Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

පාලවියේ... ඕනම මසක මාළුවක රසට හැදෙන දුල්ලා මාමාගේ රොටී!

තෙල් ටිකක් රත් කරලා ඒකට දැම්මා පොල්,…

Posted by

පිටකොටුවෙන් රෑ 11 මන්නාරම් බස් එකේ...

මායි යාළුවයි බැරෑරුම් කල්පනාවක ගිලී ගමනේ...

“මෙහ් දැන්... පාලවියෙන් බහිද්දි අරූ ඇවිල්ලා හිටියෙ නැත්නම්? වීල් එකක තමයි යන්න වෙන්නෙ ඈ... ඒ නිසා දැන්ම කෝල් කරලා තියාන්. කොන්දා කිව්වා 3 වෙද්දි බස්සන්නම් කියලා”

“ඔව් ඔව් මං ඕකට කෝල් කළා. දැන් ආයෙ ගන්නම් විස්තරේ කියන්න.

ඒක නෙවෙයි බං. අපේ ප්ලෑන් එක කොහොමද දැන් දවස් තුන යන්නෙ?” කතාව දිගින් දිගටම. මොකද ටාගට් එක තිබ්බෙ ගෙනාපු කැමරා බඩුමුට්ටුවලින් උපරිම ප්‍රයෝජන ගන්න, ලෙසටම රවුම ගහන්නනෙ. ආයේ... දිවා රෑ නැත, කුරුල්ලො ම තමයි. කොහොම හරි කතා බහෙන් පස්සෙ දෙන්නා... සෙනඟ ඒ හැටි නොහිටිය බස් එකේ, තුනේ සීට් දෙකක ෆුල් නින්දේ...

වෙලාවට කොන්දා කතා කරලාම බැස්සුවෙ. නැත්නම් කෙලින්ම මන්නාරමේ...

“දීපු බියර් කෑන් එක වැඩ කළා ඈ... නැත්නම් අරූ ලොවෙත් බස්සන්නෑ බං අපිව.

ඒ... මේ... දැං කොහෙද බං අපි ඉන්නෙ?”

“මාත් මේ කල්පනා කළේ ඒක තමයි. ටිකක් පාලවියත් වගේ, හැබැයී...

අවුලක් නෑ යමංකො, අරක වෙන්නෝන කල්පිටිය පාර”

දෙන්නා පැන්නා පාර. පැනලා ඔන්න ඉස්සරහට යන්න හදනකොටම... මාමා කෙනෙක් ඉන්නවා තඩි කරත්තයක් ළඟ වාඩිවෙලා.

“මාමා... මේකද කල්පිටිය පාර?”

“ඕ... මේක තමා මාත්තයා. මාත්තයලා කල්පිටි යනා...?”

“ආ, ඕ මාමා මේ කල්පිටි යන්න කියලා. අපේ යාළුවෙක් එනවා කිව්වා හැබැයි කුඩවෙ ඉඳන්. වෙලා යයිනේ?”

“අපෝ... පැය බාගෙවත් එහා යනවා මාත්තයා”

මම කතාව දාන අතරෙ යාළුවා... බෑග් එකත් මාමා ඉඳපු තැනින්ම බාලා පේමන්ට් එකේ පොඩි ඈඳියකට සෙට්වෙලා. ආයෙ ඉතින් මොනවද... මාත් එළෙසින්ම හරි බරි ගැහුණා.

“මාමා අපි යාළුවා එනකම් මෙතන හිටියට කමක් නෑනේ”

“අයියෝ මාත්තයා ඉන්ඩ ඉන්ඩ. තේකක් ඒම ඕන නං අර කඩේට ගීන් බීලා එන්ඩ.”

“ම්... තේ නෙවෙයි මාමා. මේ මොනවද මේ කරත්තෙ තියෙන රොටි? අපි රොටියක් කමුකො”

“ආ කමු කමු මාත්තයා. මේ... පොල් රොටි තියෙනා, නාන් තියෙනා, ගෝදම්බා, පරාටත් තියෙනා. මාත්තයලා සම්බල් එක්ක කනාද? නැත්නම් කරිත් තියෙනා...”

“හප්පටසිරි, එච්චර තොගයක් තියද මාමා. ඉන්න ඉන්න, ඒනම් අපි බලලම ගන්න” කියලා මම කරත්තෙ ළඟට කිට්ටු කළා. යාළුවත් පැත්තෙන් ආවා. ඇවිල්ලා බැලින්නම්නෙ... කිරි අප්පේ පැත්තෙන් දැකපු කරත්තෙ ඉස්සරට පෙනිච්ච දේවල්...

