Artwork for Playtrix Top Banner New
Artwork for Yamu Promo Top Banner
Artwork for TSING TAO sidebar banner 2

හවසට තේකක් තොල ගාන ගමන් හපන්න, කියාපු කෑම ජාති 7ක්

දෙකහමාර තුන වෙද්දි එනව නේද බඩගින්නක්?

Posted by

දොළහට එකට විතර දවල්ට කෑවම, ආයෙ දෙකහමාර තුන වෙද්දි නිදිමතකුත් එක්ක එනව නේද මොනවහරි බඩට දාගන්න උවමනාවක්? හවසට බොන්න පුරුදු වෙලා ඉන්න තේ එක අමෘතය වගේ දැනෙන්නෙ එහෙම වෙලාවට තමයි ඕං.

නරක ද මේ තේකත් එක්ක කටට රසට හපන්නත් මොනවහරි තිබ්බොත්? බිස්කට්? බිස්කට් නෙමෙයි අයියෝ! පැකට් එකේ එන රෙඩිමේඩ් බිස්කට්වලට වඩා, ගෙදර හදල කන්න පුළුවන් තව රහ කෑම කොච්චර තියනවද? අපි මේ කියන්න හදන්නෙ අන්න ඒ වගේ, හැන්දෑවෙ තේ වෙලාවට එන පොඩි බඩගින්නට, ලේසියෙන් හදලා බඩට දාගන්න පුළුවන් දේවල් කීපයක් ගැන...

1 වැලිතලප

හාල් පිටි, සීනි, පැණි එහෙම දාල රස පදමට හැදෙන වැලිතලප, හතරැස් කුට්ටි බවට පත් වෙලා අවුරුදු කෑම මේසෙට එන්නෙ දුඹුරු පාටට බැබළි බැබළි. අවුරුදු කෑම මේසෙට විතරක් නෙමෙයි, ඕන දවසකට තේ වෙලාවට ගැළපෙන අපේ තාලෙ රසකැවිල්ලක් තමයි වැලිතලප.

වැලිතලපවලට මේ නම වැටිලා තියෙන්නෙ වැලි කැට වගේ අහු වෙන තලපයක් නිසා ලු. ගම්වල ආච්චි අම්මලා එහෙම මේවා රසට හදන්න හොඳට දන්නවා. කදමලු බැඳගෙන දුවාදරුවො බලන්න නෑගම් යනකොටත් වැලිතලප හදාගෙන යන්න ඒගොල්ලො පුරුදු වෙලා ඉන්නවා.

2 පෑන්කේක්

බටහිර ලෝකයේ නම් උදේ කෑමක් විදිහටත් හදන පෑන්කේක් අපිට නම් උදේ කෑමක් විදිහට මදි. ඒකට මොකද තේ වෙලාවට මදි පාඩුවට නම් පෑන්කේක් මරු. ඒගොල්ලො නම් පෑන්කේක් සර්ව් කරන්නෙ බටර්, මේපල් සිරප් වගේ ජාති එක්ක. බටර් සහ මේපල් සිරප් එකතු කරපු පෑන්කේක් දෙකක කැලරි 520ක ප්‍රමාණයක් තියන බවයි කියවෙන්නේ.

අපි හදන පෑන්කේක් නම් පොල්පැණි මැදට දාල රෝල් කරල නෙ කන්නෙ. පිටි, කිරි, සීනි, බිත්තර, ලුණු පාවිච්චි කරල පෑන් එකක දාල හදන මේක, ඉක්මනින් බඩ පිරෙන කෑමක්.

3 ත්‍රිපෝෂ

ඉස්සර කාලෙ පොඩි ළමයි අතරෙ සෑහෙන ජනප්‍රිය වෙලා තිබුණ ත්‍රිපෝෂ කාලයක් අතුරුදහන් වෙලා තිබ්බා. ඊටපස්සෙ තමයි සමපෝෂ සහ වෙනත් ඒ වගේ ම වර්ග ගොඩක් කරළියට ආවෙ.

