නේ නීති නොවන නිසා කැමති කෙනෙකුට ඒව බිඳින්නත් අයිතිය තියනවා. හැබැයි ඉතිං රීති බිඳින්න නං ඊට කලින් ඒවා නිවැරදිව දැනගෙන ඉන්නත් ඕන. ‘Learn the rules like a pro, so you can break them like an artist.’ පැබ්ලෝ පිකාසෝ කිව්වෙ එහෙම.

සිංහල හෝඩියේ තියන, නිරවුල් නෑ කියල හිතෙන පොඩි පොඩි අවුල් කීපයක් තමයි මේ සරලව පැහැදිලි කළේ. මීට අමතරව සිංහල හෝඩිය බර වැඩියි, තව සරල වෙන්න ඕන, නැත්තං වෙනස් වෙන්න ඕනෙ කියල ඕගොල්ලන්ට හිතිල තියනවද? අපි කැමතියි දැනගන්න...

Leave a comment
Last 7 Days

Trending Today