පොඩි පොඩි ඇලුමිනියම් තැටි ගොඩක යාළු... මට්න්, මට්න් බාබත්, බීෆ්, බීෆ් බාබත්, චිකන්... කරිවලින්. ඊට පස්සෙ චිකන් පාර්ට්ස් ඩෙවිල්, ෆ්‍රයිඩ් මාළු කූරි, ක්‍රැබ් කරි, තඩි ඉස්සො තියපු වඩේ... එතකොට තට්ටුවක් වගේ එකක් ගහලා ඒක පිරෙන්න රොටි ජාති. තව ලූණු, අමු මිරිස්, බැදපු රතු මිරිස්, පොල් හීනියට කපලා... 

වැඩිය ඕන නෑ. ඒක දැක්කට පස්සෙ මටයි යාළුවටයි කට උත්තර නෑ හොඳේ.

“රෑටත් හරි හැටි නොකා බඩගින්නෙ ඉඳපු එකේ වාසිය. ඕං පේනව නේ?

හ්ම්... ඒනම් කමු. මාමා අපිට දෙන්නකො මාමා රසටම හදන රොටි ජාති දෙකකින්...”

“ආ... මාත්තයා, මස් ජාති ප්‍රශ්නයක් නෑනේ?”

“නෑ නෑ මාමා ඕන ජාතියකින් දෙන්න.” කියලා වචනෙ දුන්නා විතරයි තට්ටුවෙන් පල්ලෙහාට ආවා පිඟානක් විතර ගෝදම්බයකුයි, නාන් රොටියකුයි. ඇවිල්ලා පැත්තක, භූමිතෙල් ලිපේ රත්වෙන තහඩුව උඩට! දාලා රොටිය රත්වෙන අතරට මැද ඉඩේ තෙල් ටිකක් රත් කරලා ඒකට දැම්මා පොල්, ලූණු, අමු මිරිස්, රතු මිරිස් කෑලි. ඊට උඩින් බිත්තරයකුත්... ඊටත් පස්සෙ ඉඟුරු සුදුලූණු වෙන්න ඕන අඹරපු මොනවහරි ටිකකුත් දාලා තහඩු හැන්දකින් ඒක කොටස් දෙකකට වෙන් කළා. වෙන්කරලා එකකට මට්න් බාබත් හොදි සහ කෑලි කන්දක්. අනෙකට ඉස්සො වඩයක් පොඩියට කඩලා දාලා, කකුළු හොදිත් දාලා, කකුළුවො දෙන්නෙක් කඩලා සුද්ද කරලා මස දැම්මා. දාලා... ඇලුමිනියම් පිඟන් දෙකකට රොටි දෙක තියලා මෙන්න අර මික්ෂර් දෙක උඩින් එළලා උණු උණුවට...

කියන්න ඕන නෑනේ යාළු කාපු කෑම! රසේ තරම හිතාගන්න, ආපු ගැම්මට...

ඒ කාලා දෙන්නා ළඟම කඩෙන් සනික ටී දෙකකුයි සිගරටුයිත් ගෙනැල්ලා ආයෙ ඕඩර් කළා බීෆ් පොල් රොටියක්.

ෂැහ්... කන් කීන් ගාන්න සැරත් එක්ක, මිරිස් තුනපහ රස දෝරෙ ගලන්න තියෙන ඒ රොටී... 

හදන මාමාගෙ නම මොහොමදුල්ලා වගේ මතක. කොහොම හරි අපි කොටකළා දුල්ලා මාමා කියලා. එයා... ආණ්ඩුවෙ රස්සාවක් කරලා තියෙන්නෙ. කොහොමහරි ළමයින්ට හොඳට උගන්නලා රට යවලා. ඒ ගියාට පස්සෙ ආයෙ ඇවිල්ලා නෑ අවුරුදු 15කටත් එහා. දැන් කතා කරන්නෙත් නෑලු. නෝනත් පිළිකාවකින් නැතිවෙලා. ගෙවල් දොරවල් හොඳට තියෙනවා කිව්වා. පැන්ෂන් එකකුත් ආවාට නිකම් ඉන්න කම්මැලි නිසා කෑම හදලා විකුණන්න පටන් අරගෙන.
“කඩ කරන්න කෙමති නෑ මාත්තයා. වැඩ වැඩියිනෙ. මේක මං මට ඕන විදියට කරනවා. සල්ලි හම්බකළා, නෑ ඕන වෙලාවට ගෙදර යනවා. කෑම ඉතුරු වුණොත් බාගෙ ගාණට උදේට දීලා දානවා... නැත්නම් දුප්පත් අයට නිකම් දෙනවා, සත්තුන්ට දෙනවා... මම ඒ දීලා දෙයියන්ට කියන්නේ මගේ නෝනට හොදක් වෙන්න කියලා. ළමයි නං දැං මට බලන්න ආස නෑ මාත්තයා. මට දැන් 74ක් නේ...” 

කිව්වට තවමත් බලාපොරොත්තු ඇති... දුල්ලා මාමාගෙ ඇස් දෙක ලයිට් එළියට දිලිසෙන්න ගත්තෙ ඒ නිසා වෙන්න ඕන!

Leave a comment