සුපෝෂ කියල අලුත් නමකින් දැන් ඔන්න ආපහු ත්‍රිපෝෂ තියනව ලු වෙළෙඳපොළේ. ත්‍රිපෝෂ දියට හදල වගේ ම ගුලි විදිහට හදලත් කන්න පුළුවන්. මේ ලිපියෙන් දැනගන්න ඒ ගැන වැඩි විස්තර. තේ වෙලාවට රස වගේ ම ගුණ කෑමක් ත්‍රිපෝෂ.

4 වඩේ

ඉන්දියන් කෑමවලට කැමති අකැමැති හැමෝම වඩේ එකක් අහු වුණොත් නම් අතාරින්නේ නෑ. දකුණු ඉන්දියානු කෑමක් වෙන වඩේවලත් පරිප්පු වඩේ, ඉස්සො වඩේ, උළුඳු වඩේ වගේ එක එක ජාති තියනවා. වඩේ කියන්නෙත් තේකක් එක්ක ටික ටික හපන්න මරු කෑමක්. කැම්පස්වල, ඔෆිස්වල නම් වඩේ එකයි ප්ලේන්ටියයි කියන්නෙ පානුයි පරිප්පුයි තරම් ම ළඟ බැඳීමක්.

5 කේක්

කේක් ගැන නම් අමුතුවෙන් මොනා කියන්න ද? උපන්දින, සංවත්සර, විවාහ වගේ ඔය කොයි උත්සවේටත් නැතුවම බැරි කෑමක්. ඒ විතරක්යැ, කහට එකක් එක්ක පැණි රස කේක් කෑල්ලක් සෙට් වෙනව කියන්නෙ ඕන දවසක රස හැන්දෑ වරුවක් ගෙවන්න පුළුවන්. එක එක වර්ගවල කේක් කොච්චර තිබ්බත් අපිට නං ඉතිං චොක්ලට් කේක්වලට වඩා දෙයක් නෑනේ. කොච්චර කේක් කෑවත් අපි කේක් ගැන නොදන්න දේවලුත් තියනවා. ඒ ගැන දැනගන්න කැමති අයටයි මේ ලිපිය.

6 සැන්ඩ්විචස්

දවසෙ ඕන වේලක් පිරිමහගන්න පුළුවන් බඩ පිරෙන කෑමක් තමයි සැන්ඩ්විචස්. පාන් පෙති දෙකක් මැද්දට බටර්, මාමයිට්, ජෑම්, චීස්, නටෙලා, මායෝ වගේ ජාතියක් හරි, තක්කාලි පෙත්තක්, සලාද කොළයක් හරි, ලේසියෙන් හදාගන්න පුළුවන් පොල් සම්බෝල, සීනි සම්බෝල වගේ දෙයක් හරි, එහෙමත් නැත්තං ඊටත් වඩා චුට්ටක් මහන්සි වෙලා හදාගත්ත මස්, මාළු, බිත්තර පිරවුමක් හරි දාල සැන්ඩ්විචස් හදාගත්තම, තේ වෙලාවට එන බඩගින්න කොහෙන් ගියා ද නෑ.

7 කට්ලට්

මස්, මාළු, අල, බිත්තර, එළවළු, පොළොස් වගේ ඕන ම දෙයකින් හදාගන්න පිරවුමකින් රස කරගන්න පුළුවන් කට්ලට්, ෆෘට් ජූස්, අයිස් කෝපි, ප්ලේන්ටී, කිරි තේ වගේ ඕන බීමකට සෙට් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඇල්කොහොල් පැත්තට නැඹුරු අයට කටගැස්මක් විදිහට වුණත් මරු. අපි ඉතිං මේව බත් එක්කත් කනව නේ. තක්කාලි සෝස් ටිකක් ගාගත්තම කට්ලට් දීසිය ම තනියම කන්න පුළුවන් කට්ටියත් අපි අතරෙ ඉන්නවා.

Leave a comment
Last 7 Days

Trending Today